මෙහිදී අහස ප්‍රකාශනයක් වන විදුර ප්‍රභාත් මුණසිංහ විසින් පරිවර්තනය කරන ලද අන්ද්‍රේ ගෝස් ගේ ‘‘D වෙත ආදරයෙන්“ යන කෘතිය ඇසුරෙන් සංවාදශීලි ...
මෙහිදී අහස ප්‍රකාශනයක් වන විදුර ප්‍රභාත් මුණසිංහ විසින් පරිවර්තනය කරන ලද අන්ද්‍රේ ගෝස් ගේ ‘‘D වෙත ආදරයෙන්“ යන කෘතිය ඇසුරෙන් සංවාදශීලි කථිකාවක් පැවැත්වුණ අතර විදර්ශන කන්නන්ගර, වංගීස සුමනසේකර, බූපති නලින්, කුමාරි කුමාරගමගේ යන අය අදහස් දැක් වූහ.
අවසානයේ පාඨක අදහස් ඉදිරිපත් කිරීමක් ද සිදු විය.
මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රධාන කථිකයන් සිව් දෙනා ලංකා නිවුස් වෙබ් වෙත අදහස් දැක්වූයේ මෙසේය.
කුමාරි කුමාරගමගේ
අන්ද්‍රේ ගෝස් කියන්නෙ බරපතළ වාමාංශික දාර්ශනිකයෙක්. ඇත්තටම එයා අපි ඇදහිය යුතු කෙනෙක්. නමුත් මට මේකේ අහු වෙනවා, එයා ඉතාමත්ම ආදරයෙන් ඉන්න ගැහැණියව ගැහැණියක් වශයෙන් එයාට අත ඇරෙනවා කියලා. මොකද ඒකෙදි එයා කියන්නෙ ගැහැණියගෙ ආදරයේ ‘මාර කම‘ නිසා තමයි එයා පැවතුණේ කියලා. ඒක එයා කියන්නෙ එයාට අවුරුදු අසූ තුනක් වුනහම. එතකොට තමයි එයාට තේරෙන්නෙ මම මේක කිව්වෙ නෑ නේද කියලා.
මම පොරක් වුණේ ඇත්තටම, මං මහා දෙයක් වුණේ ඇත්තටම මේ ගැහැණිය මට ලැබුණ නිසා කියන දේ එයාට කියන්න පුළුවන් වෙන්නෙ, පිරිමියෙක් නිසා එයාට ගෙනියන්න තියෙන අරගලය ගෙනිහින් අවුරුදු අසූ තුනක් ගියාට පස්සෙයි. හැබැයි එතැනට ආපු එක මම කියන්නෙ, අපේ සමාජයේ පිරිමින් භාර ගන්න ඕන. ඒ වෙනස් වුණ තැන සහ හේතුව සහ ඇයි එහෙම වුණේ කියන එක අපි මතු කරන්න ඕන. මං විශ්වාස කරන එක දෙයක් තියෙනවා, ඒ තමයි ගැහැණිය මැරුණට පස්සෙ පිරිමියාට ඉන්න බැහැ. මොකද ගැහැණිය තමයි ඒ පැවැත්ම අරගෙන යන්නෙ. නමුත් එතැනදි ඇත්තටම ගැහැණියට මැරෙන්න ඕන වුණාද කියලා මට ප්‍රශ්නය ක් ඉතුරු වෙනවා.
