සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (15) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත...
සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (15) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් විශේෂ හෙළිදරව්වක් කරන ලදී. ඒ බරපතල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබූ සහ සිදුකරනු ලබන විමර්ශන පිළිබඳවය.
එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කලේ බරපතල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයවිසින් මේ වන විට විමර්ශන සඳහා ලේඛනගත කර ඇති මුළු විමර්ශන සංඛ්‍යාව 370 ක් බවයි. ඒ අතරින් ලිපිගොනු 73 ක් වෙනත් ආයතනවල විමර්ශන සඳහා යොමුකර ඇති බවයි.
එසේම ලිපිගොනු 93 ක් නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති නමුත් නඩු පවරා ඇති විමර්ශන සංඛ්‍යාව 13 ක් පමණක් බව ඇමති සාගල ප්‍රකාශ කරත්ම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෝ තුෂ්නිමුභූතව එසේ වන්නේ කෙසේ දැයි සාගලගෙන් ප්‍රශ්න කළහ.
ඒ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාගල ප්‍රකාශ කර ඇත්තේ ඒ විමර්ශන ප්‍රමාදයට වගකිව යුත්තේ පොලිස් දෙපාර්තමේන්තුව නොවන බවත් ඊට වගකිව යුතු එකම අයතනය නීතිපති දෙපාර්තමේන්තුව බවයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ විශ්වසනීයත්වය
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරී හිඟය ගැටළුවක් නමුත් එහි රාජකාරි කරන නිලධාරීන්ගේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටළුවක් ඇතැයි සාගල කියද්දී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සාගලට සහය දක්වමින් සාගල කී කතාව තහවුරු කළේය.
එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශන 38ක් පවත්වන බවත් ඉන් 14 ක් පුද්ගලයින් සම්බන්ධ විමර්ශන බවත් ඉතිරි 24 දේපළ සම්බන්ධ විමර්ශන බවත් සාගල කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැවසීය.
තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැළිගොඩ
එසේම තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැළිගොඩ සිද්ධි පිළිබඳ පරීක්ෂණ අවසන් මට්ටමක තිබුණත් එම සිද්ධිවලට අදාළ තීරණාත්මක සාක්ෂි ඇතැම් රාජ්‍ය ආයතතනවල ක්‍රියාමාර්ග නිසාවෙන් හෙළි නොවෙන බවත්, බ්‍රිතාන්‍යයේ හිටපු මහකොමසාරිස් ක්‍රිස් නොනිස් මහතාට බපහරදුන් බවට පැවසෙන හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස ගුණවර්ධන සම්බන්ධ විමර්ශන ලිපිගොනු නීතිපති දෙපාර්තුමේන්තුවේ දී අතුරුදන්ව ඇතැයි සාගල පවසද්දී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් කියා සිටියේ මේ සියලු තොරතුරු රටේ ජනතාවට පැවසිය යුතු බවත් ඒ සඳහා විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය යුතු බවත්ය.
එවිට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල ප්‍රකාශ කළේ එවැනි පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වුවහොත් නීතිපති දෙපාර්තමේන්තුවට ගැටළුවක් විය හැකි බවයි.නමුත් එවිට එජාප ඡ්‍යෙෂ්ඨයින් පිරිසක් ප්‍රකාශ කළේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුවහොත් නීතිපති දෙපාර්තමේන්තුවට ගැටළුවක් විය හැකි නමුත් එය නොපැවැත්වුව හොත් සමස්ත රජයටම ගැටළුවක් වියහැකි බවයි.
විසඳුම?
කෙසේ වෙතත් සාගල මෙහිදී සුවිශේෂි යෝජනා තුනක් කෘත්‍යෘධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.
- සෑම මහාධිකරණයක් සඳහාම විනිසුරුවරුන් තිදෙනෙක් පත් කිරීම
- මහාධිකරණයේ තීන්දු සඳහා සෘජුවම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත්කිරීමට අවස්ථාව සැලසීම
- නීතිපතිතුමාට වගකියන වෙනමම නඩුපැවරීමේ ඒකකයක් ඇති කිරීම
එම යෝජනා විය.
එසේම එහිදී සාගල ප්‍රකාශ කළේ දුෂණ වංචා පිළිබඳ පැවැත්වෙන පරීක්ෂණ හා ඊට අදාළ නඩු පැවරීම් පිළිබඳ ප්‍රගතිය මාසිකව කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත වාර්තා කිරීම සඳහා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සහ තමා ඇතුළත් අනුකමිටුවක් පත් කළ යුතු බවයි.
ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික කැමැත්ත හිමිවූ අතර අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ, නීතීඥ නිශ්ශංක නානායක්කාර ඇතුළු පස්දෙනෙකු එම කමිටුවට පත් කිරීමටත් කෘත්‍යාධිකරී මණ්ඩලය එකඟ විය.
COMMENTS