දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මොකද වුණේ..? හිලරි පොතක් ලියයි.
Homeප්‍රවෘත්ති

මොකද වුණේ..? හිලරි පොතක් ලියයි.

PropellerAds

‘ගැහැනියක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න එපා කියලා පියවරු, සැමියන්, රැකියාවේ නියුතු ගැහැනුන්ගේ හාම්පුතුන් සහ තරුණියන්ගේ පෙම්වතුන් කළ බලපෑම...

බැසිල් පාර්ලිමේන්තු ඒම ගැන පොහොට්ටුව දෙකට බෙදේ !
පෙරළියක පෙර නිමිති: මහින්ද - රනිල් හදිසියේ හමුවෙයි
රනිල් මාව ඇන්දුවේ මෙහෙමයි - ජෝන් තිර පිටපත එළියට දමයි
‘ගැහැනියක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න එපා කියලා පියවරු, සැමියන්, රැකියාවේ නියුතු ගැහැනුන්ගේ හාම්පුතුන් සහ තරුණියන්ගේ පෙම්වතුන් කළ බලපෑම් නිසා අමෙරිකාවේ ගැහැනුන් පුදුමාකාර පීඩනයකට අහුවෙලයි හිටියේ.‘ පසුගිය වසරේ පැවැති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ පරාජයට පත්වූ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව හිලරි ක්ලිටන් ඊයේ පෙරේදා නිකුත් කළ සිය අලුත්ම පොතේ එසේ සඳහන් කරයි.

‘මොකද වුණේ...‘ නමින් පිටු 502කින් සමන්විත හිලරිගේ මේ අලුත්ම කෘතිය පසුගියදා එළි දැක්වූයේ නිව්යෝක් නුවරදීය. 69 හැවිරිදි හිලරි සිය පරාජයෙන් පසුව නිහඬව නොසිටි බව මේ කෘතියෙන් කදිමට පැහැදිලි වෙයි. තමා අදහාගත නොහැකි පරාජයකට මුහුණදුන් බවත්, ඒ පරාජයට හේතු සාධක කවරේද යන්න බවත් අමෙරිකානු ජනතාවට පැහැදිලි කරන්නට ඇයට අවශ්‍ය වී තිබිණි.

හිලරිගේ පරාජයේ උණුසුම දැන් පහවී ගොස් අවසන්ය. එහෙත් ඇය තවමත් පසුවන්නේ සිය පරාජය ගැන පසුතැවිලි වෙමිනි. මොකද වුණේ නමින් පොතක් ලියන්නට ඇය කල්පනා කළේ එබැවිනි. මේ කෘතිය තුළින් ඇයට වුවමනා වී ඇත්තේ තමා වෙනුවෙන් ඡන්දය භාවිත කළ අමෙරිකානු ජනතාවට සාධාරණයක් ඉටු කරන්නටය. එමෙන්ම තමා එලෙස පරාජය විය යුතු දේශපාලන චරිතයක් නොවන බව කියාපෑමටය.

සිය ප්‍රතිවාදියා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පාක්ෂිකයන් ඉතා නින්දිත අයුරින් තමාගේ විද්‍යුත් තැපෑල ගබඩාවෙන් සොයාගත් ලිපි ගණනාවක් ඔවුන්ගේ වාසියට හරවාගත් බවට සිය කෘතිය මගින් පැහැදිලි කරන හිලරි රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින් අමෙරිකානු ජනාධිපතිවරණයට සෘජුවම බලපෑම් එල්ල කළ බවත් කියන්නීය.

තමා මෙන් ශක්තිමත් කාන්තාවක් අමෙරිකාවේ බලයට පත්වෙනවාට ඔහු තුල තිබූ නොකැමැත්ත නිසා බව ඇය පවසයි. එපමණක් නොව පුරුෂාධිපත්‍යය මේ ජනාධිපතිවරණයේදී ඉතා ප්‍රබල භූමිකාවක් නිරූපනය කළ බවත් ඇය කියන්නීය.

සිය දේශපාලන ගමන විනාශ කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් අමෙරිකාවේ වෙනම පරිච්ඡේදයක් ලියා තැබීමට සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් කටයුතු කළ ආකාරයත් ඇය සිය කෘතියෙන් දැඩි ලෙස විවේචනයට ලක් කරන්නීය.

‘මම සම්ප්‍රදායික ජනාධිපතිවරණයකටයි පෙනී සිටියේ. ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු රියැලිටි රූපවාහිනි වැඩසටහන් පවත්වන මුහුණුවරකින් යුතුවයි ඔහුගේ ප්‍රචාරක කටයුතු කළේ. ඔහු මගේ ව්‍යාකූල විද්‍යුත් තැපැල් පණිවුඩ ගැන වැරැදි මතයක් ගොඩනැගීමට වැඩිපුර කාලයක් යෙදෙව්වා. ‘ ඇය එසේ සඳහන් කරන්නීය.

