29 හැවිරිදි විෂ්ණු විශ්වනාත් සහ 30 හැවිරිදි මීනාක්ෂි මූර්ති ඉන්දීය ජාතික යුවළක් වූ අතර ඔවුන් පදිංචිව සිට ඇත්තේ, ඇමරිකාවේය. ඔවුන් දෙදෙනා ම...
29 හැවිරිදි විෂ්ණු විශ්වනාත් සහ 30 හැවිරිදි මීනාක්ෂි මූර්ති ඉන්දීය ජාතික යුවළක් වූ අතර ඔවුන් පදිංචිව සිට ඇත්තේ, ඇමරිකාවේය.
ඔවුන් දෙදෙනා ම ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ චෙන්ගනූර්හි ඉන්ජිනේරු විද්‍යායතනයෙන් උපාධි ලබා අමෙරිකාවේ නිව් යෝර්ක්හි රැකියාවල නිරත වූහ.
ඔවුන් නිරන්තරයෙන් Instagram භාවිත කර ඇති අතර අනතුරුදායක ස්ථානවලට ගොස් ඡායාරූප ගෙන එම ඡායාරූප Instagram පළ කරමින් එහි සිටි 14000කට අධික සිය මිත්‍රයින් පුදුම කරවීමෙන් මහත් සතුටක් ලැබූ බව ඔවුන් පළ කර ඇති ඡායාරූපවල සටහන් කියවීමෙන් දැන ගත හැකිය.
පසුගිය දා, ඇමෙරිකාවේ කැලිෆෝනියාහි කඳුකර ප්‍රදේශයක පිහිටි යෝස්මයිට් ජාතික උද්‍යානය පහළ කන්දක පාමුල තිබී තරුණ යුවළකගේ මළ සිරුරු දෙකක් හමුවී තිබිණි.
ඒ පිළිබඳව විමර්ශනය කිරීමේදී හෙළි වී ඇත්තේ, ඔවුන් ඉන්දියානු යුවළක් බවය.
මෙම මිය යාම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් විමර්ශන දියත් කරනු ලැබූව ද, ඊට නිශ්චිත හේතුවක් සොයා ගැනීමට මෙතෙක් හැකි වී නැත.
මළ සිරුරු හමුවූ තැන
විශ්වනාත් සහ මූර්ති යුවළගේ මළ සිරුරු හමුවී ඇත්තේ, Taft Point නමැති ප්‍රදේශයේ ඉතා උස කඳු මුදුන් සහිත ස්ථානයක පිහිටි හෙළකිනි.
Taft Point නමැති ස්ථානය අඩි 3000ක පමණ උසින් යුක්ත වන අතර එය විවාහ යෝජනා ඉදිරිපත් කිරීමේ සහ පෙම්වතුන්ගේ ඡායාරූප ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකට වී තිබේ.
යෝස්මයිට් උද්‍යානයේ ප්‍රකාශක ජැමී රිචර්ඩ්ස් පවසන්නේ, එම යුවළ මිය යාම සම්බන්ධයෙන් කිසිවක් සිතාගත නොහැකි වුව ද, ඔවුන් කන්දෙන් පහළට වැටී ඇති බවට විශ්වාස කළ හැකි බවය.
ඔවුන් දෙදෙනා Holidays and Happily EverAfters නමින් බ්ලොග් අඩවියක් පවත්වා ගෙන ගොස් ඇති අතර එහි සඳහන් වන්නේ, ඔවුන් "සංචාරය කිරීමට ඇබ්බැහි වූවන්" බවය.
සිය සැමියා අතිශය නිර්මාණශීලී ඡායාරූප ශිල්පියෙකු බව ද මීනාක්ෂි මූර්ති එහි සඳහන් කර තිබේ.
COMMENTS