රටේ පිරිසිදු දේශපාලන සංස්‌කෘතියක් ඇති කිරීමට යන ගමනේදී තමන්ගේ කඩුවට කැපී යන්නේ කවුරුන්ද යන්න තමාට ප්‍රශ්නයක් නොවන බව ජනාධිපති මෛත්‍රිපාල...
රටේ පිරිසිදු දේශපාලන සංස්‌කෘතියක් ඇති කිරීමට යන ගමනේදී තමන්ගේ කඩුවට කැපී යන්නේ කවුරුන්ද යන්න තමාට ප්‍රශ්නයක් නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
එහිදී තම කඩුවට කැපෙන්නෙ මොන පක්‍ෂයද, තමාගේ කුමන ඥාතියකුද, තමාගේ කුමන හිතවතෙකුද හෝ කාගේ කවුරුන්ද යන වග තමාට වැදගත් නැතැයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
භගවත් ගීතාවේ දැක්‌වෙන නාගර්ජුනගේ කඩුවට ඥාතීන්, හිතවතුන්, මිත්‍රයන් යන ඕනෑම කෙනෙක් කැපී යැයි යන ප්‍රකාශයද උපුටා දක්‌වමින් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග මෙවර මැතිවරණය සඳහා සන්ධානගතව සිටින දේශපාලන පක්ෂ 31ක නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් “නිදහසේ සම්මුතිය” ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී සිදුවිය.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ “මගේ කඩුවට කැපෙන්නේ මගේ ඥාතීන් ද, මගේ මිත‍්‍රයින් ද, මගේ හිතවතුන් ද, කවුරුන්ද දන්නේ නැහැ. එහෙත්, ඒ ඕනෑම කෙනෙක් කැපී යයි.” භගවත් ගීතාවේ එසේ සඳහන් වෙනවා. මට කියන්න තියෙන්නෙත් මොන පක්ෂයේ, මොන වර්ණයේ ද, කාගේ ද, මගේ ඥාතීන් ද, කවුද කියන ප‍්‍රශ්නය නැහැ. පිරිසිදු පවිත‍්‍ර දේශපාලන ව්‍යාපාරයක් සඳහා මගේ කඩුවට කවුරු කැපෙයි ද කියන එක කියන්න බැහැ. ඕනෑම කෙනෙක් කපන්න සිද්ධ වෙනවා. එය කරන්නට වෙන්නේ ජාතියේ අනාගතය සඳහා. රටේ අනාගතය සඳහා. අද දවසේ මෙන්ම හෙට දවසේ අප සියලු දෙනාම ඒ සඳහා කැප විය යුතු වෙනවා.“
ජාතියේ අනාගතය වෙනුවෙන් පිරිසිදු සහ නිර්මල දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට යන ගමනේදී පක්ෂ, පාට, වර්ණ හෝ කිසිදු ඥාති සබඳතාවයක් නොසලකන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
රටට, ජනතාවට ආදරය කරන දූෂණයට, වංචාවට හා නාස්තියට කිසිසේත් හිස නොනමන, අවංක, සෘජු දේශපාලන නවකයින් පිරිසක් බිහි කිරීම මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අපේ්ක්ෂා කරන බවත් අවංක, පිරිසිදු සහ ජනතාවාදී දේශපාලන ව්‍යාපාරයක් සඳහා සුදුසු පුද්ගලයින් තෝරා ගනිමින් අනාගතයේ දී යහපත් ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා වන ප‍්‍රවේශය මෙම මැතිවරණය තුළින් සනිටුහන් කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
දේශපාලනය කරන කිසිදු පුද්ගලයෙකුට පුද්ගලික න්‍යාය පත‍්‍රයක් තිබිය නොහැකි අතර, ඒ සෑම කෙනෙකුටම තිබිය යුත්තේ රටේ, ජාතියේ සහ ජනතාවගේ අනාගතය වෙනුවෙන් වූ පොදු න්‍යාය පත‍්‍රයක් බව ද ජනාධිපතිවරයා පැවසීය.
මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක‍්‍රමයට පැවැත්වීමට හැකීවීම විශාල ජයග‍්‍රහණයක් බවත්, යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා ප‍්‍රවේශය ඒ තුළින් සිදුවන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා පසුගිය වසර දෙකේ ආණ්ඩුව තුළත්, විපක්ෂය තුළත් ඒ වෙනුවෙන් විශාල සටනක් කිරීමට සිදුවූ ආකාරය ද සිහිපත් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ප‍්‍රකාශයට පත් කරන නිදහසේ සම්මුතිය රටේත්, ජාතියේත් මෙන්ම අද සිටින සහ හෙට උපදින දරු පරපුරේ අනාගතය වෙනුවෙන් වූ සම්මුතියක් බව සඳහන් කළ ජනාධිපතිවරයා එම සම්මුතිය තුළ යහපත් අනාගත දේශපාලන දැක්මක් සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය පිරිසක් රට තුළ ගොඩනැගෙනු ඇති බවද සඳහන් කළේය.
එමෙන්ම විනයෙන්, හික්මීමෙන් හා මැතිවරණ නීතිරිතීවලට අනුකූලව ප‍්‍රචණ්ඩත්වයෙන් තොර ආදර්ශවත් මැතිවරණ ව්‍යාපාරයක් සදහා සියලුදෙනාගේ කැපවීම ද මෙහිදී අවධාරණය කළ ජනාධිතිවරයා යහපත් පළාත් පාලන ආයතනයක් වෙනුවෙන් ජනතාවට ලබාදෙන පණිවිඩය එය බවද සඳහන් කළේය.
නිදහසේ සම්මුතිය පිළිබඳ ප‍්‍රතිඥාව ඉදිරිපත් කිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදුකළ අතර සියලුදෙනා එක්ව නිදහසේ සම්මුති ප‍්‍රතිඥාව සහ දිවුරුම්දීම සිදු කළහ.
COMMENTS