දාන හා සීල “මම” විසින් මනස මුල්කරගත්, මනසෙහි මතු වූ මත/තීරණ අනුව සිදුවන්නකි. එහිදී මනසෙහි අවදිය පවතින්නේ විඥානයෙන් ය. එහි ඥාණ පහළ වීමක් න...
දාන හා සීල “මම” විසින් මනස මුල්කරගත්, මනසෙහි මතු වූ මත/තීරණ අනුව සිදුවන්නකි. එහිදී මනසෙහි අවදිය පවතින්නේ විඥානයෙන් ය. එහි ඥාණ පහළ වීමක් නැත. ඒ නිසා යමෙකු විඤ්ඤානයෙන් අවදි වී යම් දෙයක් කරත්ද, එය මායාවම ය (මනෝමයා). නිවනෙහි විඤ්ඤානයක් දකින්නට නැත (විඤ්ඤානං අනිදස්සනං). නිවන් දැකීමට විඤ්ඤානයට විරුද්ධ ඥානවලින් අවදි විය යුතුය.
මේ ලිපියෙන් භාවනාවලදී අවදිය පවතින්නේ කෙසේද, එවැන්නක් කිරීමෙන් නිවනට ළඟා වේද, නිවන ඈත් වේද යන්න සාකච්ඡා කරමු.
දාන සීල මෙන්ම භාවනා ද විඤ්ඤානයෙන් අවදි වීමෙන් සිදුවන දෙයකි. අද සමාජයේ භාවනා යනු මනස පාලනය කිරීම හෝ මනස දියුණු කිරීම ය. මනසේ පාලනයත්, දියුණුවත් සිදුවන්නේ මනස තුළම ය. මනසට අවදි විය හැක්කේ එක් ක්‍රමයකට පමණි. එනම්, විඤ්ඤානය තුළින් ය. එහි ඥාන කිසිසේත්ම නැත. “මම” මතුවන්නේ ද මනසෙහිම ය. මනස කොයි තරම් දුරට පාලනය කළත්, කොයි තරම් දුරට දියුණු කළත් මනස, මනස ම ය. විඤ්ඤානය, විඤ්ඤානය ම ය. මනසෙන් අවදි වීමට විඤ්ඤානය හැර වෙන ක්‍රමයක් නැත.
අද සමාජයේ භාවනා ක්‍රම දෙකක් ඇත. සමථ හා විපස්සනා යනුවෙන් මේ ක්‍රම දෙක ප්‍රසිද්ධ ය. අපි පළමුව සමථ භාවනා ගැන සාකච්ඡා කරමු.
සමථ භාවනා ක්‍රමය සිදුහත් කුමරා ඉපදීමට පෙර සිට සමාජයේ බැහැගෙන තිබූ හින්දු භාවනාවකි. අසිත, ආලාරකාලාම, උද්දකාරාමපුත්ත ආදීන් මෙම භාවනා ක්‍රමය ඉහළටම ප්‍රගුණ කර තිබිණි. නමුත් ඔවුන්ට නිවන් දැකීමට බැරි විය. එසේ වූයේ එවැනි ක්‍රමවලින් කොයි තරම් උසස් ධ්‍යානවල ලැගගෙන සිටියත් එම ධ්‍යාන නොහොත් භාවනා තල මනස තුළම නිසා ය. එම ක්‍රමයට සිදුහත් තවුසා ද අවුරුදු හයක් කාලය විනාශ කර ගත්හ. එයින් මනසෙන් නික්මීමට සිදුහත් තවුසාට බැරි විය. ධ්‍යානවලින් උසස් තලවලට සම වැදෙන විට මනස තව තවත් විඤ්ඤානය තුළ තදින්ම බැඳීම සිදු වේ.
බුදු පණිවුඩය මනසින් නික්මීමයි. “යේ සුප්පයුත්තා මනසා දල්හේන-නෙක්ඛාමිනෝ ගෝතම සානසම්හි”- “මේ මනාව තදින් බැඳුණු මනසෙන් නික්මීම ගෞතම පණිවුඩයයි”. මෙවැනි දෙයක් බුදුන් වහන්සේ ප්‍රකාශ කරන්නට යෙදුණේ මනස තුළ භාවනා කිරීමෙන් නිවන සොයාගන්නට බැරි බව සොයාගත් පසු ය. සියලු භාවනා මනස තුළයි. භාවනාවලින් මනසෙන් නික්මීමක් නොව තව තවත් මනස තුළ බැඳීමක් පමණක් සිදු වේ. එවිට මනස තව තවත් ඉදිරියට ඒමට (මනෝ පුබ්බංගමා) පුහුණු කර ඇති බැවින් මනසෙන් නික්මීමට, එනම් නිවන් දැකීමට අවහිරයක් වේ.
සමථ භාවනාකොට අරූප ධ්‍යානවලට පැමිණීමට හැකි අයට අනෙක් අය සිතන දේවල් කීමට හැකියාවක් ඇති වේ. එය මනසේ ම සිදුවන්නකි. ඔහුගේ මනස තව කෙනෙකුගේ මනස සමග සම්බන්ධ වීමට එවිට හැකියාවක් ඇති වේ. මෙය ඒ දෙදෙනාගේම විඤ්ඤානය තුළම ය. එවැනි හැකියාවන් නිසා සමහර අඥානවන්තයෝ ඔවුන්ට රැවටෙති. ඔවුන් මෙය මුදල් උපයා ගැනීමේ ක්‍රමයක් බවට පරිවර්තනය කොට රවටන දුප්පඤ්ඤයින් අද ලංකාවේ අප්‍රමාණ ය. එවැන්නන් නිවනට කිසිසේත් ළඟා නොවූ අය ය. ඒ හින්දු ක්‍රමයේ අගතැන් ය. බුදු පණිවුඩය එය නොවේ. බුද්ධ දේශනය එවැනි (ධ්‍යාන වැනි) මනසේ ම මතුවන මායාවන් අතහැරීම ය. මනසෙන් සම්පූර්ණයෙන්ම නික්මීම ය.
සල්ලේඛ සූත්‍රයේ බුදුන් වහන්සේ මෙසේ පවසති. “නේවසඤ්ඤා නාසඤ්ඤා වැනි ධ්‍යාන ලැබීමෙන් එළඹෙන්නේ තාවකාලික සුඛ විහරණයකට පමණි. එහි විඤ්ඤානය ක්‍රියාත්මක ය. එය නිවනට මග නොවේ”.
මීළඟ ලිපියෙන් “සමථ භාවනාවෙන් නිවන් දැකීමක් සිදුනොවන්නේ ඇයි”දැයි තවදුරටත් සොයාබලමු.
- වෛද්‍ය ගාමිනී අභය
පසු සම්බන්ධයි.
පෙර ලිපි
බුද්ධ දර්ශනය 1- නිවන් දකින ක්‍රමය අවුරුදු 2100කට පසු දැන් විවෘත වී ඇත.
බුද්ධ දර්ශනය 2- මාර්ගඵලලාභීන් බිහි නොවීමට ත්‍රිපිටකයේ වැරදි දේවල් ලියැවුණාද?
බුද්ධ දර්ශනය 3- බුද්ධාගමෙන් බුද්ධ දර්ශනය පහළ නොවන්නේ ඇයි?
බුද්ධ දර්ශනය 4- බුද්ධාගම පිරිසිදු බුද්ධ දේශනයද?
බුද්ධ දර්ශනය 5- බුද්ධාගමේ පදනම වන දාන, සීල, භාවනාවලින් නිවන් දැකිය නොහැක.
බුද්ධ දර්ශනය 6- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි?
බුද්ධ දර්ශනය 7- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? 2 වන කොටස
බුද්ධ දර්ශනය 8- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? 3 වන කොටස
COMMENTS