දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

දවල් මිගෙල් රෑ ඩැනියෙල්

අපේ වික්ටර් රත්නායක මහත්තයාගේ මාලිනියේ සින්දුව අහල තියනවා නේද?   මාලිනියේ - ඉන්ද්‍රජාලය මා මනසේ - අන්ධකාරය මා දෑස සොයනා - ඔබ දෑස නැත ...

දවල් මිගෙල් රෑ ඩැනියෙල්
අපේ වික්ටර් රත්නායක මහත්තයාගේ මාලිනියේ සින්දුව අහල තියනවා නේද?
 
මාලිනියේ - ඉන්ද්‍රජාලය
මා මනසේ - අන්ධකාරය
මා දෑස සොයනා - ඔබ දෑස නැත
රුව ඇඳුනේ මාලිනියේ - නොරැවටෙන්
 
මටනං හිතෙන්නේ මතුපිට සහ ඇතුලත චරිත ගැන කියවෙන මේ සිංදුවට ගැලපෙන චරිතයක් තමයි ඊයේ මම දැනගත්තු කෙන්යානු ජීවිත දහස් ගණනක් බේර ගත්තු වෛද්‍යවරියගේ කතාව. කැමති නං කියවන්ඩ මේ ඈන් ස්පොරි ගේ කතාව.
 
ඇෆ්රිකානු භූමියේ ජීවත් වෙන මසායි ගෝත්‍රිකයෝ මමා ඩක්ටාරි එහෙම නැත්නං 'දොස්තර අම්මා' කියල හඳුන්වපු ඈන් වෘත්තියෙන් වෛද්‍යවරියක්. ස්විස් - ප්‍රංශ සම්භවයක් දරපු මේ ඈන් සම්බන්ධ වෙලා හිටියා African Medical and Research Foundation (Amref) කියන ආයතනයකට. මේ කට්ටියගේ එක සේවයක් තමයි කෙන්යාවේ පාරවල් වලින් ලගා වෙන්ඩ අමාරු ප්‍රදේශ වලට ගුවනින් වෛද්‍ය ආධාර සැපයීම. යන්ඩ එන්ඩ විදිහක් වත් නැතුව තියන පැත්තක කොහෙද දොස්තරලා? ඉතිං කාටහරි ලෙඩක් උනාම පණිවිඩයක් එවනවා Amref එකට. ඒ කට්ටිය පොඩි ගුවන් යානයක දොස්තර කෙනෙකුයි බේතුයි යවනවා අදාළ තැනට. ඔන්න ඔහොමයි වැඩේ සිද්ද උනේ. ඉතින් ඈන් ගේ විශේෂත්වය මොකද්ද?
 
එයා උපන්නේ 1918 දී ඉතාම ධනවත් ස්විස් දෙමාපියන්ට දාව ප්‍රංශයේදී. එයා වයස 45 වෙච්ච 1964 ඉඳලා වයස 81 වෙලා 1999 මියයන දවස දක්වාම ඇෆ්රිකානු ජීවිත සුවපත් කරන්ඩ දරපු අප්‍රමාණ කැප කිරීම් හිංදා තමයි විශිෂ්ටත්වයට පත් උනේ. ගුවන් වෛද්‍ය සේවය පිහිටවපු ටොම් රීස් කියන විදිහට මේ ඈන් ගේ තනි මෙහෙවරින් කෙන්යානු වෙරළ තීරයේ හැතැම්ම 100 විතර ප්‍රදේශයේ පෝලියෝ නැත්තට නැති උනා. සමහර කාලවලදී මෙයා මාසෙකට ලෙඩ්ඩු 1,000 කට විතර බේත් දුන්නා. සතියකට ළමයි 2,000 කට විතර ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දුන්නා. ජීවිතේ අවසාන කාලෙත් මාසෙකට තුන් පාරක් මෙයා ඈත ගම් දනවු වලට පියාසර කරලා ලෙඩ්ඩුන්ට බේත් දුන්නා. ඇත්තටම සමහර වෙලාවල් වල ඒ බේත් ගන්ඩ, අදාළ වෛද්‍ය සේවා පවත්තගෙන යන්ඩ ඕන කරන සල්ලි ලැබුනේ ඈන් ගේ පෞද්ගලික වත්කම් වලින්. කොටිම්ම කිව්වොත් තමුන්ගේ අතින් සල්ලි වියදම් කරගෙන, බටහිර රටක සැපසේ ජීවත් වෙන්ඩ තිබ්බ විකල්පය අත් ඇරලා, නැගෙනහිර ඇෆ්රිකාවේ මිනිස්සු සුවපත් කරන්ඩ මහන්සි වෙච්ච සුර දූතිකාවක් තමයි මේ ඈන්.
 
anne spory 1මම ඉස්සරලා කිව්වා වගේම ඈන් 1999 දී කෙන්යාවේදී මියයනවා. එයා වෙනුවෙන් තැන හතරක දේව මෙහෙයයන් පවත් වෙනවා. මිනිස්සු දාස් ගානක් මේ ගුණ කඳ සිහිපත් කරන්ඩ එක් වෙනවා. කෙන්යාවේ ප්‍රංශ තානාපති වරයා මේ අවමගුල් උත්සවයේදී කියනවා ඈන් ප්‍රංශයට ගෞරවය ගෙනා චරිතයක් බව.
 
ඔය අතරේ මෙයාගේ යාලුවෙක් වෙච්ච ජෝන් හෙමිංවේ කියන මාධ්‍යවේදියා ඈන් ගේ පරමාදර්ශී ජීවිතය ගැන නැවත නැවත කල්පනා කරන්ඩ පටන් ගන්නවා. තමන්ගේ මුළු ජීවිත කාලෙ ගැනම ඈන් කිව්වත් දෙවැනි ලෝක යුද සමය ගැන කතා කරන්ඩ එයා කවදාවත් කැමති උනේ නෑ. ප්‍රසිද්ධ කතාවක් උනේ ජර්මනිය විසින් ලෝක යුද්දෙදි ප්‍රංශය යටත් කර ගත්තට පස්සේ ඈන් ප්‍රංශ විමුක්ති ගරිල්ලා කණ්ඩායමකට බැඳුන බවත් ටික කාලෙකින් ඇයව ජර්මන් ඇත අඩංගුවට පත් වෙලා ලිංගික වහල් සේවයට යොදවලා හිටපු බවත්. ජෝන් ට දැන ගන්ඩ ඕන වෙන්නේ එහෙම කෲර සලකීමකට බඳුන් වෙච්ච ඈන් කොහොමද ජීවිත බේරගන්න සාන්තුවරියක් උනේ කියන එක. හැබැයි ඈන් කවදාවත් ඒ අතීතය දිග අරින්නේ නෑ.
 
අගේ මරණින් පස්සේ එයාගේ ලිපි ලේඛන තියන පෙට්ටි වගයක් පවුලේ කට්ටියට ලැබෙනවා. ඒ ලියුම් කියුම් වලින් ඈන්ගේ සැඟවුණු අතීතය හෙළි වෙනවා. මේ හිර කඳවුරෙන් බේරිච්ච කීප දෙනෙක් හොයා ගෙන හෙමිංවේ යන්නේ ඈන්ගේ ලියවිලි වල තියන කතා ඇත්තද කියල තහවුරු කරගන්ඩ. ඒ අය මේ ලියවිලි තහවුරු කරනවා විතරක් නෙවෙයි තව හොඳ හොඳ කතා ටිකකුත් කියනවා. ඒ ඔක්කොම කතා එක්කහු කරලා හෙමිංවේ පොතක් ලියනවා. මම මේ කියන්ඩ යන්නේ ඒ කතාවේ සාරාංශයක්. 
 