අමෙරිකාවේ කාන්තාවකට එරට දේශපාලන ඉතිහාසයේ පළමුවරට ජනපති පදවියට පත්වීමට ඉතා ප්‍රබල අවස්ථාවක් ලැබී තිබුණත් පුරුෂාධිපත්‍ය එම අවස්ථාවේදී අන් කවරදාටත් වඩා අමෙරිකාව තුළ ඉස්මතු වෙමින් තමා පරාජයට පත් කළ බව ඇය කියන්නීය.

‘ඇතැමුන්ට අවශ්‍ය වුණේ කාන්තාව මේ තරගයෙන් ඉවත් කිරිමට ‘ගේම්‘ එකක් ගැසීමටයි. සංස්කෘතික වශයෙන්, දේශපාලන වශයෙන් වගේම ආර්ථික වශයෙනුත් ඒ ‘ගේම්‘ එක ක්‍රියාත්මක වුණා.‘

‘මට මුණගැසුණු හැම අමෙරිකානු කාන්තාවකගේම වුවමනාව තිබුණේ ගැහැනියක් මේ පදවියට පත්වීමේ සිහිනය සැබෑ වෙනවා දකින්නයි. මට ඔවුන්ගෙන් ලැබුණු දිරිගැන්වීම් අනන්තයි. අප්‍රමාණයි. ඒත් මට ලැබුණු විවිධ ඇමැතුම්, පණිවුඩවලින් අදහස් කළේ මාව මානසිකව වට්ටන්නයි. ඔබ මේ පදවියට සුදුසු නෑ. ඔබ මේ පදවියට දක්ෂ නෑ. ඔබේ හඬ අපට අසන්නට අවශ්‍ය හඬක් නෙවෙයි. ඔන්න ඔය වගේ දේවල්..‘

සැබැවින්ම හිලරි සිතා සිටියේ ජනාධිපතිවරණයෙන් ජයගන්නේ ඇය බවය. ජනාධිපතිවරණයෙන් පසුදින උදෑසන තමා ඇහැරෙන්නේ එරට පළමු ජනාධිපතිනිය ලෙසින් බවය. එවැනි නැවුම් බලාපොරොත්තු කන්දරාවක් සිතේ ගුලිකරගෙන ජනාධිපතිවරණය පැවැති අවසන් දිනයේ දී ඇය නින්දට ගියාය. එහෙත් සිදුවූයේ අනෙකකි. ඉතින් ‘මොකද වුණේ‘ නමින් පොතක් ලියන්නට ඇය පෙළඹීම එක් අතකින් පුදුම විය යුතු කාරණාවක් නොවේ.

අනික් අතට ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙද්දී ඇය හමුවේ පෙනෙනතෙක් මායිමේ කිසිදු අභියෝගයක් නොවීය. ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරිකයකු ලෙස අමෙරිකාවේ වෙනම අනන්‍යතාවක් ගොඩනගා ගෙන සිටියත් ඔහුට දේශපාලන වශයෙන් හිලරි තරම් අත්දැකීම් සම්භාරයක් තිබුණේම නැත.

එහෙත් අන්තිමේදී ධවල මන්දිරය පෙනි පෙනී ආපසු හැරෙන්නට ඇයට සිදුවූයේ ඇය කියන පරිදි මේ පුරුෂාධිපත්‍යයට අමෙරිකානුවන් නතුවීම නිසාවෙනි.

ඇගේ මේ කෘතියේ ප්‍රමුඛස්ථානයක් ලබා දි ඇත්තේද අමෙරිකානු කාන්තාවකට එවැනි තනතුරකට පත්වීමට අවස්ථාවක් නොදෙන තරමට ප්‍රබල වූ එකී පුරුෂාධිපත්‍යය ගැන කරුණු කියා පෑමටය. ඒ ගැන ලියන්නට ඇය පිටු ගණනාවක්ම වෙන් කර තිබිණි.

අමෙරිකාවේ ‘මැඩම් ප්‍රසිඩන්ට්‘ විමේ සිහිනය දෑස් ඉදිරිපිටම එසේ බොඳවී ගියේ ඇයට පොතක් ලියන්නට සිතෙන තරම් ආවේගයක් ඉතිරි කරමින් බව දැන් පැහැදිලිය. ජනාධිපතිවරණයෙන් පසුදින තමාට පරාජිතයාගේ කතාව සිදු කරන්නට වීමේ වේදනාවේ දිග පළල ගැනත් ඇය සිය කෘතියෙන් ලියා තැබීමට අමතක කර නොමැත.

ඒ පරාජිතයාගේ කතාවට ආපසු ඔබ කැඳවාගෙන යාමට මට සිතේ.

‘ඊයේ රෑ මම ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබපැතුවා. ‘ ඇය එදා කතාව ආරම්භ කළේ බිඳුණු කටහඬකින් එසේ කියමිනි.

‘එයා (ට්‍රම්ප්) දැන් අපේ ජනාධිපති වෙන්නයි යන්නේ. අපි ඔහුට විවෘත මනසකින් යුතුව ඒ කාර්යය සාර්ථක කරගැනිමට උදවු කරමු. ‘එසේ කී හිලරි මොහොතකට බිම බලාගත් බව මතකය.

ඊළඟ මොහොතේ ඇය නැවතත් කතා කරන්නට පටන් ගනිද්දී වටපිටාවේ තිබුණේ දැඩි නිශ්ශබ්දතාවකි.

‘මේක නෙවෙයි අපි බලාපොරොත්තු වුණේ. අපි සෑහෙන්න මහන්සි වුණා. මට සමාවෙන්න ඒ හීනය හැබෑ කරගන්න බැරිවුණාට.‘ ඇය සිය පාක්ෂිකයන්ගෙන් සමාව ඉල්ලා සිටීම ද අමතක කළේ නැත. ඒ මොහොතේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනකාය අත්පොලොසන් දෙන්නට පටන් ගත්හ.

ධවල මන්දිරයට අයිතිවාසිකම් කියන්නට එරට ජනතාව තවමත් කාන්තා පාර්ශ්වයට ඉඩ නොතැබුවත් ඉන් කළබලයට පත් නොවන ලෙස ඇය එහි රැස්ව සිටි සියලු කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කළාය.

‘මං මේ කියන්නේ විශේෂයෙන් අපේ පුංචි දැරියන්ටයි. මං පැරදුණා කියන්නේ අපේ රටේ ගැහැනුන්ට ධවල මන්දිරයේ තැනක් නැතෙයි කියන එක නම් නෙවෙයි හොඳේ. කවදාහරි දවසක කවුරුහරි කාන්තාවක් ධවල මන්දිරයට අයිතිවාසිකම් කියන බව සහතිකයි. පුංචි දැරියනි, ඔයලාට වටිනාකමක් නෑ කියලාවත්. ඔයාලා බලසම්පන්න නෑ කියලාවත් හිතන්න නම් එපා. මේ හීනය දැකීමේ අයිතියට පුංචි ඔයාලාටත් තියෙනවා.‘ ඇය අනාගත අනාවැකියක් පළ කරමින් එසේ කීවාය.මේ පරාජිතයාගේ කතාවේ බොහෝ තැන්වලදී ඇය වචන ගැටගසා ගත්තේ මහත් අසීරුවෙනි. ඒ සෑම අවස්ථාවකදීම පැවැති නිහඬතාව බිඳ දමමින් ඇගේ පාක්ෂිකයන් ඇය දිරිගන්වනු වස් අත්පොලොසන් දෙන්නට වූහ. එය ඇයට කළ දිරිගැන්වීමක් විය.

ඇය ‘මොකද වුණේ‘ පොත ලීවේ ඒ සියල්ල මෙනෙහි කරමින් විය යුතුය.

හිලරි ඩියාන් රොදෑම් නමින් වසර 1947 ඔක්තෝබර් 26 වැනිදා චිකාගෝ නුවර උපන් මේ කාන්තාව දේශපාලනයට මහත් ඇල්මක් දැක්වූයේ කුඩා වියෙහි සිටමය. පාසල් වියේදී බාස්කට් බෝල් ක්‍රීඩාවටත්, පිහිනිමටත් උපන් හපන්කම් දැක්වූ හිලරිට එකළ තිබුණේ හඳට පා තැබීමේ ආසාවකි. ඒ වෙනුවෙන් අවසර පතා ඇය නාසා ආයතනයට ද ලිපියක් ලීවාය. එහෙත් හැරෙන තැපෑලෙන් ඇයට ලැබුණු පිළිතුර වූයේ ‘ අපි ගැහැනුන් බඳවා ගන්නේ නෑ‘ යනුවෙනි. ඇය කියන පරිදි පුරුෂාධිපත්‍යය ඇගේ ජීවිතයට සෑහෙන තරම් බාධා පමුණුවා තිබේ. එහෙත් පසුකලෙක එය වෙනස් වෙද්දී හිලරි දේශපාලනයට පූර්ණකාලීනව පිවිසී සිටියාය.

අනතුරුව යේල් නීති විද්‍යාලයට බැඳී නිතිය හදාරමින් සිටියදී ඇය 1971 වසන්ත සමයේ අවසන් භාගයේදී බිල් ක්ලින්ටන් සමග හාදකමක් ඇති කරගත්තාය. ඇගේ දේශපාලන ජිවිතය මුවහත් කළේ ඔහු ය. ඊළඟ ගිම්හාන නිවාඩුවට සිය පෙම්වතිය සමග කාලය ගත කරන්නට සැලසුම් කළ බිල්ට ඒ අදහස වෙනස් කරන්නට සිදුවූයේ හිලරි සිය නිවාඩුව පසෙකලා කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් හී නීතිය ආශ්‍රිතව ප්‍රජා සත්කාරයේ යෙදීමට තීරණය කළ නිසාවෙනි. ඉන් පසුව ඔහු ද ඇය සමග ඒ කාර්යයට එක්විය. අනතුරුව මේ පෙම්වතුන් යුවල කැලිෆෝනියාවේ කාමරයක් කුලියට ගෙන එකට ජිවත්වූහ.

ඒ වනවිටත් දීප්තිමත් දේශපාලන අනාගතයක පෙරනිමිති පහළ කරමින් සිටි හිලරි සිය මුල්කාලයේ දේශපාලන ගුරුවරයා වූ ඩිමොක්‍රටික් පක්ෂයේ සංවිධායක හා නීති උපදේශක බෙට්සි රයිට්ගේ මග පෙන්විම යටතේ වොෂින්ටනයට පැමිණ පූර්ණ කාලීනව දේශපාලනයේ නිරතවීමේ අදහසින් පසුවූවාය. එකළ අනාවැකි පළකරන්නකු ලෙස ප්‍රකට වී සිටි රයිට් කියා සිටියේ හිලරිට අනාගතයේදී සෙනෙට් සභිකයකු හෝ ජනාධිපතිනිය වීමේ හෝ හැකියාවක් ඇති බවකි. තමා සමග විවාහ වන ලෙස වරින් වර බිල් ඇයට ඇවටිලි කරමින් සිටියේ ඔය අතරතුරදීය. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම ඇය සිය පෙම්වතාගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේ ඇගේ දේශපාලන සිහිනය ඉතා බලවත් එකක් බවට පත්වී තිබීම හේතුවෙනි. එහෙත් ඊළඟ වසර වෙද්දී වොෂින්ටනයේ පදිංචිය හැරදා බිල් සමග ආකන්සාස් බලා පිටත්වූ ඇය එහි දී බිල් සමග අතිනත ගත්තාය.

2009 සිට 2013 දක්වා කාලයේ දී අමෙරිකාවේ 67 වැනි රාජ්‍ය ලේකම්වරිය ලෙස සිය දේශපාලන භූමිකාව මැනවින් සකසා ගත් හිලරි පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්වූයේ අවශ්‍ය සියලු අඩුමකුඩුම සම්පුර්ණ කිරීමෙන් පසුවය.

සිතෙහි තිබූ බලාපොරොත්තු සියල්ල ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ බිඳ වැටීමෙන් පසුව පොතක් ලිවීම හැර අන් දෙයක් තවත් නොමැති බව හිලරි සිතන්නට ඇත. ඇයට දැන් අවශ්‍යවී ඇත්තේ අමෙරිකානු පුරුෂාධිපත්‍යය ගැන ලොවට කියන්නටය.

‘අපේ රටේ පුරුෂාධිපත්‍යයට නතුවෙන්න කියා ගැහැනු දරුවන්ට උගන්වන්නේ කුඩා කාලයේ සිටමයි. අවුරුදු හයේ ගැහැනු ළමයින්ට පවා කියන්නේ ඔයාලට වඩා පිරිමි ළමයින් දක්ෂයි කියලයි. ඒ වෙද්දී එයාලා පාසල් ජීවිතය පටන් අරගෙනත් නෑ. ඒත් පුරුෂාධිපත්‍යය මුසු සංස්කෘතිය එයාලව ඒ වෙද්දිත් මානසිකව වට්ටලා ඉවරයි.‘

‘ඉතිං මගේ පරාජය අහන්නත් දෙයක්ද..?‘

හිලරි ක්ලින්ටන් ‘මොකද වුණේ‘ කෘතියෙන් එසේ අසයි.

(ෆවුස් මොහොමඩ්)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මොකද වුණේ..? හිලරි පොතක් ලියයි.
මොකද වුණේ..? හිලරි පොතක් ලියයි.
http://ift.tt/2wndkaH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_455.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_455.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy