ඇය වේදිකාව කරා ළඟා වෙද්දී උන්මාදයට පත් කාන්තාවන් සමූහයක් “සිංහයා ඇවිල්ලා”යි කෑ ගසන්නට පටන් ගත්හ. “ඇය” යනු පාකිස්තානයේ බලයෙන් පහ කෙරුණ අග...
ඇය වේදිකාව කරා ළඟා වෙද්දී උන්මාදයට පත් කාන්තාවන් සමූහයක් “සිංහයා ඇවිල්ලා”යි කෑ ගසන්නට පටන් ගත්හ.
“ඇය” යනු පාකිස්තානයේ බලයෙන් පහ කෙරුණ අගමැති නවාස් ෂරීෆ් ගේ දියණියයි.
පාකිස්තාන් මුස්ලිම් ලීග් – නවාෂ් පාර්ශ්වයේ (PML-N) ආධාරකරුවෝ “සිංහයා’ යනුවෙන් හඳුන්වනු ලැබුවේ සිය නායක නවාස් ෂරීෆ් හිටපු අගමැතිවරයායි.
“එහෙත් ඔහුගේ දියණිය මාරියම් නවාස් (Maryam Nawaz) දැන් ඔවුන්ගේ ‘සිංහයා’ වී ඇත.
‘මාරියම්’ කිසිදාක පාකිස්තාන් දේශපාලනයේ පදවියක් දැරූ චරිතයක් නොවේ.
එහෙත් අද ඇය එරට බලවත් දේශපාලන තාරකාවක් බවට පත් වෙමින් සිටින්නීය.
පාකිස්තාන් සමාජය තුළ පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍ය අතර පවා මාරියම් නවාස් නාමය කියැවෙන්නට පටන් ගත්තේ ඔවුන්ගේ පවුලේ විදේශීය වත්කම් (පැනමා රහස්‍ය ගිණුම්) පිළිබඳව පරීක්ෂණ ආරම්භ වීමත් සමඟය.
ඒ පිළිබඳව පැවැත්වුන ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය නිමවුණේ මාරියම් ගේ පියා වන නවාස් ෂරීෆ් ට පදවිය අහිමි වීමෙනි.
මාරියම් වට පෙළ ගැසෙන PML-N ආධාරකරුවෝ
සිය පියාට බලය අහිමි වීමත් සමඟ ඔහු නියෝජනය කළ ලහෝර් නගරයේ NA-120 ඡන්ද කොට්ඨාසයේ මන්ත්‍රී පදවියේ ද පුරප්පාඩුවක් ඇති වූ අතර මාරියම් දේශපාලන වේදිකාව මත බබළන්නට පටන් ගත්තේ එම ආසනය සඳහා අතුරු මැතිවරණයක් කැඳවනු ලැබීමත් සමඟයි.
NA-120 ඡන්ද කොට්ඨාසයේ අපේක්ෂිකාව හැටියට පාකිස්තාන් මුස්ලිම් ලීග් – නවාස් පාර්ශ්වය (PML-N) විසින් හිටපු අගමැති බිරිඳ, කුල්සූම් නවාස් ඉදිරිපත් කරනු ලැබ ඇත.
එහෙත් පිළිකා රෝගයට ගොදුරුව එක්සත් රාජධානියේ සුවය ලබමින් සිටින කුල්සූන්ගේ ප්‍රචාරක ව්‍යාපාරයේ නියමුවරිය වී සිටින්නේ මාරියම්ය.
සිය මව වෙනුවෙන් ප්‍රචාරක රැලි ඇමතීමට එන මාරියම් පක්ෂයේ දහස් සංඛ්‍යාත ආධාරකරුවන් විසින් පිළිගනු ලබන්නේ රෝස මල් පෙති විසුරුවා හරිමින් මල්මාලා පළඳවමිනි.
නවාස් ෂරීෆ් රටේ අගමැති පදවිය දැරීමට සුදුසු නැතැයි අධිකරණ තීන්දු කළත් මාරියම් නවාස් ගේ ඉලක්කය වී තිබෙන්නේ සිය පියා සම්බන්ධයෙන් මහජන තීන්දුව කුමක්ද යන්න මෙම අතුරු මැතිවරණය මගින් ප්‍රදර්ශනය කිරීමයි.
ඒ අනුව මෙය නවාස් ෂරීෆ් සම්බන්ධයෙන් පැවැත්වෙන ජනමත විචාරණයක් වැනි වෙයි.
“අපේ රටට අවශ්‍ය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ද? නැත්නම් කුමන්ත්‍රණය ද?” මාරියම් සිය පක්ෂයේ ආධාරකරුවන් අමතමින් ප්‍රශ්න කරන්නීය.
බීබීසියට අදහස් දැක්වූ නැගී එන ‘දේශපාලන තාරකාව” නවාස් ෂරීෆ් ට එරෙහි දූෂණ චෝදනා සැලසුම් කරමින් “ඉලක්ක කොට එල්ල කරන ලද ප්‍රහාරයක්” හැටියට විග්‍රහ කළාය.
මාරියම් හෝ ඇයගේ පියා නවාෂ් එම ‘කුමන්ත්‍රණය’ පිටුපස සිටියේ කවුරුන්ද යන්න පැහැදිලිව සඳහන් කර නැත.
එහෙත් ඔවුන් විසින් අඟවනු ලබන්නේ නවාස් ෂරීෆ් කලින් වතාවල අගමැති පදවියේ සිටියදී ඔහුත් සමඟ ගැටුණ පාකිස්තානයේ මුල් බැස ගත් යුද හමුදා තන්ත්‍රය මේ වතාවේත් මැදිහත්ව ඇති බවයි.
‘මහජන ආධිපත්‍යය’ වෙනුවෙන් පෙනී සිටීම නිසා තම පියාට දඬුවම් කරනු ලැබ ඇතැයි මාරියම් නවාස් පවසන්නීය.
දූෂණ චෝදනා සමඟ නවාස් ෂරීෆ් පවුලට එරෙහිව දියත් වූ උද්ඝෝෂණ ව්‍යාපාරයක්
දූෂණ චෝදනා සමඟ නවාස් ෂරීෆ් පවුලට එරෙහිව දියත් වූ උද්ඝෝෂණ ව්‍යාපාරයක්
පැනමා රහස්‍ය ගිණුම් පිලිබඳ පරීක්ෂණයේ ප්‍රතිපලයක් වශයෙන් සිය පියා අගමැති පදවියට නුසුදුසු යයි තීන්දු කරනු ලැබීම මගින් ඔහුගේ ‘ආධාරකරුවන් වඩාත් සංවිධානාත්මක එකමුතු තත්වයකට පත් කරන’ ලදැයි පවසන ඇය පවතින මහජන පිළිගැනීම ඉතා ශුභවාදී එකක් වන බවත් කියා සිටියි.
එහෙත් මෙම අතුරු මැතිවරණය නවාස් ෂරීෆ්ට පදවිය අහිමි කරනු ලැබීම සම්බන්ධයෙන් පැවැත්වෙන ජනමත විචාරණයක් හැටියට විග්‍රහ කරනු ලැබීම ඔවුන්ගේ පක්ෂයට අනර්ථයක් විය හැකි බව විචාරකයෝ පවසති.
2013 මැතිවරණයේ දී පාකිස්තාන් මුස්ලිම් ලීග් – නවාෂ් පාර්ශ්වය විසින් NA-120 ඡන්ද කොට්ඨාශය දිනා ගන්නා ලද්දේ සිය ආසන්නතම ප්‍රතිවාදීන් වූ ඉම්රාන් කාන් නායකත්වය දෙන PTI පක්ෂයට වඩා වැඩි ඡන්ද හතළිස් දහසකිනි.
මහජන මත විමසුම් අනුව පාකිස්තාන් මුස්ලිම් ලීග් – නවාස් පාර්ශ්වය මෙම අතුරු මැතිවරණයත් ජය ගන්නා නමුත් ඔවුන් ලබන වැඩි ඡන්ද සංඛ්‍යාව 2013 ට වඩා වැඩි වේද? නැතනම් අඩු වේද? යන්න පැහැදිලි නැත.
එම පක්ෂයට ලැබෙන ඡන්දවල අඩු වීමක් සිදු වුනොත් දූෂණ චෝදනා ෂරීෆ් පවුලේ එළිපත්තටම බල පා ඇතැයි කීමට දේශපාලන ප්‍රතිවාදීන්ට අවස්ථාව උදා කරනු ඇත.
නවාස් වෙනුවට ඔහුගේ බිරිඳ කුල්සූම් අතුරු මැතිවරණයට
නවාස් වෙනුවට ඔහුගේ බිරිඳ කුල්සූම් අතුරු මැතිවරණයට
NA-120 ඡන්ද කොට්ඨාශයේ අතුරු මැතිවරණය සඳහා PTI පක්ෂයෙන් තරඟ වදින වෛද්‍ය යැස්මින් රෂීඩ් අදහස් දක්වමින්, ප්‍රදේශයේ සම්පත් පාවිච්චි කිරීමේ වාසිය හිමි පාලක පක්ෂය සමඟ තමා කරණ තරඟය ‘උඩුගං බලා පිහිනීමක්’ වැනි යයි කියා සිටියාය.
එහෙත් සිය අයිතිය ඉල්ලා සිටින ඡන්දදායකයෝ නවාස් ෂරීෆ් පවුලට දූෂණ චෝදනා අනාවරණය වූ මොහොතේ ඇයගේ පියා මෙන්ම ඇයත් (මාරියම්) එම චෝදනා වලට වැරදි කාරියකැයි විශ්වාස කළහ.
PTI ආධාරකරුවන්ට අනුව ෂරීෆ් පවුල විසින් ඔවුන්ට එරෙහි ‘කුමන්ත්‍රණයක්’ පිළිබඳව කරන ප්‍රකාශන දේශපාලන වගකීම යටපත් කිරීමේ කුමන්ත්‍රණයකි.
පාකිස්තාන අගමැති ධුරය සඳහා ෂරීෆ්ගේ සහෝදරයා සූදානමින්
NA-120 ඡන්ද කොට්ඨාසයේ අතුරු මැතිවරණය සඳහා පකිස්ථානයේ සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම අලුතින් පිහිටුවන ලද ඉස්ලාමීය පක්ෂ කීපයක්ද තරඟ වදිති.
කෙසේ වුවද, මෙම අතුරු මැතිවරණ ප්‍රතිපලය 2018 පැවැත්වීමට නියමිත මහ මැතිවරණ ප්‍රතිපලය කුමක්ද යන්න සම්බන්ධයෙන් කල්තබා යම්කිසි හැඟීමක් ලබා දෙනු ඇත.
COMMENTS