ඈන් පැරිස් නුවර වෛද්‍ය විද්‍යාව හදාරමින් ඉන්න කාලෙදි තමයි ජර්මන් හමුදාව පැරිසිය ආක්‍රමණය කරන්නේ. ඈන්ගේ අයියා, ප්‍රන්ශුවා සම්බන්ධ වෙනවා ජර්මන් කාරයන්ට විරුද්ධව සටන් වදින හමුදා කණ්ඩායමකට. ඈන් බයිසිකලෙන් එහා මෙහා පණිවිඩ ගෙනියන්නේ අයියාට උදවුවට. 1942 වෙනකොට ප්‍රන්ශුවා අර සටන් කණඩායමේ නායකත්වයට පත් වෙනවා. ඉතිං ඒකෙන් උද්දාමයට පත්වෙන ඈන් තමන්ගේම විමුක්ති කණ්ඩායමක් හදා ගන්නවා පැරිසියේ. සටන්කරුවන්ට ආරක්ෂාව සපයන නිවාසයක් එයා පවත්තගෙන යනවා. හැබැයි එයාව පාවා දෙන්ඩත් කට්ටියක් ලැස්ති වෙලා ඉඳලා. ඒ හින්දා 1943 මාර්තු වලදී ජර්මානු ගෙස්ටාපෝ පොලිසිය ඈන් ව අත් අඩංගුවට ගන්නවා. 
 
1944 ජනවාරි වල එයා රෙවෙන්ස්බ්‍රක් (Ravensbruck) හිර කඳවුරට මාරු කෙරෙනවා. රෙවෙන්ස්බ්‍රක් තමයි නාසි ජර්මනිය පිහිටවලා තිබ්බ කාන්තාවන්ටම වෙන්වෙච්ච එකම සිර කඳවුර. සුප්‍රසිද්ධ අවුස්විච් හිර කඳවුර තරම්ම නොවුනත් මරණයේ හෙවනැල්ලෙන් නිරන්තරයෙන් වැහිලා තිබ්බ මේ හිර කඳවුරට 123,000 විතර සිරකාරියෝ යැවුනා. බේරුනේ 30,000 කට අඩු ප්‍රමාණයක්. තේරෙනවනේ මේකෙ හැටි. 
 
1944 ජූලි අග වෙනකොට හිර කඳවුර පිරිලා ඉතිරිලා යමින් තිබුනා. එක ඇඳක හිර කාරියෝ හතක් විතර හිටියා. අනන්ත වැඩ වේධනා වලට අමතරව එක එක ලෙඩ බෝවෙමින් තිබුනා. මේ කාලෙදි ඈන්ව මාරු කරනවා 10 ගොඩනැගිල්ලට. එක තමයි ක්ෂය රෝගය හා මානසික රෝග වලින් පීඩා විඳපු සිරකාරියන්ගේ කොටස. මේ ගොඩනැගිලි පාලනය කරන්ඩ ජර්මන් කාරයන්ට කඩේ ගිය 'අක්කලා' ටිකක් පත් කරලා හිටියා. 10 හිටපු 'අක්කා' තමයි කර්මන් මෝරි. ඈන් මේ මෝරි එක්ක යාලු වෙනවා. මෝරි ලෝකෙ කාලා මූදෙ වතුර බීපු එහෙම නැත්තං අං ගිලපු චරිතයක්!
 
anne spory 2මෝරි අක්කා
 
මෝරි සහ ඈන් සමලිංගික ආශ්‍රයක් පටං ගන්නවා. ඒ එක්කම 1944 ජූලි වලදී ඈන් නම වෙනස් කර ගන්නවා ඩොක්ටර් ක්ලෝඩ් කියලා. මෝරිට හිතුනම කවුරුහරි හිරකාරියෙක් මහා කරදරයක් කියලා ඩොක්ටර් ක්ලෝඩ් ඒ හිරකාරිට ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් එයා කාමරෙන් අතුරුදන් වෙනවා. ආය කවදාවත් නොදකින්ඩම. සමහර වෙලාවට හිරකාරියන්ට දස වධ දෙන්නෙත් මේ දෙන්න එක්කහු වෙලා. උදාහරණයක් විදිහට මානසික රෝග වාටුවට ඇවිල්ලා මේ අය සීතල වතුර ගහනවා ලෙඩ්ඩුන්ට. ඒ කාලේ වාටුවේ ලෙඩ්ඩු 65 විතර හිටියා. හැමදාම හිරකාරියෝ 60 විතර මැරුණා. අනිවාර්යයෙන් ඒ අතර ඩොක්ටර් ක්ලෝඩ් ගෙන් ඉන්ජෙක්ෂන් වැදිච්ච කීප දෙනෙකුත් හිටියා. 1945 ජනවාරි 01 මෝරි ව වෙන හිර කඳවුරකට යැවුනා. ඒ මිත්‍ර හමුදා ළඟ ලඟම එන බවට ආරංචි ලැබුණු හිංදා. 44 ජූලි ඉඳන් 45 ජනවාරි වෙනකල් මාස පහේ ඩොක්ටර් ක්ලෝඩ් අඩු ගානේ සිය ගානක් හිරකාරියෝ මැරුවා. දාස් ගානකට වධ දුන්නා. රෙවන්ස්බ්‍රක් වලින් බේරිච්ච එක්කෙනෙක් අතීතය මෙනෙහි කලේ එහෙම.
 
දවස් පහකට පස්සේ ඩොක්ටර් ක්ලෝඩ් ව හයේ ගොඩනැගිල්ලට මාරු කළා. ඒ උණ හා පාචනය ලෙඩ්ඩු හිටපු තැන. ඒ ගිය ගමං ඩොක්ටර් ක්ලෝඩ් ආපහු තමන්ගේ මුල් නම පාවිච්චි කරන්ඩ පටං ගත්තා. ක්ලෝඩ් ආපහු ඈන් උනා. එහෙදි ඉන්ජෙක්ෂන් තිබ්බේ නෑ. ඈන් ලෙඩ්ඩු කීප දෙනෙක්ව මරණයෙන් ගලව ගත්තු බවත් කියවෙනවා මේ කාලෙදි.
 
1945 අප්‍රේල් 25 ස්වීඩන් රතු කුරුස හමුදාව රෙවන්ස්බ්‍රක් කඳවුරේ හිටපු හිරකාරියන්ව නිදහස් කර ගත්තා. ඈන් ආපහු ගෙදර ගිහිං බාගෙට ඉවර කරපු වෛද්‍ය උපාධිය ඉවර කරන්ඩ ඉගෙන ගන්ඩ පටං ගත්තා.
 
මේ අතරේ මෝරි අත් අඩංගුවට පත්වෙලා නඩු විභාගයකට මූණ දෙමින් හිටියා. එයාගේ සහයට තිබ්බේ එකම සාක්කියයි. ඒ ඈන්. හැබැයි එයා උසාවියට ගිහිං මෝරිගේ පැත්තට සාකි දීම ප්‍රතික්ෂේප කළා. ඔය අතරේ ඈන්වත් අත් අඩංගුවට ගන්නවා. එයාට විරුද්ධව නඩු අහන්ඩ පටන් ගන්නකොට ඈන් ගේ කෝටිපති තාත්තා රටේ හිටපු හොඳම නීතීඥයෝ රෑණක් අල්ලලා දුවට සපෝට් කරනවා. හැමදාමත් වගේ නඩු හදන්නෙත් නැති කරන්නෙත් නීතිය දන්නවා කියන සුළු පිරිසක්. ඉතිං ඈන් ට විරුද්ධව නඩු පවරන්ඩ තරං කරුණු නෑ කියල නඩුව අහක යනවා. නෑ නෑ මේ ලංකාවේ වෙච්ච දෙයක් නෙවෙයි. ස්විට්සර්ලන්තෙයි ප්‍රංශේයි වෙච්ච දෙයක්. ඒ කාලේ විතරක් නෙවෙයි දැනුත් එහෙම තමයි එහෙ විතරක් නෙවෙයි මෙහෙත්!!!
 