විදර්ශන කන්නන්ගර
ලෙටර් ටු ඩී සම්බන්ධයෙන් මගේ අදහස, විශේෂයෙන්ම ආදරය සහ දේශපාලනය අතර වෙනස තේරුම් ගන්න අන්ද්‍රේ ගෝස් සහ ඩොරින් කියන අය සමඟින් ආදරයේ හමුවීම කියන එක නැතුව විශාල කැපවීමකින් ඒ ආදරය ගොඩනංවපු එක, අන්තිමට ආදරය නිර්මාණශීලී ක්‍රියාවක් බවට පත් වෙන ඒ කතාව තුළ තමයි එයා ඒ ලිවීම ගෙනෙන්නෙ. ඒ කියන්නෙ ඒක අපිට වෙන ආශ්චර්යමත් හමුවීමක් නෙමෙයි. ගොඩක් අය කියනවා එකිනෙකා හමුවෙන එක සහ ඔය වගේ දේවල් ආදරය කියලා. නමුත් මේ පොත ඉන් එහාට ගිය, ආදරය කියන්නෙ අපි කැපවීමෙන් නිර්මාණශීලීව ගොඩනගන්න ඕන කියන ජීවිතයක් කියන දේ තමයි මේ පොත ඇතුළෙ තියෙන්නෙ. විශේෂයෙන්ම ආදරය පිළිබඳ කථිකාව දැන් ලංකාව ඇතුළෙ වෙළඳපොළ ඇතුළේ වාණිජවාදයට යටත් වෙලා ලිංගිකත්වයට ඌනනය වෙලා, ඉතාම ඉක්මන් හදිසියකට ආදරය පාවිච්චි කරන ටූල් එකක් බවට ආදරය පත් වෙලා තියෙන මොහොතක ආදරය පිළිබඳව වඩා දාර්ශනික කථිකාවක් අවශ්‍යයයි කියන තැන අපි ඉන්නවා. විශේෂයෙන්ම මේ පොත විසින් සහ ඊට කලින් විදුර කරපු පොත්වල පවා ආදරය අලුතින් වර නගන්න ඕන. මේක යම් විදියකින් අනූව දශකයෙත් යම් ආකාරයකට දේශපාලනයට සම්බන්ධ කරලා සාකච්ඡාවට ආවා. අපි අලුත් යුගයක ඉන්නවා ආදරය නැවත වර නගන්න ඕන කාලයක. මං හිතන්නෙ ඒකෙදි මේ පොත අතිශයින්ම වැදගත් කියලා.
බූපති නලින්
මේ පොත කියෙව්වම මට දැනුන මූලික දෙයක් තමයි නූතන යුගයේ, ඒ කියන්නෙ 70න් 80න් ඉවරවෙච්ච ලංකාවටත් අදාළව තිබ්බ මිනිස් සම්බන්ධකම්වල ස්වරූපය සහ.... අද දවස වෙනකොට ඒක යම් සංක්‍රාන්ති මට්ටමකට, තරමක් වෙනස් තත්වයක් දක්වා පරිවර්තනය වෙමින් තිබීම. උදාහරණයක් විදියට අපි අනෙකා වෙනුවෙන් කොයිතරම් කැපවෙනවද?, සමාජයේ දැන් විකල්ප තියෙනවා, ඒ විකල්පවලට යන්න පුළුවන්කම තියෙනවා, ඒකත් එක්ක අපි නව යුගයකට ඇවිත් තියෙනවා. දේපළ සම්බන්ධයෙන් අපි දක්වන කසාදයේ අසීරු කැපවීම කියන එක අත අරිනවා. තමුන් එක දේශපාලන මතයක් වෙනුවෙන් කැපවීම බොහොම සරළ තැනකට ඇවිත් තියෙනවා. අන්න ඒ යුගය ගැන යම් විධිමත් අදහසක් ගන්න පුළුවන්. මේක මේ දෙන්නගෙ පවුද්ගලික දෙයක් වුණත් ඒකේ ඒ පොදු ගුණාකාරය තියෙනවා.
වංගීස සුමනසේකර
ආදරය ගැන මාධ්‍ය හරහා තියෙන සාකච්ඡාවෙදි බොහෝදුරට උත්කර්ෂයට නංවන්නෙ බොහෝ දුරට අපි ආදරය හමු වීම, එහෙම නැතිනම් ආදරයට අභිමුඛ වීම කියන කාරණය. ඒක මං කියන්නෙ ආදරයෙ එන ලේසි කෑල්ල. නමුත් ආදරය කියලා එන අත්දැකීම තුළ තියෙන සංකීර්ණ සහ වැඩපිළිවෙළ තියෙන්නෙ ඊට පස්සෙ. ජිජැක්ගෙ භාෂාවෙන් කියන්නෙ ‘ද නයිට් ආෆ්ටර්‘ කියලා. ඒ කියන්නෙ සියල්ල සිදු වූ රාත්‍රියෙන් පසු දා උදෑසන මොකක්ද කරන්නෙ කියන එක. මට හිතෙන්නෙ මේ පොත අන්න ඒ ගැන තියෙන දීර්ඝ සාක්ෂියක් සහිත ලියවිල්ලක්. ආදරය ගැන ලංකාවේ සාකච්ඡාවක් කරනවා නම් මං හිතන්නෙ මේක අපිට තියෙන ලොකු සම්පතක්.
සටහන
බාසුරු ජයවර්ධන
COMMENTS