ඇය සෝමාවතී දේවනාරායනය. එහෙත් බොහෝ දෙනකු ඈ අමතන්නේ ලොක්කී ලෙසය. නැතිනම් දේවා කියාය. ඇගේ ජීවනෝපාය වන්නේ අවමංගල අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කිර...
ඇය සෝමාවතී දේවනාරායනය. එහෙත් බොහෝ දෙනකු ඈ අමතන්නේ ලොක්කී ලෙසය. නැතිනම් දේවා කියාය. ඇගේ ජීවනෝපාය වන්නේ අවමංගල අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කිරීමයි. බොහෝ දෙනකු පවසන පරිදි ඈ අවමංගල අධ්‍යක්ෂවරියක, කවුරුත් දන්නා සිංහලෙන් නම් මිනී එම්බාම් කරන්නියක ලෙස කටයුතු කරන්නේ වෙනත් රැකියාවක් කිරීමට ඇති අකමැත්ත නිසා නොව ඈ මෙම රැකියාවට ඇති කැමැත්ත නිසාය. අද ඈ කොලොන්න විජේරිය සුපසන් මල් ශාලාවේ හිමිකාරිනියයි. දුක් සෝ සුසුම් මැද බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින ඈ පසුගිය දවසක මුණ ගැසුණි. මේ ඇගේ කතාවයි.
ලොක්කීගේ ළමා කාලය ගෙවෙන්නේ කොලොන්නේය. සහෝදර සහෝදරියන් අට දෙනකුගෙන් යුතු පවුලේ දෙවැන්නිය ලොක්කීය. කුඩා කාලයේ සිටම ඇයට අවශ්‍ය වන්නේ දෙමවුපියන්ට බරක් නොවී ජීවත් වන්නටය. ඒ නිසා ඇය තම පියා විසින් පවත්වාගෙන ගිය කම්හලේ යකඩ සමඟ කාලයක් ඔට්ටු වූවාය. තවත් වරෙක තිස්සමහාරාමයේ පදිංචිව සිටි තම සහෝදරයාගේ නිවසට යන ඈ ඔහු පවත්වාගෙන ගිය වඩු මඩුවක ලී සමඟ හෙට්ටු වූවාය. තිස්සමහාරාමයේදී අගේ ජීවන සහකරු ඇයට මුණ ගැසෙන්නේය. පවුලේ ලොක්කී වීම නිසාම සිය පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් නැවතත් පදිංචිය සඳහා කොලොන්න ගමට එන්නට ඇයට සිදු වූවාය. සෝමාවතීගේ ජීවිතයේ වෙනස්ම පිටුවක් ලියවෙන්නට පටන්ගන්නේ එතැන් සිටය.
ලොක්කීට ඇගේ බාල සහෝදරයා අපූරු යෝජනාවක් කරන්නේය. ‘‘ලොක්කී අපි මල් ශාලාවක් දාමු?’’ "මල් ශාලාවක්” ඈ තිගස්සුනාය. ඒ යෝජනාවේ බරපතළකම සහ එය ක‍්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න සෝමාවතී කල්පනා කළාය. ඒ මොහොතේදී රැකියාව හෝ පවුල් ජීවිතය යන දෙකෙන් එකක් තෝරා ගැනීමේ අසීරු තීරණය ගැනීමට ඇයට සිදු විය. ඒ අනුව මල් ශාලාව තෝරාගන්නට ඇයට සිදු විය. ඒ මුළු පවුලේම වගකීම ඈ පිට පැටවී තිබූ නිසාය. අවසානයේදී සිය සහෝදරයා සමඟ එක්ව ඈ මල් ශාලාවක් ආරම්භ කළාය.
1989 දී ඇරඹි දේවේන්ද්‍ර මල් ශාලාව යනු කොලොන්න කොට්ඨාසයේ වසම් 29කටම ඇති එකම මල් ශාලාවයි. මුල් කාලයේදී මල්වඩම් සැරසිලි, පෙට්ටි සැරසිලි කළ ඇගේ සියුමැලි දෑත් කාලයත් සමඟම මිනී එම්බාම් කරන්නටද හුරු වූවාය. වසර 27ක පළපුරුද්ද මත අද මිනී පෙට්ටිය සෑදීමේ කටයුත්තේ සිට මිනිය එම්බාම් කර අවමංගල රථයෙන් නිවස දක්වා ගෙනයාමේ කටයුත්තද සිදු කෙරෙන්නේ ඈ අතිනි.
දරුවන් දෙදනකු සිටින තනි වූ ගැහැනියක් ලෝකයේ කිසිම කාන්තාවක් තෝරා නොගන්නා ආකාරයේ රැකියාවක් තෝරා ගැනීමම අභියෝගයකි. එහෙත් සමාජයේ සියලූ ප‍්‍රතික්ෂේප කිරීම් නොතකා ඇය මිනී එම්බාම් කරන රැකියාව තෝරා ගත්තාය.
ගැහැනියක් විදිහට මේ වගේ රස්සාවක් තෝරා ගත්තේ ඇයි? සුපුරුදු පැනයක් මා ඈ ඉදිරියේ තැබුවෙමි.
එහෙම දෙයක් නැහැ. මල්ලිලා ඒ වැඩ කරනවා මම බලාගෙන ඉඳලා තියෙනවා. ඒත් ගැහැනියක් නිසා ගොඩක් අය මන් දිහා බැලුවේ වපර ඇහින්. මගේ ළමයි දෙන්නා ඉස්කෝලෙන් කොන් කළා. අපේ ගේ ළඟින් යන අය ගියේ අහක බලාගෙන. මට මඟුල් ගෙදරකට ආරාධනා කළාම රුපියල් හත් අටදාහක් වියදම් කරලා හොඳට ඇඳගෙන හයර් එකට වාහනයකුත් අරගෙන යනවා. මඟුල් ගෙදරට ගොඩ වුණාම ඒ අයම මට කියනවා පිටිපස්ස පැත්තෙන් එන්න කියලා. ඒ වගේම තමයි දානේ ගෙදරකට ගෙදරකට ගියාමත් කියන්නේ පිටිපස්සේ තියෙන වැඩක් කරන්න, එහෙම නැත්නම් සෝමා අක්කේ වලං ටිකක් තියෙනවා හෝදලා දාන්න කියලා. එහෙම වෙනකොට මම මඟුල් ගෙවල්වල, දානේ ගෙවල්වල යන එක නැවැත්තුවා. ඒක ඒ අයගේ හිතට වගේම මගේ හිතටත් හොඳයි. මාව කවුරු අහක දැම්මත් මගේ ළමයි දෙන්නා අහක දාන්නේ නැහැ කියලා මම දන්නවා.
ඈ පවසන්නීය. ඒ මුහුණේ විඩාබර බව මිස සමාජයෙන් ලද ගැරහුම්, නිනදා අපහාස වේදනා ගැන සේයාවක් හෝ නොමැත. තරුණ නොවූ ඇගේ දෙනෙත් තවමත් කාන්තිමත්ව දිදුළන්නේය.
වෙන රස්සාවක් කළේ ම නැද්ද? නැවත මා ඇගෙන් විමසුවෙමි. මා ඒ පැනය ඇගෙන් විමසුවේ කිසියම් මොහොතක ඇගේ වෘත්තීය පිළිබඳ එපාවීමක් පිළිබඳ කතාවක් ඇගේ මුවෙන් ඇසෙතයි බලාපොරොත්තුවෙනි.
මම කාලයක් කොලොන්න දිසා රෝහලේ ස්වේඡා්චාවෙන් වැඩ කළා. ඒ මට රෝහලේ මෝචරියේ රැකියාව ලැබෙයි කියලා හිතාගෙන. මොකද ඒ වනකොට කොලොන්නේ මරණයක් වුණාම ඒක කපන්න ඇඹිලිපිටිය රෝහලටම ගිනියන්න වෙනව. ඒක අපේ ගමේ මිනිස්සුන්ට අමාරු වැඩක්. ඒ නිසා මට රෝහලේ වෛද්‍යවරුන් ගොඩක් උදව් කළා. මම රෝහලේ හැමදෙයක්ම කළා. අතුගෑවා. තුන්ඩු ලිව්වා. ඒත් මොකක් හරි හේතුවෙක් නිසා ඒ අය මාව ස්ථිර කළේ නැහැ. තවදුරටත් එහෙම වැඩ කරලා වැඩක් නැති නිසා මම කල්පනා කළා මල් ශාලාවම දියුණු කරගෙන ඉන්න.
කාලයත් සමඟ සහෝදයා සමඟ කරගෙන ආ හවුල් ව්‍යාපාරයෙන් වෙන්ව ඈ තනිවම ව්‍යාපාර කටයතු ආරම්භ කළාය. කොලොන්න - විජේරිය ආරම්භ කරන ලද ”සුපසන් මල් ශාලාවේ” අද තනි හිමිකාරිනිය වන් සමාවතීය. ඈට මේ කටයුතු සියල්ලට සහයෝගය දෙන්නේ ඇගේ එකම පුතුනුවන්ය. ඔහු අද රජයේ රෝහලක සෞඛ්‍ය සේවකයකු ලෙස කටයුතු කරන්නේය.
කොලොන්න නගරයේ පොලීසිය අසල පිටා ඇති ඇගේ නිවසට මා යනවිට කුඩා නිවසේ සාලයේ කුඩා පුටුවක්, නිදන ඇඳක් හැරුණු විට ලී මිනී පෙට්ටි හතරක් තබා තිබුණි. ඉන් එක් පෙට්ටියක් පමණක් අඩක් සැරසිලි කර තිබිණි. අවමංගල සේවයට අවශ්‍ය සියලු බඩු භාණ්ඩ අද ඇත්තේ ඇගේ නිවසේ සහ ඊට යාබදව ඇති ලෑලි මඩුවකය. තවත් කාමරයක මිනී පෙට්ටි සැරසිලි සඳහා අවශ්‍ය දෑය. තවත් කාමරයක් ඇත්තේ මිනියට අවශ්‍ය ඇඳුම් මහනා අයිත්තම්ය. ඒ හැර අනෙක් කිසිවක් ඇගේ නිවසේ දකින්නට නැත. අද ඈ මේ ගෙදර ජීවත් වන්නේද තනියමය.
