මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය අසාමාන්‍ය ලෙස සිසුන්ට දරාගත නොහැකි මට්‌ටමින් සකස් කර ඇති බවත් හිටපු අධ්‍යාපන අමාත්...
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය අසාමාන්‍ය ලෙස සිසුන්ට දරාගත නොහැකි මට්‌ටමින් සකස් කර ඇති බවත් හිටපු අධ්‍යාපන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මේ හේතුවෙන් දිඹුලාගල ප්‍රදේශයේ දරුවකු සියදිවි නසාගෙන තිබෙන බවත් මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දෙයි.
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය ප්‍රශ්න පත්‍රයෙන් දරුවන්ට අසාධාරණයක් නොවන ආකාරයේ විසඳුමක් ලබාදෙන ලෙස අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඊයේ (20) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
අධ්‍යාපන ඇමැතිවරයාට එරෙහිව නිලධාරීන් සුළු පිරිසකගේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන ඇමැතිවරයා නොමඟ යවන සූක්‍ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ බන්දුල ගුණවර්ධන මහතා,
“දීර්ඝ කාලයක සිට ගණිත විෂය පිළිබඳව අර්බුදයක් තිබෙනවා. කිසිම වර්ෂයක ගණිත විෂයට පෙනී සිටින සිසුන්ගෙන් සියයට 50 කට වඩා වැඩි ප්‍රමාණයක් ගණිතය සමත් වන්නේ නැහැ. ගණිතය අසමත් වූවාම රාජ්‍ය සේවයේ රැකියාවකට යැමට බැහැ. එමෙන්ම ගණිතය අසමත් දරුවන්ට උසස් පෙළ හදාරන්න ඉඩ ලැබුණේ නෑ. මෙහෙම අවුරුදු 16 දී දරුවෙකුට පාසලේ දොර වැසුනාම ඒ දරුවාට සිදුවන මානසිකත්වය කුමක්‌ද? ඒ පිළිබඳව මේ රටේ අධ්‍යාපන විද්වතුන්ට බලන්න තිබුණා. නමුත් තමා අධ්‍යාපන ඇමැති වන තෙක් කවුරුත් ඒ ගැන බලලා තිබුණේ නැහැ.
ඒ නිසා මා අධ්‍යාපන ඇමැති ලෙස තීන්දුවක් ගනු ලැබුවා ගණිතය අසමත් සිසුන්ට කලා අංශයෙන් උසස් පෙළ විෂය ධාරා හැදැරීමට අවස්‌ථාව ලබා දෙන්න. ඉන්පසු ගණිත ගැටලුව පිළිබඳ සොයාබැලීමට ගණිතය පිළිබඳ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් යුත් කමිටුවක් අපි පත් කළා. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී දරුවන්ගේ ගණිත කාර්ය සාධනය ඉහළ දැමීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමයි එම කමිටුවට පැවරුනේ. එම කමිටුව ගණිතය සම්බන්ධ නිර්දේශ වාර්තාවක් තිබුණා. එම කමිටුව නිර්දේශ වාර්තාවේ ආකාරයට ගණිතය විෂය ප්‍රශ්න පත්‍රය සකස් කළේ නම් මෙම සිසුවාගේ මරණය සිදුවන්නේ නැහැ. ජීවිතවලින් දරුවන්ට වන්දි ගෙවන්න සිදුවන්නේ නැහැ.
මෙම ජාතික ගැටලුව පිළිබඳව හිටපු අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් මා විශේෂඥ කමිටුවක් පත් කර සකස් කර තිබූ වාර්තාවේ අඩංගු දේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ගේ යුතුකමක් තිබුණා. එසේ ක්‍රියාත්මක නොකිරීමෙන් මෙවර අ.පො. ස. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය දෙවන බී කොටසේ ප්‍රශ්නවලට නිශ්චිත කාලයක් තුළදී දරුවන්ට තියා ගුරුවරුන්ටවත් පිළිතුරු ලිවීමට අපහසුයි.
ගණිතය පළමු ප්‍රශ්න පත්‍රයේ ගැටලුවක් නැහැ. දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ ගැටලුවකුත් නැහැ. එහි බී කොටසේ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම අපහසු බව ගණිතය පිළිබඳ විද්වතුන් මට පවසා සිටියා.
එහෙම නම් අවුරුදු 16 ක වයසේ දරුවන්ට මෙවැනි මානසික පීඩනයක් දෙන්නේ නම් ඔවුන් සියදිවි නසා ගන්නේ නැද්ද? මේ වගේ දේවල් පිළිබඳව අධ්‍යාපනඥයෝ අවධානය යොමු නොකරන්නේ ඇයි. මෙවර විභාගය ලියන දරුවන් විශාල ප්‍රමාණයකට මේ අසාධාරණය වී තිබෙනවා. එම නිසා අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලීම් දෙකක් කරනවා. එක මෙම දීර්ඝ කාලීන ගණිත ගැටලුව පිළිබඳව විශේෂඥතාවක් ඇති මහාචාර්ය ආචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවෙන් ලබාගත් නිර්දේශ දේශපාලන වශයෙන් කල්පනා නොකර දරුවන් ගැන කල්පනා කර ක්‍රියාත්මක කිරීමට වහා මැදිහත් වන ලෙස. දෙවැන්න මෙවර ගණිත ප්‍රශ්න පත්‍රයෙන් කිසියම් අසාධාරණයක් සිසුන්ට නොවන ආකාරයේ විසඳුමක් ලබාදෙන බවට අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශයක් කළ යුතුයි. ලක්‍ෂ සංඛ්‍යාත දරුවන්ගේ මෙවැනි ප්‍රශ්නයක් දේශපාලන වශයෙන් කල්පනා නොකර හඬක් නැගීමට නොහැකි දරුවන් වෙනුවෙන් පියවරක් ගත යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංයේ නිලධාරීන් මැදිහත් නොවන්නේ නම් අඩුම තරමේ ජනාධිපතිවරයා හෝ මැදිහත් වීමක් කළ යුතුයි.“ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.
පසුගිය වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශයට අය වැයෙන් වෙන්කළ මුදල අතිරේක ප්‍රතිපාදනයත් සමඟ බිලියන 203 කි. ඒ මුදලින් වර්ෂය අවසාන වනවිට වියදම් කළේ බිලියන 65 ක් බවත් වියදම් නොකර ඉතිරි වූ ප්‍රමාණය බිලියන 138 ක් බවත් පෙන්වා දුන් බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුළද සඳහන් කළ බවද කියා සිටියේය.
COMMENTS