මොහොමඩ් අබු සෙයිඩ් නොහොත් ෂෝකන් (Shawkan) මේ සඳහා තෝරාගෙන තිබෙන්නේ මාධ්‍ය විද්වතුන්ගෙන් සමන්විත ස්වාධීන - අන්තර්ජාතික ජූරියක් විසිනි. 2...

මොහොමඩ් අබු සෙයිඩ් නොහොත් ෂෝකන් (Shawkan) මේ සඳහා තෝරාගෙන තිබෙන්නේ මාධ්‍ය විද්වතුන්ගෙන් සමන්විත ස්වාධීන - අන්තර්ජාතික ජූරියක් විසිනි.
2013 අගෝස්තු 14 වැනිදා පටන් ෂෝකන් ඊජිප්තුවේ සිරකරුවෙක් බවට පත්වූයේ කයිරෝ අගනුවර රබා අල්-අවාදියා චතුරස්‍රයේ පැවති උද්ඝෝෂණයක් වාර්තා කිරීමට ගිය අතරවාරයේ ය. එවකට ඊජිප්තු ජනපති මොහොමද් මුර්සි බලයෙන් පහකිරීම සඳහා රබා චතුරස්‍රයේ උද්ඝෝෂකයෝ පිරී ඉතිරී සිටියහ.
ඉක්මනින්ම ප්‍රහාරය එල්ල විය.
ඒ ප්‍රහාරය බර අවි යොදාගෙන සිදුකරන රාජ්‍ය මර්දනයක් මිස ‘කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ‘ ප්‍රහාරයක් නොවීය. ‘රබා සමූල ඝාතනය‘ නමින් ප්‍රකට වූ 800 දෙනෙකුට වඩා මරා දැමුණු ‘මෑත ඉතිහාසයේ එක් දිනක් තුළ රාජ්‍ය මර්දනයකදී සිදුවූ දරුණුතම සමූහ මනුෂ්‍ය ඝාතනය‘ සිදුවූයේ ඔහුගේ ඇස් ඉදිරිපිට ය. මෙවිට ඔහු සිටියේ ආරක්ෂක වළල්ල අතර ය. අඩුම ගණනේ උද්ඝෝෂකයන් අතරවත් නොවේ. නමුත් ඔහු ‘වැරදි තැනක සිටි හරි මිනිහා‘ විය. ඔහු ඇමරිකානු සහ ප්‍රංශ ජාතික මාධ්‍යවේදියෙක් සමග උද්ඝෝෂණය ආවරණය කරමින් එය ඡායාරූපයට නගමින් සිටියේය.
ඉක්මනින්ම ඔහු ඊජිප්තු ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්විය. පැය දෙකකට පසු ඇමරිකානු සහ ප්‍රංශ මාධ්‍යවේදියා නිදහස් කළ ද ෂෝකන් ව නිදහස් කෙරුණේ නැත.
ෂෝකන් ඊජිප්තු ජාතිකයෙකි.
එතැන් පටන් ඔහු සිය රට තුළම අත්තනෝමතික රැඳවියෙකි. ඔහු මේ සිර දඬුවමක් විඳිනවා නොවේ. නඩුව තවම විභාග වන අතර, එහිදී ඔහුට මරණ දණ්ඩනය ලැබීමට ද විශාල අවදානමක් ඇත. 2017 වසර වන විට ෂව්කාන් ගේ රැඳවුම් ජීවිතයට දින දහසක් (1000) සපිරිණි. අත්තනෝමතික ලෙස රඳවා තැබීම පිළිබඳ ක්‍රියාකරන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම ද නිගමනය කළේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ විශ්ව ප්‍රඥප්තියට අනුව ෂෝකන් ගේ රැඳවුම අත්තනෝමතික එකක් වන බව ය. .නඩුව දිගින් දිගටම විභාග විය. ඊජිප්තු අභිචෝදකයා නොකඩවා තර්ක කර සිටියේ ඔහුට විරුද්ධව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවට ය.
එදා ෂෝකන් කළේ ඕනෑම මාධ්‍යවේදියෙකු විසින් කළ යුතුව තිබූ දෙයයි. දැන් ඔහු එයට මිල ගෙවමින් සිටියි. දැන් ඔහු ‘හෘද සාක්ෂියේ සිරකරුවෙකි‘.
සිය කෙටි -සක්‍රිය මාධ්‍ය ජීවිතයේදී සම්මාන දිනූ ඡායාරූප මාධ්‍යවේදියෙකු වශයෙන් ෂෝකන් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. Time, The Sun, Die Zeit, Bild සහ BBC වෙබ් අඩවිවලට ඔහු අමුත්තෙක් නොවේ.
