කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවක වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ...
කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවක වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් හට රැකවරණය දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නාවික හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හෙට (10) එම දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පැවසූවේ එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හෙට (10) උදෑසන 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස අද්මිරාල් විජේගුණරත්න මහතාට දැනුම් දුන් බවයි.
2007 වසරේ දී කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක තරුණයක් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් පසුගිය අගෝස්තු 13 වැනි දා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එම සැකකරුට සැඟවීමට ආධාර අනුබල දීම හා ඔහුට පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 29 වැනි දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට දුන්නේය.
ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නම් සැකකරුට මැලේසියාවට පලා යෑම සඳහා නාවික හමුදාවේ ගිණුමකින් රුපියල් ලක්ෂ පහක් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වීයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි.
සැකකාර හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගැනීමට සොයද්දී ඔහු තට්ටු අටකින් සමන්විත නාවික හමුදාවේ නිලධාරී නිවස්නයක තුන් වැනි මහලේ කාමරයක නවාතැන්ගෙන සිටි බවට තොරතුරු අනාවරණය වී යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.
දිනක් එම සැකකරු නිලධාරී නිවස්නයේ විදුලි සෝපානයෙන් පහළට ගමන් කරද්දී නාවික හමුදාවේ ප්‍රධානියකු හමු වූ බවටත්, “එහෙ මෙහෙ ගිහින් පොලිසියට අහුවුණොත් මට කරන්න දෙයක් නැහැ“ යනුවෙන් එම හමුදා ප්‍රධානියා කී බවටත් තවත් ලුතිනන් කමාන්ඩර්වරයකු සාක්කි දී ඇතැයි රහස් පොලිසිය සඳහන් කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා ලෙස රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වැඩ බාර ගත්තේ 2015 ජූලි 11 වැනි දා ය. 2017 අගෝස්තු 22 වැනි දා ඔහු නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරනු ලැබීය.
COMMENTS