තනිවම එම්බාම් කටයතු කරන්න බය නැද්ද? මා ඇගෙන් ඇසුවෙමි.
එහෙම විශේෂ බයක් නැහැ. මමත් අනිත් ගැහැණු අය වගේම හිතේ තෙතමනය තියෙන ගැහැණියෙක්. දුක, සතුට, ආදරය, තරහා මේ හැමදෙයක්ම මටත් දැනෙනවා. හැබැයි වැඩ කරන වෙලාවට මම කිසි දෙකට සැලෙන්නේ නැහැ.රෑ 12ට කෙනෙක් වැඩක් භාර දුන්නත් මම ඒ වැඩේ අනිවාර්යෙන්ම කරනවා. මට ඕන භාරගත්ත වැඩේ හරියට කරන්න. අපි ඉපදුනෙත් තනියම මැරෙන්නෙත් තනියම. ඒක නිසා මැරෙනකම් මම මේ වැඩේ සේවයක් විදිහට කරනවා කියන ප‍්‍රාර්ථනාව විතරයි මට තියෙන්නේ. බයවෙලා මේ වගේ රස්සාවක් කරන්න බැහැ. මම ගෙදර එම්බාම් එකක් කරනවා නම් කරන්නේ එළියේ තියෙන මඩුවේ. කැමති කෙනෙකුට බලන්න පුළුවන්. ඒ වගේම මිනීය ගෙදරට ගිහින් දෙන වැඩෙත් මම තනියම කරනවා. හර්ස් එකේ මං තනියම ගිහින් මිනිය භාර දෙනවා. යන්න අමාරුම පාරක නම් මම ඩ‍්‍රයිවර් කෙනෙක් එක්කගෙන ගිහින් කුලිය දෙනවා.
මේ රැකියාවෙන් ඔබට ජීවත් වෙන්න පුළුවන්ද?
මම මෙච්චර කාලයක් ජීවත් වුණේ කාටවත් අතපාල නෙවෙයි. මගේ දරුවෝ උගන්නගෙන මම මේකෙන් ලැබෙන මුදලෙන් ජීවත් වුණා. දැන් මගේ දුවත් හෙද රෝහලේ තවම ඉගෙන ගන්නවා. සමාජයෙන් පිළිගැනීමක් ලැබුණෙ නැහැ කියලා මම රැකියාව අත්හැරියේ නැහැ. බස් එකක ගියත් මන් ළඟ වාඩි වෙන්නේ නැති අය ඉන්නවා. මම හේස්වත්ත කියන දිහාවෙත් ටික කාලයක් මල් ශාලාවක් කළා. ඒ කඩේ අයිතිකාරයා ආයෙත් ගත්තා. සමහර කරදර නිසා දැන් මං ජීවත් වෙන්නේ බයෙන්. මරුන මිනිස්සුන්ට නෙවෙයි අපි බය වෙන්නේ ඕනි ජීවත් වෙන අයට. මම මේ වෙනකොට මිනී 1000කට වැඩිය එම්බාම් කරලා තියෙනවා. මට ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. මිනී පෙට්ටි ගෙන්නේ මාතරින්. ඒවාට සැරසිලි බඩු ගෙන්ලලා අනෙක් ආම්පන්න එක්ක බලනකොට මේ වැඩට විශාල මුදලක් යනවා.
ඔබේ ජීවිතයේ ප‍්‍රාර්ථනාවන් මොනවාද? අවසානයේදී මා ඇගෙන් ඇසුවෙමි.
මට ලොකු ලොකු ප‍්‍රාර්ථනා නැහැ. මම දැනට විජේරිය ගමේ මගේ මල් ශාලාව ආරම්භ කළා. ඒකට තවම වැඩි කාලයක් නැහැ. මේ පැත්තේ මළ ගෙයක් වුණොත් මට තමයි ගොඩක් වෙලාවට කියන්නේ. මල ගෙදර අතරමගදී වුවමනාවක් වුණොත් ඕන වෙලාවක මම ගිහින් ඒ අවශ්‍ය වැඩ කටයුතු කරලා දෙනවා. ඒ හැර මගේ දුවගේ ඉදිරි වැඩකටයුතු හොඳින් කරගන්න එක තමයි මට ඉතිරි වෙලා තියෙන්නේ. ඒකට කීයක් හරි හොයාගන්න ඕනි මේ රස්සාවෙන්ම තමයි. ඒ හැරුනාම මම මගේ මගේ කියලා මොනම දෙයක්වත් බදාගෙන ජීවත් වෙන්නේ නැහැ. මේ ශරීරය දවසක අපිට නැතිවෙලා යනවා කියලා හොඳින්ම අවබෝධ කරගෙනයි මම ජීවත් වෙන්නේ.”
ප‍්‍රදීපා වීරසේකර
COMMENTS