කප්පම් ගැනීම සඳහා වැල්ලවත්තේදී සිසුන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් දැනට මාස අටකට ආස...
කප්පම් ගැනීම සඳහා වැල්ලවත්තේදී සිසුන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් දැනට මාස අටකට ආසන්න කාලයක් අත් අඩංගුවේ පසුවන නාවික හමුදාවේ කමාන්ඩර් සුමිත් රණසිංහගේ නැන්දණිය මානසික ආබාධයක් හේතුවෙන් පසුගිය 12 වනදා රාත්‍රි දිවි හානි කරගෙන තිබිණි. ඇය ජීවිතය හානි කරගෙන තිබුණේ මානසික ආබාධයක් හේතුවෙන් වුවද හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දන්වා ඇත්තේ අදාල නැන්දණිය දිවි හානිකරගෙන ඇත්තේ සිය දියණියගේ සැමියා අත් අඩංගුවේ පසුවීම හේතුවෙන් බවය.
අදාල පුවත දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ සටහන් කර තිබුණේ "රණවිරු බිරිඳක වූ තම දියණිය සැමියා රිමාන්ඩ් වීම නිසා විඳින වේදනාව දරාගත නොහැකිව ත්‍රිකුණාමලය නාවික බුද්ධි ප්‍රධානියකුව සිටි කමාන්ඩර් සුමිත් රණසිංහ මහතාගේ නැන්දණිය වූ ආර්. මේරි මාතාව පෙරේදා (12 දා) රාත්‍රි සිය දිවි නසාගෙන තිබේ.
වැල්ලවත්තේදී තරුණයන් පස්‌දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කළේ යෑයි කියන චෝදනාවක් මත නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා ඇතුළු රණවිරුවෝ හය දෙනෙක් දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිති.
නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඩී. කේ. පී. දසනායක මහතා ද එසේ බන්ධනාගාරගත කර සිටින අතර ඔවුන් එසේ රිමාන්ඩ් කර මේ වන විට මාස අටක් ද ඉක්‌ම ගොස් ඇත
සැමියා රිමාන්ඩ් කිරීම නිසා දරු දෙදෙනකු සමඟ දියණිය විඳින දුක පිළිබඳ දැඩි වේදනාවකින් පසුවූ ඇය පෙරේදා (12 දා) රාත්‍රි ගිරිඋල්ල නිවසේ ගෙවත්තේ පිහිටි ළිඳට පැන සිය දිවි නසාගෙන ඇතැයි පවුලේ ඥතියෙක් පැවසීය.
සුමිත් රණසිංහ ඇතුළු පිරිසගේ නඩුව ඉකුත් 10 වැනිදා විභාගයට ගත් අවස්‌ථාවේ ඔවුන්ට ඇප ලැබෙනු ඇතැයි මියගිය මව දැඩි බලාපොරොත්තුවෙන් සිටි බවද හෙතෙම සඳහන් කළේය." ලෙසය.
මීට අනුව නම් මිය ගිය කාන්තාව දිවි නසාගෙන ඇත්තේ මාස අටක් තරම් කාලයක් අත් අඩංගුවේ පසුවන තම දියණියගේ රණවිරු සැමියා නිසා දියණිය සහ දරුවන් විඳින දුක දරාගත නොහැකිවය. එසේනම් එම රණවිරු සැමියා විසින් අතුරුදන් කෙරුණු දරුවන්ගේ දෙමව්පියන් එසේ නම් කී වතාවක් සිය දිවි හානිකර ගත යුතුද ? හමුදා සාමාජිකයා සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. ඥාතීන්ට ඔහුව බැලීමට යාමට හැකිය. ඔහු නිදොස් නම් නඩුව අවසන් වූ විගස ගෙදර එනු ඇතැයි බලාපොරොත්තුවෙන් හිඳින්නට ඔහුගේ ඥාතීන්ට හැකිය. එහෙත් එකී රණවිරුවන් විසින් අතුරුදන්කරවූවන් සොයාගත හැකි තැනක් නැත. නැවත ඔවුන් සොයාගත හැකිවෙතැයි ඥාතීන්ට බලාපොරොත්තුවක් නැත. ඔවුන්ගේ සිත් වේදනාව හුදෙක් රණවිරු ලේබලයක ඔතා සැඟවිය හැකිද ?
අඩි හයක් යට යවන්නට බලා සිටි විරුවෝ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මේ රණවිරු ලේබලයට මහත් ලැදියාවක් දක්වන බව අපි දනිමු. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කරවූ හමුදා සමාජිකයින් සම්බන්ධයෙන් ඔහු මහා කරුණාව පෙන්වූයේ ප්‍රසිද්ධියේමය. එහෙත් ඔහු නොදන්නේ ඔය කියනා රණවිරුවන් ඔහු වෙනුවෙන් කිසිදා පෙනී නොසිටි බව සහ කිසිදා පෙනී නොසිටින බවය. වැරදීමකින් හෝ ඔහු 2015 ජනවාරි 08 දින ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූයේ නම් ඔහුට එකී රණවිරුවන්ගේ සැබෑ සැලකිලි බලාගන්නට අවස්ථාව ලැබෙන්නට තිබිණි. ඔහුම වතාවක් කියු ලෙසට එදා ඔහු පරාජය වුණා නම් ඔහුට සිටින්නට වෙන්නේ අඩි හයක් යටය. ඔහු අද නොදන්නා සේ ඉන්නේ ඔහුව අඩි හයක් යට යවන්නට නියමිතව සිටියේ අද ඔහුම උඩ දානා රණවිරුවන් ම බවය.
ජනාධිපතිවරයා විසින් මිනීමරුවන් සහ රණවිරුවන් අතර වෙනස හඳුනාගත යුතු බව අප නොයෙක් අවස්ථාවල සඳහන් කර ඇත. වැල්ලවත්තේදී නාවික හමුදාව විසින් පැහැරගෙන ගොස් තිබුණේ උසස් අධ්‍යාපනයට වරම් ලැබ ඒ ප්‍රීතිය සැමරීමට සූදානමින් සිටි සිසුන් පස් දෙනෙකි. ඔවුන් කිසිවෙකුට වරදක් කළ දරුවන් නොවේ. ඔවුන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සම්බන්ධ වූවන්ද නොවේ. ඔවුන්ගේ වරදක් යැයි කියන්නට ඇත්තේ ඔවුන්ට මුදල් හදල් තිබීම සහ දෙමළ වීමද ?
දී කිරට දෙන බළල් සාක්කිය
හමුදා නිල ඇඳුමක් ලද පමණින්, හමුදා ගිනි අවි ලද පමණින් ඒවා භාවිතා කර මිනිසුන් පැහැරගෙන ගොස්, කප්පම් ඉල්ලා, අතුරුදන් කරවූවන් 'රණවිරුවන්' ලෙස විලිලැජ්ජා නැතිව අභිෂේක කරන්නේ ශ්‍රී ලංකාවේ පමණක් ම දැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් දී කිරට සාක්කි දෙන බළලුන් ගැන නම් අපි හොඳට දනිමු. කරන්නාගොඩ මෙකී කප්පම්විරුවන් ගැන මේ තරම් වද වෙන්නේ ඒ කතාව කෙළවරක ඔහුගේ නමත් ඈඳී ඇති නිසා බව නම් නිසැකය. කරන්නාගොඩ උපයා ගෙන ඇති වත්කම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කෙරෙණ දා කරන්නාගොඩ සහ කප්පම් අතර සබැඳියාව ද එළියට එනු ඇත. ඒ සියල්ලම කෙරෙන්නට නම් ජනාධිපතිවරයා මොවුන්ගේ රණවිරු ඇස්බැන්දුමට නොරැවටී සිටිය යුතුය.
(Lanka News Web)
COMMENTS