එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව බිම් මට්ටමෙන් නැඟෙන මහජන විරෝධය ගැන පක්ෂය යළි සලකා බැලීමට අවශ්‍ය බව එජාප හිටපු මහ ...
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව බිම් මට්ටමෙන් නැඟෙන මහජන විරෝධය ගැන පක්ෂය යළි සලකා බැලීමට අවශ්‍ය බව එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ පසුගියදා දිගන ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයෙන් විනාශ වූ දේපළ නිරීක්ෂණය කිරීමට එක්වෙමිනි.
මේ රටේ දැවැන්ත පක්ෂයක් බවට නැවත පත් කරන්න නම් පක්ෂයේ මුහුණුවරද සම්පූර්ණයෙන් වෙනස් විය යුතු බවත් වෙනස්කමක් සමඟ එනවා නම් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා යොමු කරවා ගැනීමට හැකි වන බවද ඔහු පෙන්වා දෙයි.
විශේෂත්වයක් තිබෙන ඇමැතිවරු බිහිවීමට ඉඩ දීම සුදුසු නැති බවත් එය අද සිදුවී තිබෙන බවත් පෙන්වා දෙන අත්තනායක මහතා සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය භාර ගත්තොත් පක්ෂයේ වෙනසක් ඇති කිරීමට පුළුවන් බවත් කියා සිටියේය.
එහිදී තිස්ස අත්තනායක මහතාගෙන් එජාපයේ බිඳ වැටීම් සම්බන්ධව මාධ්‍යවේදීන් කළ විමසීමකදී මෙසේ පැවැසීය.
“පණ්ඩිතරත්න කමිටුව නිර්දේශ කළ ආකාරයට වැඩකටයුතු කළා නම් එක්සත් ජාතික පක්ෂයේ බිඳ වැටීමක් සිදුවන්නේ නැහැ. එතුමා ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ නිලධාරියෙක් මෙන්ම පක්ෂයේ හිටපු සභාපතිවරයෙක්. එතුමාගේ මූලිකත්වයෙන් පණ්ඩිතරත්න කමිටුව රනිල් වික්‍රමසිංහ මහතා පත් කළේ 1994 එ.ජා. පක්ෂයේ පරාජයත් සමඟයි. ඒ කමිටුව ලබා දුන් වාර්තාවට අනුව එජාපය බිම් මට්ටමට ළං කරවීම සඳහා වහා පියවර ගත යුතු බව සඳහන් වුණා. නමුත් ඒක ක්‍රියාත්මක කිරීම අතපසු වුණා. ඒ කමිටුව නිර්දේශ හරහා කටයුතු කළා නම් ගමට නියම ආකාරයට ගලාගෙන ගියා නම් පක්ෂයට දැවැන්ත ශක්තියක් ගොඩනඟන්න තිබුණා.
ලංකා ඉතිහාසයේ පළමුවැනි වතාවට තමයි ආණ්ඩු බලයක් තියාගෙන දැවැන්ත පරාජයක් ලැබුවේ. මේක ලේසි පහසු පරාජයක් නෙවෙයි. වචනවලින්, ඉලක්කම්වලින් දැම්මත් මේක මහජනතාවගෙන් එක්සත් ජාතික පක්ෂය ඈත් වෙමින් තිබෙන බව පිළිගන්න ඕන. එක්සත් ජාතික පක්ෂය මේ රටේ දැවැන්ත පක්ෂයක් බවට නැවත පත් කරන්න නම් එක්සත් ජාතික පක්ෂයේ මුහුණුවර සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕන. නායකත්වය, එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙළ, සාමාන්‍ය මිනිසුන්ට ඇහුම්කන් දෙන පක්ෂයක් බවට පත් කිරීම, තමන්ගේ සාමාජිකයන්ට සලකන පක්ෂයක් බවට පත් කිරීම ඉතාම වැදගත්. මේ ටික කරන්නේ නැතිව පක්ෂය යළි නැඟිටුවන්න බැහැ.
ඒ නොකරන තාක්කල් නායකයන්ට විරුද්ධව, නිලධාරීන්ට විරුද්ධව විවිධ උද්ඝෝෂණ ව්‍යාපාර සිදුවෙන්න පුළුවනි. එක්සත් ජාතික පක්ෂය දැන් කනත්තට තල්ලු වෙමින් තිබෙනවා. පක්ෂයේ තනතුරු වෙනස් කිරීම් කර පක්ෂයේ පරාජය වසාගන්නවත් නැවත පක්ෂය ගොඩනඟා ගන්නවත් බැහැ. ජනතාව කියන්නේ අලුත් එක්සත් ජාතික පක්ෂයක් ගොඩනඟන්න කියලා.
එක්සත් ජාතික පක්ෂයේ මුහුණුවර වෙනස් නොකර ජනතාවට පිළිගන්න පුළුවන් ජවයක් තිබෙන නායකත්වයක් නැතිව මේ ගමන යන්න අමාරුයි. වෙනස්කමක් සමඟ එනවා නම් අපිට පුළුවන් ජයග්‍රහණයක් කරා යොමු කරන්න. එක්සත් ජාතික පක්ෂයේ සුවිශේෂී ඇමැතිවරු නිලධාරීන් ඉන්න බැහැ. විශේෂත්වයක් තිබෙන ඇමැතිවරු බිහිවෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. ඒක අද සිදුවී තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය භාර ගත්තොත් පක්ෂයේ වෙනසක් ඇති කරන්න පුළුවනි කියා මමත් හිතනවා. හැබැයි එතුමාට ඒ ජවය දෙන්න තනිවම බැහැ. මහා විශාල කණ්ඩායමක් පක්ෂයේ එළියේ ඉන්නවා. ඒ වාගේම ඇතුළේ ඉන්නවා. මේ හැමෝගෙම උත්සාහය මත කටයුතු කළොත් ගමනක් යන්න පුළුවන් කියා මම හිතනවා. එජාපයේ මහ ලේකම් ධුරය කියන්නේ පක්ෂයේ ජනතාව සමඟ සමීපව වැඩකරන තනතුරක්. මම කවුරුවත් හෑල්ලුවකට ලක් කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය ගැන හිතනවා නම් දැන් තීන්දුවකට එන්න ඕන. විශ්වාසභංග ගෙනැල්ල පක්ෂය දෙකට තුනට බෙදලා ගැටුම් නිර්මාණය වෙලා එළවන මට්ටමට පෙළපාළි යන පක්ෂයක් නෙවෙයි අපිට ඕන. අපිට ඕන සියලු සාමාජිකයන් අපේ නායකයා කියා පිළිගන්න වැඩපිළිවෙළකට යන්න. ඒකට ඉඩ දෙන එක නායකයන්ගේ යුතුකමක්.“ යැයිද තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS