දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කියවීම මිනිසා සම්පූර්ණ කරයි. - උසාවි සාවිය 06

පාසල් සමයේ සිට කියවීම පුරුද්දක් කරගත් මට පාසල් අධ්‍යාපනයට වැඩි දැනුමක් ඉන් උකහා ගැනීමට හැකි විය. කොළඹ වේල්ල වීදියේ අප්‍රකට කුඩා කණිෂ්ඨ ව...

කියවීම මිනිසා සම්පූර්ණ කරයි. - උසාවි සාවිය 06

පාසල් සමයේ සිට කියවීම පුරුද්දක් කරගත් මට පාසල් අධ්‍යාපනයට වැඩි දැනුමක් ඉන් උකහා ගැනීමට හැකි විය.

කොළඹ වේල්ල වීදියේ අප්‍රකට කුඩා කණිෂ්ඨ විද්‍යාලයකින් මුල් අධ්‍යාපනය ලදත් මගේ මතකය නිවැරදි නම් ළමුන් 150 ක් පමණ වූ එම පාසලේ මුල් ගුරුතුමිය සමඟ එහි සෑම කාලයකම සිටියේ තවත් එක් ගුරුතුමියක පමණි. තනි ශාලාවේ “හාවර්ඞ් බාලිකා” නම් එම පාසල මිශ්‍ර පාසලකි. නාගරික වතු ජනපදික දරුවන් එහි අධ්‍යාපනය ලබුවෝ වෙත්. අවශ්‍ය ප්‍රමාණයට තරම් ගුරුවරුන් නැතත් අවට පිහිටි එවැනි පාසල් අතර අධ්‍යාපනයෙන් ඉදිරියෙන් සිටි පාසලකි එය.

කොළඹ මහ කච්චේරිය ඉදිරිපිට පිහිටියෙන් එය “කච්චේරි ඉස්කෝලේ” යන අන්වර්ථ නාමයකින් හැඳින්විණ. බැප්ටිස්ට් පල්ලියකට අයත්ව තිබූ නිසාදෝ එහි සිසු විනය ඉතා ඉහළ තැනක තිබිණ. පසුව මැරයන් වූ මගේ පන්ති සගයින් කිහිප දෙනකු පාසලෙන් පන්නා දමූ වගත් මට මතකය. එම කුඩා පාසලේ තනි අල්මාරියේ පුස්තකාලයක් විය. පලු දෙකේ අල්මාරිය වීදුරු දොර පියන් දෙකකින් සමන්විත විය. එහි එක් පසෙක තට්ටු හතරක් ලෙස දෙපස තට්ටු අටක් වූ අතර මේ තට්ටු විවිධ පොත් වලින් පීරී තිබිණ. දැනුම් තේරුම් ඇති කාලයේ සිට මාත් මේ පොත් අල්මාරියත් අතර විශාල බැඳිමක් තිබූ බව මට මතකය. ගුරුවරුන් නැති පාසලේ මට ගුරුවූවෝ සැඟව සිටියෝ මෙහි ය.

එම කුඩා පුස්තකාලය මගේ ජීවිත පරිඥානය පුළුල් කළ අයුරු කෙසේ නම් අමතක කරන්නද? කොළපාට පොත් කවරයකින් සැරසී මා ඇමතූ “දිගාමඩුළු ආශ්චර්ය” යේ පුමුඛයා වන “මායා රංජන්” මහතා කොළඹ වතු පරිසරයෙන් මා අපූරු ලෝකයක් කරා කැඳවා ගත්තේ ය. අපූරු භාෂා චමත්කාරයක් සහිතව එතෙක් මට දුරස් ව තිබූ සමාජයක් මා ඉදිරියේ විවර කරන්නට එතුමාට හැකි විය. එම කෘතිය ළමා මගේ මනස එක්වර පැහැර ගත් බව දුටු අප විදුහල්පතිතුමිය-පෙරේරා නෝනා, විස්මයට පත්ව “කියවපන් පුතා.. කියවපන්.. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙනවා..”යි කියා මගේ හිස පිරිමැද්දා මට තවමත් මතක තිබේ.

නම් වශයෙන් සියල්ල මතක නැතත් එහි තිබූ පොත් රාශියක් මා කිහිප වතාවක්ම කියවූ බව නම් මට මතකය. ඒ අතර “එදා හෙළදිව” “බුදුගුණාලංකාර” “ගුත්තිලය” ජීව භාෂාව” “ රොමාගේ වාසනාව” “රොබින්සන් කෲසෝ” “අඹ යාලුවෝ” “බැද්දේගම” “වන සරණ” “අරාබි නිසොල්ලාසය” සහ ටී.ජී.ඩබ්. ද සිල්වාගේ “පත්පාඩගම්” ඇතුළු විකට කතා කෘති ද වූ බව අද මට සිහි කළ හැකිය. මාර්ටින් වික්‍රමසිංහ සහ ජී.බී. සේනානායකත් ඩබ්. ඒ. සිල්වා සහ පියදාස සිරිසේනත් ගුණදාස අමරසේකර සහ පියදාස නිශ්ශංකත් මට හමු වූයේ එහි දී ය.

මේ සියලු ගුරුවරු මගේ කියවීමේ පිපාසාව වැඩි කළෝ වූහ. ඔවුන් විසින් කිසියම් භාවමය නිද්‍රාවකට මා පත් කරමින් සිටිය දී ය මට “සෝමා” හමු වන්නේ. සෝමා යනු වික්‍රමසිංහයන්ගේ “සෝමා” නොව සැබෑ ලෙයින් මසින් සැදි මගේ පන්තියේ සිටි මගේ මිතුරිය සෝමා ය. අපගේ ජීවන තත්ත්වයට අනුව සෝමා එකල හැටියට තරමක වත් පොහොසත්කම් ඇති දැරියක වූවාය. ඇගේ මව්පියෝ කොළඹ වේල්ල වීදියේ ජනප්‍රිය බේකරියක හිමිකරුවෝ වූහ. එනිසාම සෝමා අත නිතර මුදල් ගැවසිණ. මුලින් මුලින් “අයිස් පලම්” මිත්‍රත්වයක් වුවත් එය පසුව යම් ආකර්ෂණීය බැඳිමක් ලෙස වැඩුණු මිතුරු දමක් විය. මගේ වාසනාවට ඇය ද මා මෙන් ම කියවීමේ සූරියක වූයෙන් අපේ කුඩා පුස්තකාලයෙන් වහා පිටතට පැන අලුත් ජීවිතයක් සෙවීමේ මඟක් මට පෑදිණ. ඒ ඇගේ වත්පොහොසත්කමේ පිහිටෙනි.

සෝමා දිනපතාම රුපියලක් දෙකක් පාසලට රැගෙන එන අතර සතියකට වතාවක් දෙකක් ඇය ඉන් කොටසක් මා අතට පත් කරයි. ඒ ඇගේ උවමනාවට ඔල්කොට් මාවතේ “ ගුණසේන සමාගම” ට හෝ වේල්ල වීදියේ “රත්නාකර පොත් හල”ට ගොස් චිත්‍රකතා පොතක් දෙකක් ගෙන ඒමටය. මේ හැටේ දශකයේ අග භාගයයි. එවකට චිත්‍රකතා පොත් රචකයින් අතර පෙරමුණේ සිටි “ධර්මශ්‍රී කල්දේරා” සහ “සුසිල් ප්‍රේමරතන් ”ගේ “බිලිපූජාව” “හෙවණැල්ල” “ ආත්ම පූජා” “ලන්දේසි හටන” වැනි පොත් මිලට ගත් පසු ඒවා පළමුව කියවන්නේ මා ය. මන්ද සෝමා මට දෙන මුදල්වලින් මා පොත් මිලට ගන්නේ පාසල ඇරී ගෙදර යනවිට දී වීම ය. පසුදින සෝමා පාසලට පැමිණ මා අතින් එම පොත් ගෙන පොත් අතර රහසේ සඟවා නිවෙසට ගෙන යන්නී කියවන්නේ ද රහසිනි. ඒවා නිවසේ තබා ගැනීමට නොහැකි බැවින් ඇය මට ආපසු ගෙනැවිත් දෙන්නේ “ඔයා තියාම තියා ගන්න” යයි පවමිනි. එම යුගයේ පාසල් ළමයකු එවැනි පොත් කියවීම වැඩිහිටියන් නොඉවසූ නිසාය. එහෙත් මා ඉක්මනින් වැඩිහිටියකු වූයේ මගේ කියවීම අනාගත මිනිසකුගේ ආරම්භයක් ලෙස අපේ අම්මා සිතූ නිසා යයි මට පසුව දැනී තිබිණ. සැබැවින් ම මට ගෙදරදී කියවිමේ බාධාවක් නොවීය.

මේ කියන යුගයේ කුඩා පුස්තකාල අල්මාරිය නොව සෝමා මට විවර කර දැක්වූ ලෝකය වෙනස් බව මට දැනෙන්නට වූයේ වේල්ල වීදියේ බුලත් සුරුට්ටු කඩවල වැලක් ලෙස එකට අමුණා විකිණීම පිණිස එල්ලා තිබූ “ඩීමන් ආනන්ද”ගේ සත පනහේ කුඩා නවකතා මිලට ගැනිමේ පෙළඹීම සෝමා කළ කල්හි ය. එකල ඩීමන් ආනන්දගේ මාරක කතා පොතක් පාසල් ශිෂ්‍යයකු අත වී නම් එය අපරාධයකට සමාන විය. සෝමාගේ පෙරැත්තය කොතෙක් වුවත් ඩීමන් ආනන්ද කියවීමට ඇති ආශාව ඊටත් වැඩි වුවත් දෙමළ සුරුට්ටු මුදලාලි ඉදිරියට ගොස් පොතක් ඉල්ලා සිටීමට තරම් එඩියක් මා සතුව නොවීය.

සෝමාගේ පෙළඹීම බලවත් ය. එනිසා මම සිතට දිරි ගෙන නිතර ජනාකීර්ණ කඩ දොරේ හිඩැසක් බලා පොතක් මිලට ගත්තෙමි: එය අතේ රෝල් කරගෙන වේල්ල විදියේ ඉහළට දිව ගියෙමි: ඒ හුස්මේම වත්තට පැන වැසිකිළියට රිංගා ගතිමි. දෙය්යනේ..! සෝමා නිවැරදි ය. ඩීමන් ආනන්ද මගේ පිපාසාවේ ගැඹුර පාදා දුන්නෙහිය. අප දෙදෙනා ඒ වනවිට ඩීමන් ආනන්ද ලියා පළ කර තිබූ පොත් සියල්ලම කියවා නිම කිරීමේ ආරම්භ ගත්තෙමු.

සෝමා අප පාසලේ සිටි කාලය කෙටිය. එම කෙටි කාලය තුළ ඇය මට විවර කර පෙන්නුවේ පාසලේ පුස්තකාලයට වැඩි විශාල සමාජ පරාසයකි. එය පුස්තකාලයේ දී හමුවන සාමකාමි ලෝකය නොවේ. ඊට වැඩි කලබලයෙන් යුත් අලුත් හැඟුමන් රැගෙන එන සජීව ජීවිත ආස්වාදයක් ඩීමන් ආනන්දත් චිත්‍රකතා පොත් අතරිනුත් සෝමාත් මමත් වින්දනය කළෙමු. සෝමා හදිසියේ (ඇය වැඩිවියට පත් වූ නිසා විය යුතුය) පාසල හැර ගිය පසු අප අතර එවැනි පොත් හුවමාරුවක් නොවුණා තරමි. පසුව මටත් කච්චේරි ඉස්කෝලය හැර දා කොටහේන මධ්‍ය මහ විද්‍යාලයට යාමට සිදූ වූ පසු එම කතාව නිම වුවත් සෝමා විසින් විවර කරණ ලද මගේ කියවීමේ පිපාසා කවුළුව කිසිදා නොවැසිණ. ඩීමන් ආනන්දගේ ත්‍රාසජනක අන්දරය ඔස්සේ කරුණාසේන ජයලත් සොයා පහදා ගැනීමත් සමඟම මා වැඩිහිටියකු වූ බව මට දැනිණ.