සිරකරුවෙකු ලෙස දින 600 සම්පූර්ණ වන විට ඔහු විසින් ලියන ලද ලිපියක මෙසේ සඳහන් වෙයි. ‘‘බන්ධනාගාර ගේට්ටුවලින් ඇතුළට යන විට අපේ අභිමානය අපට නැති විය.“
ෂෝකන් වෙනුවෙන් ලෝකයේ මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ නගන සංවිධාන රැසක් එක්වී සිටියහ. අද ද එය එසේ ය. නමුත් ෂෝකන්ගේ ජීවිතය අනතුරේ ය. ඔහු තෝරා බන්ධනාගාරයේදී මරා දමනු ඇතැයි යන බිය අදට ද පහ ව ගොස් නැත. මීටර හතරයි තුනේ සිරමැදිරියක ෂෝකන් රඳවා තබා ඇත්තේ තවත් සිරකරුවන් 12 දෙනෙක් සමග ය. තමන් නිදාගන්නේ බිම් උළු ඇල්ලූ සීතල පොළොවේ යැයි ද ඔහු එක් ලිපියක ලියා තිබේ. දොළොස් දෙනෙකුට බිම දිග ඇදී නිදාගන්නට ඉඩ මදි නිසා ඇතැම් සිරකරුවන් වැසිකිළියේ ද නිදාගන්නා බව ද එහි සඳහන් වේ. හෙපටයිටිස් සී රෝගයෙන් පීඩා විඳින්නෙක් වන ෂෝකන්ට බන්ධනාගාරය තුළදී කිසිදු වෛද්‍ය රැකවරණයක් හිමි නොවේ.
2015 සැප්තැම්බරයේ බලයට පත්වූ නව ජනපති අබ්දෙල් ෆටා අල් සිසී ‘‘ඊජිප්තුවට භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස රැගෙන එන බව‘‘ට පිළිණ දුන්නේය. ඊට පෙර මාසයේ ඔහු කියා තිබුණේ ‘‘මාධ්‍යවේදීන් හට කිසිදු සීමාකින් හෝ බාධාවකින් තොරව සිය කටයුතු කර ගත හැකි පරිසරයක් නිර්මාණය කරන බව‘‘ ය. නමුත් මේ සුපුරුදු යල් පිනූ දේශපාලන භාෂණ සහ බොල් පොරොන්දු මැද ඔහු ෂෝකන් ව නිදහස් කරන්නේ නැත. ඔහු එසේ නොදුටු දෑසින් සිටින්නේ ෂෝකන් ට එරෙහි 6න් නිදහස් කර ඔහුව මුදා හරින ලෙසට අන්තර්ජාතික වශයෙන් එල්ල වන දැඩි ඉල්ලීම් රැසක් මධ්‍යයේය.
එහි කිසිම පුදුමයක් නැත. එදා රබා සමූල ඝාතනය සිදුකරන්නට අණ දුන්නේ ද අබ්දෙල් ෆටා අල් සිසී ය. ඔහු එවකට ඊජිප්තු හමුදාවේ ජනරාල්වරයෙකි.
මැයි 5 වැනිදාට යෙදී තිබෙන ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනයේදී ෂෝකන් ට මෙම සම්මානය නාමික ව පිළිගැන්වෙනු ඇත. සම්මානය එනමින් හඳුන්වන්නේ 1986 දෙසැම්බර් 17 වැනිදා කොලොම්බියාවේ බොගෝටා නුවරදී ඝාතනයට ලක් වූ ගුලියාවේ කානෝ ඉසාසා මාධ්‍යෙව්දියා සිහිපත් කරමිනි. ඔහු ව ඝාතනයට ලක් කෙරුණේ ඔහු සේවය කරමින් සිටි පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී ය.
ඇමරිකානු ඩොලර් 250,000 ක මුදල් ත්‍යාගයක් ද වන, මාධ්‍ය නිදහස උදෙසා ලෝකයේ පිදෙන ඉහළම සම්මානයක් සහ ත්‍යාගයක් වශයෙන් සැලකෙන මෙම යුනෙස්කෝ / ගුලියර්මෝ කානෝ ත්‍යාගය සඳහා ඔහු ව තෝරාගනිමින් ජූරියේ සභාපතිනී මරියා රෙස්සා මෙසේ පවසයි. ‘‘මෙය ඔහුගේ ධෛර්යය, ප්‍රතිරෝධය පෑමේ ගුණය සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් ඔහු කළ කැපකිරීම ට කරන උපහාරයකි.“
මෙම සම්මානය සඳහා ෂෝකන් ව යෝජනා කළේ Reporters Without Borders (RSF) හෙවත් ‘දේශසීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානය විසිනි. ‘‘ෂෝකන් මාධ්‍යවේදියෙක් මිස ත්‍රස්තවාදියෙක් නොවේ.“ යැයි RSF මහලේකම් ක්‍රිස්ටෝෆි ඩෙලෝරේ පවසයි.
‘‘නමුත් අපට සර්ව සුබවාදී වන්නට බැහැ.. ඔහු සිරකරුවෙක් ලෙසම මිය යාවි..“ යැයි මේ 31 හැවිරිදි දිරිමත් මාධ්‍ය සගයා වෙනුවෙන් සටන් කරන්නෝ කියති. එසේ මිය නොගිය ද ෂෝකන් මේ මොහොතේ ද සිටින්නේ නීතියක් නැති රටක, වැටත් නියරත් ගොයම්කන රටක මරණයේ සෙවණැල්ල අබියස ය. ඊජිප්තුවේ නීතිපති දෙපාර්තමේන්තුව නොහොත් රජයේ අභිචෝදකයා මේ වන විටත් ඔහුට මරණ දණ්ඩනය ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා තිබේ.
- රදිකා ගුණරත්න
COMMENTS