මහ බැංකු බැඳුම්කර සිදුවීම සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ නිසා මට ආණ්ඩුවේම අය දැන් පහරදෙනවා යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද...
මහ බැංකු බැඳුම්කර සිදුවීම සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ නිසා මට ආණ්ඩුවේම අය දැන් පහරදෙනවා යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද(8) මාදුළුවාවේ සෝභිත හිමි දෙවර්ෂ පූර්ණ ගුණ සමරු උළෙලදී පැවසීය.
බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී පැවති මෙම ගුණ සමරු උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙසේද කීවේය.
‘‘වැරදි දූෂිත පාලනයක් පෙරළලා අපි ආණ්ඩුවක් පිහිටෙව්වේ ඇයි? වැරදි කරපු මිනිසුන්ට ඇගිල්ල දිගු කරනවා වගේම, දඬුවම් දෙනවා වගේම අපේ වැඬේ අපි හරියට කරනවා. මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් මම ජනාධිපති කොමිසමක් පත් කිරිම ගැන ඉතාමත් සුළු පිරිසක් මාධ්‍යවලින් වැරදි විග‍්‍රහ කරනවා. ආණ්ඩුවේ ඉතා සුළු පිරිසක් ෆේස්බුක්, වෙබ් සයිට් හරහා කැම්පේන් කරමින් මට චෝදනා කරනවා. සති අග පුවත්පත්ෙවල පිටු ගණන් වෙන්කර ගෙන, ඇතැම් මාධ්‍ය ආයතනවලට සල්ලි වියදම් කරලා මට පහර දෙනවා. විපක්ෂයෙන් ගහන ඒවාට වගේම ආණ්ඩුවෙන් ගහන ඒවටත් මට මුහුණ දෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුවේ අය මට පහර දෙනවා නම් එයින් අදහස් වන්නේ සෝභිත හාමුදුරුවන් බලාපොරොත්තු වු සාධාරණ සමාජයක් වෙනුවෙන් කටයුතු කරන නිසයි. උන් වහන්සේ ජීවතුන් අතර සිටියා නම් මට උපහාරයක් කරනවා‘‘
‘‘ජනතාව අපිව පත්කළේ මොකටද? අපි ආවේ හොරකම් කරන්නද? ආණ්ඩුව පත් වෙලා මාස තුනකින් තමයි මේ විනාශය කළේ. බැඳුම්කර සිදුවිම ඇති වුණ වෙලාවේ ආණ්ඩුවේත් විපක්ෂයේත් කිසිම බේදයක් නැතිව හැමදෙනාම මෙහි වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු බව කියා සිටියා. මේ ගැන සොයන්න කොමිසමක් පත් කරන ලෙස ඉල්ලීම් ආවා. මම ඒ ඉල්ලීම ඉටුකළා. කවුරු කළත් වරදක් නම් වරදක් මයි. ඒ වැරදි වලට අදාල පුද්ගලයන් ඒවාට වගකිව යුතුයි.‘‘ යැයි ද ජනපති කීය.
COMMENTS