කියවීමෙන් මා සම්පූර්ණ වූ බව මට දැනුණ මුල්ම අවස්ථාව උදා වූයේ මට වසර දහතුනේදී ය. එවකට මම අට වෙනි කැලැසියේ ඉගෙනුම ලබමින් සිටියෙමි. ජී. බී. සේනානායකගේ “වෙසක් පහන” කෙටිකතාව කියවීමෙන් ලත් උත්තේජනය පහුරක් කොට ගෙන මම “වෙසක් කූඩුව” නමින් කෙටිකතාවක් ලීවෙමි. එය නිම වූ සැණින් මා විඳි ප්‍රීතිය උසස් විය. මගේ නිර්මාණය කිසිවකුට පෙන්විය යුතයු. ආවාසනාවකට අප නිවසේ ඊට සුදුසු පරිසරයක් නොවීය. නිවසේ අය පමණක් නොව ඥාති මිත්‍රාදීන් පවා සිතා සිටියේ මා උගත් පිස්සකු වනු ඇති බවයි. කන-බොන, යන-එන, නිදන සහ වැසිකිළි-කැසිකිළි යනවිට පවා පොතක්, පත්තර පිටුවක් හෝ කඩදාසියක් හෝ කියවන මා පිස්සකු නොවීද? එවන් පිස්සකුගේ ලියවිල්ලක් කියවීමට නම් පිස්සුවක් තිබිය යුතුය.

මම මගේ රචනය රැගෙන වේල්ල විදියට දිව ගියෙමි. එහි සුචරිත මාවත අයිනේ ඇති කිරිකඩය අයිති අපේ පුංචි අම්මාටය. එහි ඒ වෙලාවේ සිටියේ පුංචි අම්මාගේ පුතා “උපාලි අයියා” ය. සතුට වැඩි ය. ඔහු “කොළඹ ආනන්දයේ ”උගත් කෙනෙකි. මම ඔහටු පොත පෑවෙමි.

“මං කෙටිකතාවක් ලිව්වා..” “මොකක්..? කෙටිකතාවක්..! අනේ උඹයි මමයි ලියන කෙටිකතා..”

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා දහඩිය ගලයි. පොත උදුරාගත් මම වත්තට දිව විත් වැසිකිළියට රිංගා දොර වසා ගතිමි. හඬන්නට ඇත. උපාලි අයියා එදා මට දැක්වූ ප්‍රතිචාරය නපුරක් නොවන බව එදත් මම දැන සිටියෙමි. ඒ මා ජීවත් වූ පරිසරයේ සහ යුගයේ හැටිය. කතා ලිවීම සුවිශේෂ දක්ෂකමකි. ඊට උපන් හපන්කම් නොව වර්ධනය කරගත් දක්ෂතා තිබිය යුතුය. කතා ලියන්නේ උගතුන් ය. මා කවුද? එම කතාව ඉරා වැසිකිළි වළට දමන්නට ඇත. මට මතක මා ලිවීම නවතා දැමු බව පමණි.

එහෙත් කියවීම නම් නතර නොකළෙමි. ඒ කියවීම මිනිසා සම්පූර්ණ කරණ බව මගේ හිතේ බරසාර ලෙස තැන්පත් කළ පෙරේරා ලොකු නෝනාගේ වචන කෙරෙහි මා විශ්වාසය තබා සිටි බැවිනි. ගත වූ කාලය දීර්ඝ ය. ඉදින් මේ කාලය තුළ මා සම්පූර්ණ මිනිසකු වී ද? සිතමි. යළි යළි සිතමි.

- අනුරසිරි හෙට්ටිගේ
anurasirihettige@gmail.com

උසාවි සාවිය පෙර ලිපි:

උසාවි සාවිය 01 - මඩමේ සිට Day Care දක්වා 

උසාවි සාවිය 02 - සරුංගල් ලුහුබඳින්නෝ - Kite Runners

උසාවි සාවිය 03 - ගාමිනී බහින්න, මානෙල් බහින්න...

උසාවි සාවිය 04 - ඉතිකින් අපට සැප නම් දැක්මමයි නුඹේ..

උසාවි සාවිය 05 - ටැක්සිකාරයා.. මං ඇරල යන්න හරිම සූරයා..

 

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29547,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කියවීම මිනිසා සම්පූර්ණ කරයි. - උසාවි සාවිය 06
කියවීම මිනිසා සම්පූර්ණ කරයි. - උසාවි සාවිය 06
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/f6e72dbd7f8dcb2a1fee3f02ed9d6abe_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/06_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/06_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy