වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ඉකුත් සිව් වසර තුළ ප්‍රමුඛත්වයක් ලබාදෙමින් ඉටු කළ පුළුල් වැඩකොටස හේතුවෙන් දිවයින පුරා වකුගඩු රෝගින්ගේ සංඛ්‍යා...
වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ඉකුත් සිව් වසර තුළ ප්‍රමුඛත්වයක් ලබාදෙමින් ඉටු කළ පුළුල් වැඩකොටස හේතුවෙන් දිවයින පුරා වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව මේ වන විට සැලකිය යුතු මට්ටමින් පහළ බැස ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කවුරුන් කුමන විවේචන සිදු කළ ද ඉකුත් සිව් වසර තුළ රටේ මහජන සේවාවන් වඩා ශක්තිමත් වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා අහිංසක ජනතාව වෙනුවෙන් එම සේවාවන් තවදුරටත් පුළුල් කරන බව ද කියා සිටියේ ය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 437ක මූල්‍ය ප්‍රතිපාදන යොදවමින් අනුරාධපුර මහ රෝහලට අනුබද්ධ ව ඉදිරන ලද ,මෙත්සිරි සෙවණ, වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය අද (20) පෙරවරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.
රජයේ කිසිදු මුදලක් වැය නොකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ගොඩනංවන ලද ජාතික වකුගඩු අරමුදලේ පූර්ණ ප්‍රතිපාදන මත මෙම වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ඉදිකර තිබේ. ඒ දිවයිනේ විවිධ පළාත්වල ඉදිකෙරෙන වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානවල දෙවන මධ්‍යස්ථානය ලෙසයි. මෙහි පළමු මධ්‍යස්ථානය පසුගිය දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී විවෘත කෙරිණි.
අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල මේ වන විට වකුගඩු රෝගින් 17,000ක් පමණ හඳුනාගෙන තිබෙන අතර එම රෝගීන්ට එකවර ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් මෙම මධ්‍යස්ථානයේ පවති. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා ද මෙහි පහසුකම් සපයා තිබෙන අතර සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ දේශන ශාලා ඇතුළු පහසුකම් රැසකින් සමන්විත ය.
සමරු ඵලකය නිරාවරණය කර වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.
“මෙත්සිරි සෙවණ” වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහා ඇතුළත් කෙරුණු පළමු රෝගියා ලියාපදිංචි කිරීම සිදු කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.
මේ අතර මිහින්තලයේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් නිවාඩු නිකේතනයේ ස්ථාපනය කර ඇති 601 වන ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය දුරස්ථ සංනිවේදන තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.
අඩු ආදායම්ලාභී පවුල් 2000ක් සඳහා ගෘහස්ත ජල පෙරණ උපකරණ ලබාදීම සංකේතවත් කරමින් ප්‍රතිලාභීන් 05 දෙනෙකු වෙත ගෘහස්ත ජල පෙරණ උපකරණ ප්‍රදානය කිරීම, වකුගඩු රෝගින් 200 දෙනෙකු සඳහා රුධිරගත සීනි මට්ටම පරික්ෂා කිරීමේ උපකරණ ප්‍රදානය සංකේතවත් කිරීම මෙන්ම උතුරු මැද පළාතේ වකුගඩු රෝගින් ඇතුළු රෝගීන් සඳහා භාවිතා කිරීම පිණිස රුධිර පීඩන මාපක උපකරණ 200 ක් උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම ඇතුළු වැඩසටහන් රැසක් ද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සමයේ තම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලද අරමුදල් උපයෝගි කරගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ස්ථාපිත කරන ලද ජාතික වකුගඩු අරමුදල මේ වන විට දෙස් විදෙස් දානපතීන්ගේ ආධාර මත ශක්තිමත් අරමුදලක් බවට පත්ව ඇත. අදාළ අරමුදලේ ප්‍රතිපාදන යොදාගනිමින් වකුගඩු රෝගීන්ගේ සුබසාධන කටයුතු, රෝගී ප්‍රතිකාර සඳහා අවශ්‍ය යටිතල පහසුම් සම්පාදනය, වකුගඩු රෝගය නිවාරණය සඳහා සහ රෝග මූලය හඳුනාගැනීම සම්බන්ධ ව සිදුකෙරෙන පර්යේෂණ සඳහා දායකත්වය දැක්වීම හා වකුගඩු රෝගී අවදානම් ප්‍රදේශ සඳහා පිරිසිදු පානීය ජලය සම්පාදනය ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.
රුපියල් මිලියන 800කට අධික පිරිවැයක් දරමින් වකුගඩු රෝගය ව්‍යාප්ත ව ඇති ප්‍රදේශ සඳහා ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති 600 ක් පමණ මේ වන විට ස්ථාපනය කර ඇති අතර ඉසුරුමුණිය විහාරස්ථානයේ ඉදිකර ඇති එහි 600වන ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය අද පෙරවරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.
COMMENTS