දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ බොහෝ එළවළු තොග අලෙවි නොවීම නිසා ඉවත් කිරීමට සිදුව ඇතැයි ආර්ථික මධ්...
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ බොහෝ එළවළු තොග අලෙවි නොවීම නිසා ඉවත් කිරීමට සිදුව ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.
මෙසේ ඉවත් කරන එළවළු තොග දිගම්පතහ රජයේ රක්ෂිත කැළෑවට ගෙන ගොස් දමන අතර ඒවා මේ දිනවල වන අලින්ගේ ආහාර බවට පත්ව ඇති අයුරු දැක ගැනීමට හැකිවිණි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන පිපිඤ්ඤා, තක්කාලි, වම්බටු, නෝකෝල්, රාබු, නිවිති, දඹල ආදී එළවළු වර්ග රැසක් දිනපතා ඉවත් කිරීමට සිදුව තිබෙන බව ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කර සිටී.
මෙයාකාරයෙන් එළවළු තොග විශාල වශයෙන් 5 දින අලුයම දඹුල්ල මහනගර සභාවේ ටිපර් රථ මඟින් දඹුල්ල රජයේ රක්ෂිතයට ගෙන ගොස් දැමීම සිදු විණි.
එම අවස්ථාව දැක බලා ගැනීමට ගිය අපට වන අලි රංචුවක් විසින් ඉවත ලන එළවළු ආහාරයට ගන්නා ආකාරයත් වන අලින් ටිපර් රථයේ එළවළු බෑමටත් පෙර ටිපර් රථයේ තිබෙන එළවළු ආහාරයට ගන්නට උත්සාහ කරන අයුරුද දැක ගැනීමට හැකියාව ලැබිණි.
මාස ගණනාවක කාලයක් අත කනකර බඩු උගසට තබා නිෂ්පාදනය කරන ලද ගොවි නිෂ්පාදන මෙයාකාරයෙන් වන අලින්ගේ ආහාර බවට දඹුල්ලේ දී පත් වෙද්දී රටේ අනෙකුත් ප්‍රදේශ වල එළවළු විශාල ඉහළ මිල ගණන් යටතේ අලෙවි වීම ද පුදුම සහගත කරුණකි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය කියා සිටියේ ගුණාත්මක භාවයෙන් තොරව එළවළු ගොවීන් විසින් රැගෙන ඒම නිසාත් ප්‍රවාහනයේදී සිදුවන පසු අස්වනු හානිය නිසා එළවළු ලැබීමේ ප්‍රවණතාවය නිසාත් බොහෝ දුරට එළවළු දිනපතා විනාශ කිරීමට සිදුව තිබෙන බව ය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී තිබෙන අතර එළවළු අලෙවි කිරිමද සිදු වන්නේ ඉතා මන්දගාමී බව ඔවුහු පවසති.යාපනය අර්ධද්විපයේ මෙන්ම රට අභ්‍යන්තරයෙන් ද විශාල වශයෙන් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවළු තොග ලැබෙමින් පවතී.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
COMMENTS