1947 පෙබරවාරි වල මෝරිට මරණ දණ්ඩනය නියම වෙනවා. මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්ඩ නියමිත 1947 අප්‍රේල් වල. ඒ දිනයට සතියකට ඉස්සර මෝරි සිය දිවි නසා ගන්නවා බ්ලේඩ් එකකින් තුවාල කරගෙන.
 
සාමාන්‍ය උසාවි වලින් බොරු එක එක විදිහට නිදහස් වෙන ක්‍රම තියන බව අපි හැමෝම දන්නවනේ. ඒත් මිනිස්සුන්ගේ මතකය කියන උසාවියෙන් එහෙම නිදහස් වෙන්ඩ ලේසි නෑ. ප්‍රංශ නිදහස් සටනේ හිටපු සාමාජිකයෝ උසාවියක් පිහිටුවා ගන්නවා ගෞරවයේ අධිකරණය කියල. ඈන්ට ඔවුන් බල කරනවා මේ අධිකරණය ඉදිරියට ඇවිත් නිවැරදි බව ඔප්පු කරන්ඩ කියල. 1946 මැයි මාසේ ඈන්ට විරුද්ධ නඩුව ඇහෙනවා මේ 'අලුත් උසාවියේ'. ඈන්ට විරුද්ධ සාක්කි එක පිට එක එලියට එනකොට සමහර සාක්කිකාරියෝ ඈන්ව හඳුන්වන්නේ යක්ෂයෙක් විදිහට. ඈන් කඩා වැටෙනවා. එයා වැරැද්ද පිලි ගන්නවා.
 
'ගෞරවයේ උසාවිය' ඈන්ව වැරදිකාරිය විදිහට නම් කරනවා මෙන්න මේ වැරදි වලට. වෛද්‍යවරියක් විදිහට වංචනිකව කටයුතු කිරීම, ප්‍රංශය පාවාදීම, කෲර ක්‍රියා සිදු කිරීම මගින් ප්‍රංශයට අපකීර්තියක් ගෙන ඒම. දඬුවම ප්‍රංශයෙන් අවුරුදු විසි පහක් පිටුවහල් කිරීම.
 
මේ උසාවි නියෝගය හිංදා ප්‍රංශ වෛද්‍ය පීටය ඈන් ගේ වෛද්‍ය උපාධිය ලබාදීම නවත්වනවා. හැබැයි මේ වෙනකොටත් එයා නිවර්තන වෛද්‍ය ක්‍රම ගැන ඩිප්ලෝමා එකක් අරං හිටියේ. හැබැයි උපාධිය නොලැබුණා කියල ඈන් ගණන් ගන්නේ නෑ. එයා වෛද්‍ය ස්පොරි කියල අත්සන් කරන්ඩ පටං ගන්නවා. ආයෙත් අහනවා මේ ලංකාවෙද කියල. නෑ බොලව් මේ ලංකාවේ නෙවෙයි ප්‍රංශේ වෙච්ච දෙයක්. මෙහෙ විතරක් නෙවෙයි ඒ කාලේ එහෙත් ඕන කොල්ලෙකුට බල්ලෙකුට ඩොකෙක් කියලා වැඩ පටං ගන්ඩ පුළුවන් වෙලා තියනවා.
 
ඒ විදිහට අපකීර්තිමත් විදිහට ප්‍රංශයට ආයුබෝවන් කියන්ඩ වෙන ඈන් රස්සාවක් හොයා ගන්නවා රතු මුහුද පැත්තට එන වන්දනා කරුවන් සහිත නැවක. ඒ ආපුවම දකිනවා කෙන්යාව. ඒ 1949 අගදී. එයා අක්කර 3,000 විතර අරගෙන ගොවිපොළක් පටන් ගන්නවා කෙන්යාවේ. ඒ 1950 විතර. 1964 ඒ කියන්නේ කෙන්යාවට ඇවිල්ලා අවුරුදු 15 කට පස්සේ ඈන් ගුවන් යානා පදවන්ඩ බලපත්‍රයක් ලබා ගන්නවා. ඊට පස්සේ මම අර මුලිං කියපු විදිහට Amref එකත් එක්ක එක්කහු වෙලා 'පියාඹන දොස්තර' කෙනෙක් විදිහට සාන්තුවරියකගේ චරිතයට අවතීර්ණ වෙනවා.
 
ගිය සතියේ දවසක CNN එකේ ක්‍රිස්ටියාන් අමන්පෝ මේ පොත ලියපු ජෝන් හෙමිංවේ එක්ක සාකච්චාවක් තියනවා. ඒ සාකච්චාව බලපු වෙලාවේ ඉඳලා මගේ හිතේ හොල්මන් කරන ප්‍රශ්න කීපයක් තියනවා. මෙන්න ඒ ප්‍රශ්න. උත්තර දන්නා කෙනෙක් ඉන්නවා නං උත්තර දුන්නොත් පිං සිද්ධ වෙනවා.
 
1. ඈන් ඉතිහාසයේ භයානක අපරාධ කරපු බව ඇත්ත. හැබැයි ඒ වැරදි වලට එයා වන්දි ගෙව්වේ අප්‍රමාණ සේවයක් කරලා. එතකොට අර වැරදි අමතක කරන්ඩ පුලුවන්ද? වැරදි අමතක නොකරනවා කියන්නේ එයාගේ හොඳ අමතක කිරීමද? එහෙම නං ලෝකයා, ඈන් තරමට හෝ ඊටත් වැඩියෙන් කුහක නොවන්නේද?
 
2. ඈන් සුදුසුකම් ලත් වෛද්‍යවරියක් නෙවෙයි. හැබැයි ඇය ලෙඩ්ඩු ලක්ෂ ගානකගේ ජීවිත බේරුවා. එතකොට වඩා වැදගත් සුදුසුකම් ලබා ගැනීමද, කැපවීමෙන් යුක්තව සේවය කරලා ජීවිත බේරා ගැනීමද? ජීවිත බේරා ගැනීම වැදගත් නං එහෙම කියල ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්ඩ ඉඩ දෙන එක හරිද? (මම අහන්නේ ඕන කෙනෙක් ඕන දෙයක් කරන ලංකාවේ තත්වේ නෙවෙයි ශිෂ්ට සම්පන්න සමාජයක් වෙන්ඩ ඕන විදිහ) 
 
3. එකට එක්කහු වෙලා සිරකාරියන්ට වධ දීපු මෝරිට මරණීය දණ්ඩනය හිමි වෙන්නෙත් ඈන් නඩු නැතුව නිදහස් වෙන්නෙත් විධිමත් අධිකරණ ක්‍රියාවලියේ තියන හිස් තැන් හිංදා. ඒ කියන්නේ එහෙම හිස්තැන් අදත්, එදත්, මෙහෙත්, එහෙත් තිබ්බා. තියනවා. ඇයි ඒ හිල් වහන්නේ නැත්තේ? කාගේ වාසියටද? කාගේ උවමනාවටද?
 
4. විධිමත් අධිකරණ ක්‍රියාවලියකින් ඈන් නිර්දෝෂ උනත් මිනිසුන් විසින් පිහිටුවා ගන්නා ලද අධිකරණයකින් වැරදිකරු වූ ඇය ඒ තීන්දුවට ගරු කළා.
 
4.1 ලංකාවේ එහෙම දෙයක් උනා නං කොහොම තියෙයිද?
 
4.2 ලංකාවේ විධිමත් අධිකරණ ගැන විශ්වාසය මහා නාය යෑමකට පසුගිය වසර තිහක පමණ කාලයක් පුරා ලක් වෙද්දී මිනිස්සු 'ගෞරවයේ අධිකරණයක්' පිහිටුවා ගන්ඩ උත්සාහ නොකරන්නේ ඇයි? ඒ දවස අපේ ජීවිත කාලය තුල උදා වෙනු ඇත්ද?
 
එහෙවු නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරණු මැන........!!!
 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දවල් මිගෙල් රෑ ඩැනියෙල්
දවල් මිගෙල් රෑ ඩැනියෙල්
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/bbca330690969421c32bb118ff362614_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_942.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_942.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy