එවන් පරිසරයක් තුළ මුළුමහත් සමාජයේම ගැඹුරු අවධානයට යොමුවිය යුතු ඉල්ලීමක් ද ඉදිරිපත් වී තිබේ. ඒ මේ රටේ ගරු කටයුතු මහා සංඝරත්නය අතරින් ය. ඒ ...
එවන් පරිසරයක් තුළ මුළුමහත් සමාජයේම ගැඹුරු අවධානයට යොමුවිය යුතු ඉල්ලීමක් ද ඉදිරිපත් වී තිබේ. ඒ මේ රටේ ගරු කටයුතු මහා සංඝරත්නය අතරින් ය. ඒ අනුව රත්මලානේ ධර්ම පර්යේෂණාලය හි අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි ස්වාමීන් වහන්සේ මේ රටේ සියලූම දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවර පළාත්පාලන මැතිවරණයේදී කිසිදු භික්ෂූන් වහන්සේ නමකට හෝ නාම යෝජනා ලබාදීමෙන් වලකින ලෙසට ය. එසේ කිරීම මේ රටේ දේශපාලන පක්ෂ වලට කළහැකි විශාලතම මෙහෙවර වන බවය. ඒ සංඝ ශාසනයේ යහපත උදෙසා කරන මෙහෙවරක් ලෙස එය සැලකිය හැකිවන බවය. හෑගොඩ විපස්සි ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව අංශ ගණනාවකට අදාළව සළකා බැලීමේදී අතිශයින්ම වැදගත් ය. එය දේශපාලන ක්ෂේත‍්‍රයට ද අදාළය. සංඝ සමාජයට ද අදාළය. ඒ සියල්ලටම වඩා මේ රටේ බෞද්ධ සමාජයට ද අදාළය.
මෙම වැදගත් ඉල්ලීම ඉදිරිපත් කරමින් හෑගොඩ විපස්සි ස්වාමීන් වහන්සේ අවධාරණය කරන්නේ ආගමික, ජාතික, සාමාජික, සංස්කෘතික ආදි ක්ෂේත‍්‍රයන්ට අදාළව භික්ෂූන් වහන්සේලාට ඉටුකිරීම සඳහා අවශ්‍ය තරමට කාර්යභාරයක් තිබියදී ඒ සඳහා අමුතුවෙන් මන්ත‍්‍රීකම් අවශ්‍ය නැති බවය. භික්ෂූන් වහන්සේලා දේශපාලන පක්ෂ වල සාමාජිකයන් වෙමින් මන්ත‍්‍රී තනතුර සඳහා තරඟ කිරීමට ඉදිරිපත් වීම තුළ මතුවී ඇති අතිශය ඛේදනීය තත්වයන් එහිදී සිහිපත් කරන විපස්සි හිමියෝ එහි අනිසි ඵලවිපාක මේ සමාජය තුළ ඕනෑතරම් දැකගත හැකි බව ද පෙන්වා දී තිබේ. එහිදී හෑගොඩ විපස්සි හිමියන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ භික්ෂූන් වහන්සේලා මන්ත‍්‍රී තනතුරු සඳහා තරඟ වැදීමට ඉදිරිපත් වීම තුළ අපවාද, අවලාද, ගැරහුම්, බහුල වන බවය. ඒ තුළින් ශාසනික වශයෙන් සිදුවන අපකීර්තිය තුළ භික්ෂූන් වහන්සේලාට නාම යෝජනා ලබාදෙන දේශපාලන පක්ෂ සිදුකරන්නේ බෞද්ධ සංඝ ශාසනය විනාශ කිරීමක් වන බව ද පෙන්වා දී තිබේ.
සත්‍ය වශයෙන්ම හෑගොඩ විපස්සි හිමියන්ගේ මේ ඉල්ලීම මේ රටේ ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා විසින් ද නිසැකවම අනුමත කරනු ඇත. පසුගිය කාලය තුළ සෘජු ලෙස පක්ෂ දේශපාලනයට නතුවීම නිසා මේ රටේ සංඝ සමාජය තුළ මතු වූ පිරිහීමේ ලකුණු පිළිබඳව අන්සියල්ලන්ටමත් වඩා හොඳ අවබෝධයක් තිබෙනු ඇත්තේ මේ රටේ මහානායක ස්වාමීන් වහන්සේලාට ය. ඒ අනුව උන්වහන්සේලාගේ අදහස මෙන්ම ඒ පිළිබඳව මේ රටේ දේශපාලන පක්ෂ වලට ලබාදෙන නියමය ද රට හමුවේ දැනුම්දීම මේ මොහොතේ දී ඉතාමත්ම වැදගත් ය.
එහිදී මේ රටේ සමස්ත සමාජය මෙන්ම දේශපාලන ක‍්‍රියාධරයන් ද මැනවින් තේරුම්ගත යුතුව ඇති කරුණක් තිබේ. මේ කියන්නේ භික්ෂූන් වහන්සේලා වෙත පැවරී ඇති සමාජ වගකීමෙන් මිදෙන ලෙස හෝ ඈත්වන ලෙස හෝ නොවන බවය. ලෝකයේ සෑම ආගමකම පූජ්‍ය හා පූජක පක්ෂයට අදාළ වන ඔවුනොවුන්ට අනන්‍ය වූ සමාජ මැදිහත්වීම් ඉතිහාසය පුරාම සනිටුහන් වී ඇති ආකාරයටම ශ‍්‍රී ලාංකික භික්ෂු සමාජය විසින් අනුදත් පැහැදිළි මගක් ද දැකගත හැකිය. ඒ ගැන මේ රටේ සංඝ සමාජය තුළ මෙන්ම ගිහි සමාජය තුළ ද විද්වත් මහා සභා අතරෙහි ද පුළුල් හා ගැඹුරු සංවාදයක් සිදුවී තිබේ. ශ‍්‍රී ලංකාව බිහිකළ අග‍්‍රගණ්‍ය ප`ඩිවරයෙකු හා පැවිදි යතිවරයෙකු ලෙස සැලකිය හැකි කැලණි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු ද වන අග්ගමහාපණ්ඩිත, ධර්ම ශාස්ත‍්‍ර ශිරෝමණී, මහාචාර්ය වල්පොල ශ‍්‍රී රාහුල හිමිපාණන් විසින් රචිත භික්ෂුවකගේ උරුමය නම් කෘතිය ඒ සඳහා දැක්විය හැකි අනගිතම උදාහරණයයි.
එහිදී උන්වහන්සේ ද ඇතුළත් විද්‍යාලංකාර භික්ෂු සාමුහිකය අවධාරණය කරන්නේ භික්ෂූන් වහන්සේලා සතු දේශපාලන වගකීමක් හා මැදිහත්වීමක් ඇතත් එය හුදු බලලෝභය මුල්කරගත් පටු පක්ෂ දේශපාලනය නොවන බවය. අද මේ රටේ වැඩවසන තරුණ භික්ෂූන් වහන්සේලා මෙන්ම දේශපාලන පක්ෂ නායකයන් ද ඒ බව තේරුම් ගැනීම ඉතා වැදගත් ය.
සුනිල් ජයසේකර
COMMENTS