වින්සන්ට් සුබසිංහයන් හැඳින්වෙන්නේ ‘ලංකාවේ සමූපාකාර රජා’ යන අන්වර්ථ නාමයෙනි. විටෙක, ‘සඳලංකාවේ ගාන්ධි’ යන ගෞරවාමන්ත‍්‍රණය ද ඔහු වෙනුවෙන් යෙ...
වින්සන්ට් සුබසිංහයන් හැඳින්වෙන්නේ ‘ලංකාවේ සමූපාකාර රජා’ යන අන්වර්ථ නාමයෙනි. විටෙක, ‘සඳලංකාවේ ගාන්ධි’ යන ගෞරවාමන්ත‍්‍රණය ද ඔහු වෙනුවෙන් යෙදිණි. සඳලංකාව (හෙන්ඩියගල) පාසල, හලාවත ශාන්ත මරියා විදුහල සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ වින්සන්ට් සුබසිංහ මහතා සිංහලකම හා බෞද්ධකම තුළ හැදී වැඩුණු, ගෝලීය පරිචයක් සහිත මිනිසෙක් විය. එක්දහස් නවසිය තිස් නවයේදී කුඩා පරිමාණ පොල් ඉඩම් හිමියන් මුහුණපෑ නොයෙකුත් වූ කම්කටොළු බාධක හා ආර්ථික අමාරුකම් සමනය කිරීමේ අරමුණින්, සිය පියාගෙන් ලද මුල්‍ය අනුග‍්‍රහයෙන් හා සිය දැනුම උපයෝගී කරගෙන පොල් වගාකරුවන් දහතුන් දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව සමූපාකාර සමිතියක් ආරම්භ කළේය. විදුලිය සුඛෝපභෝගී පාරිභෝජන වස්තුවක්ව පැවති හතළිහ දශකයේදී පවා සඳලංකාවට විදුලි පහසුකම් ලබා ගැනීමට තරම් මෙම ව්‍යාපාරය ශක්තිමක් විය. එය, මේ වෑයමේ සාර්ථකත්වය පිළිබඳ තවත් සහතිකයකි. එසේ බිහිකළ තම සමූපාකාර සමිතිය විසින් නිපදවූ පළමු කොප්පරා ටොන් එකක් පමණ වන තොගයක් කැලණිය තොටලඟට ගෙනැවිත් විකණීමට ඔවුන් සමත්විය. එම ආදායම සේවකයින් හා ඉඩම් හිමියන් අතරේ බෙදා හැරීමට කටයුතු කළ සුබසිංහ තරුණයා, ආදායමෙන් පහෙන් එකක් ඉදිරි සංවර්ධන වැඩ වෙනුවෙන් ඉතිරි කර තැබීය. 1940 දී සඳලංකාවේ සෙක්කුවක් සවිකොට පොල් තෙල් නිපදවීමේ කර්මාන්තයක් ආරම්භ කිරීමට ද එතුමන් මූලිකත්වය ගත් බව සඳහන්ය. ගැමි කාන්තාවන්ට අත්කම් හා රෙදි විවීමේ පුහුණුවක් ලබා දීමට හා නිෂ්පාදන මධ්‍යස්ථාන බිහි කිරීමට ද සුබසිංහයන් සිය නායකත්වය ලබා දුන්නේය. එය එතැනින් නොනැවතී හුදෙක් පොල් නිපදවන්නන්ගේ සමූපාකාර සංගමයක් වෙනුවට, ආසියාවේ විශාලතම සමූපාකාර ව්‍යාපාරයක් ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් විය. තරුණ සුබසිංහ පොඩිරාළහාමිගේ මේ බුද්ධිගෝචර, ප‍්‍රාඥාවන්ත තීන්දුව සාර්ථක වීම වින්සන්ට් සුබසිංහ දාර්ශනිකයාගේ අනාගතය දිනන ආර්ථික දැක්ම පිළිබඳ නියත පෙරනිමිති වැනිය.
සිය ප‍්‍රදේශයේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා එක්ව සඳලංකාව මධ්‍ය විද්‍යාලය ආරම්භ කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීමට ද වින්සන්ට් සුබසිංහයන් සමත්විය.
තම නායකත්වයෙන් යුතුව ඊට දශකයකට පමණ පෙර ආරම්භ වූ සඳලංකාව සමූපාකාර ව්‍යාපාරය 1950 පමණ වන විට පොල් ආශ‍්‍රිත පූර්ණ කර්මාන්ත කලාපයක් බවට පත් කිරීමට හෙතෙම සමත් විය. එසේම, 1954 දී නව රෙදි මෝලක් ස්ථාපිත කරමින් ස්ථාන 32 කදී එම නිෂ්පාදන අළෙවි කිරීමට කටයුතු කළේය. ඒ වන විට ඒ ආශ‍්‍රිත සාමාජිකත්වය දහස ඉක්මවා තිබිණි. ඉන් පසු, වර්ෂ 1953 දී පමණ සමූපාකාර සංගමය විසින් මිලදී ගත් ඉඩමක දී, සමූපාකාර රෝහල ඉදිකිරීම ආරම්භ කළේය. එක් වෛද්‍යවරයෙක්, හෙදියන් දෙදෙනෙකු ඇතුළු කීප දෙනෙක් වූ කාර්ය මණ්ඩලයෙන් යුතුව ආරම්භ වූ සඳලංකාව සමූපාකාර රෝහල ප‍්‍රදේශයේ අහිංසක ජනතාවට ලද මහඟු දායාදයක් විය. ඉනික්බිති සුළු සැත්කම් සඳහා ශල්‍යාගාරයක්ද ඇති කිරීමට සමත් වූ සුබසිංහයන්, කොළඹ පිහිටි ජාතික රෝහලේ කීර්තිමත් වෛද්‍යවරුන්ගේ සේවාවද සඳලංකාව ප‍්‍රදේශයේ ජනතාව වෙත ලබා දීමට සිය සබඳතා හා හිතවත්කම් භාවිත කළේය.
ජනයාගේ ආර්ථිකය හා අධ්‍යාපනය ගැන මෙන්ම, ඔහු ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය පිළිබඳව ද කල්පනා කළේය. සඳලංකාවට සමූපාකාර සිනමා ශාලාවක් හිමිවන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසයි. මේ සියලූ දේ තුළ විශ්වාසය දිනාගත් වින්සන්ට් සුබසිංහයන් ප‍්‍රදේශයේ ඔටුනු නොපළන් නායකයා බවට පත්වූයේ නිරායාසයෙන්මය. ජනයාට අන් කාටත් වඩා ‘සුබසිංහ පොඩිරාළහාමි’ යනු විශ්වසනීය නායකයා ද තීන්දුකාරයා ද විය.
වින්සන්ට් සුබසිංහ මහතා නිකවැරටිය, බංගදෙණිය, හිගුරක්ගොඩ වැනි අති දුෂ්කර ප‍්‍රදේශයන් වෙත පවා ඇවිද ගොස් මහාපරිමාණ ගොවි ජනපද නිර්මාණය කිරීමට මූලිකත්වය ගත්තේය. මහ ඝණ කැලෑ එළි පෙහෙළි කරමින් මනුස්සවාසයට සුදුසු පරිදි ඒ බිම් සකස් කරමින් වන බිම් මත ගොවි බිම් නිර්මාණය කිරීමට මෙතුමා නායකත්වය ලබා දුන්නේය. වී, පොල් මෙන්ම සුදුසු බෝග වගා කරමින් එතුළින් ඉහළ ආර්ථිකයක් ගොඩනගා දරු පවුල් නගා සිටුවා ගැනීමට මංපෙත් විවර කර දීමට වින්සන්ට් සුබසිංහයන් සමත් විය. මේ බොහෝ වැඩකටයුතු වල දී තේ කෝප්පය, බත් පත මෙන්ම උපකරණාදිය වෙනුවෙන් වූ වැය පස සුබසිංහයන්ගේ පුද්ගලික ධනයෙන් වැය වූ බව නොරහසකි.
ගැමි ආර්ථිකයේ දියුණුව වෙනුවෙන් තම දායකත්වයෙන් දියත් වුණු සමූපාකාරය තුළින් රැකියා දස දහස් ගණනක් ඒ වන විට නිර්මාණය වී තිබිණි. වින්සන්ට් සුබසිංහ මහතාගේ අප‍්‍රතිහත කැපවීම හා දුරදක්නා දාර්ශනික ඥානය තවදුරටත් ප‍්‍රයෝජනයට ගැනීමේ අරමුණින් 1956 දී එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරණායක රජයේ සමූපාකාර විෂය භාර ඇමති පිලිප් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පිට එතුමන් සමූපාකාර තොග වෙළඳ ආයතනයේ (සතොස) සභාපතිවරයා ලෙස පත් කරනු ලැබීය. තනතුරෙන් තමන් බැබළීම වෙනුවට, තම ඥානය ආයතනික සංවර්ධනය වෙනුවෙන් උපයෝගී කරගත් වින්සන්ට් සුබසිංහයන් ඉතා කෙටි කාලයකින් එම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කළේය.
මහජන බැංකුව නිර්මාණය කිරීමට අදාල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූයේ අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය යටතේ රජයේ වෙළඳ, ආහාර, සමූපකාර හා නාවික කටයුතු අමාත්‍යවරයාව සිටි ටී.බී. ඉලංගරත්න මහතා විසිනි. පනත සම්මත වූයෙන්, මහජන බැංකුව පිහිටුවීමේ අරමුණු හා අභිලාෂයන් යථාර්තවත් කර ගැනීමට හැකි සහ ඊට අවශ්‍ය නායකත්වය දිය හැකි නායකයකු තෝරා මහජන බැංකුව ඔහුට භාර දීම මීළඟ වගකීම විය. ඒ අනුව, ඒ වන විට සමූපකාර ක්ෂේත‍්‍රයේ විශාල මෙහෙයක් සිදු කරමින් සිටි වින්සන්ට් සුබසිංහ මහතා මේ සඳහා පත් කිරීමට කාගේත් අනුමැතිය හිමි වූයේ සුබසිංහ මහතාගේ පෙර කළ කී දේ පිළිබද වූ වාර්තාවන් කෙරෙහි ද පුළුල් අවබෝධයක් ඒ සෑම කෙනෙකුගේම සිත්හි තැන්පත්ව තිබුණු නිසාය.
ඇමති ඉලංගරත්නයන්ගේ ආරාධනය පිළිගෙන තනතුර බාර ගත් සුබසිංහයන් ඉන් පසු ලාංකේය බැංකු ඉතිහාසයට පෙරළිකාර අත්දැකීම් ගණනාවක් දායාද කිරීමට සමත්විය. ඒ අතර, ලංකා ඉතිහාසයේ පළමු සිංහල චෙක් පොත මුද‍්‍රණය කිරීම හා සිංහලෙන් චෙක්පත් ලිවීමේ අවස්ථාව ලබා දීම කැපී පෙණෙන සිදුවීමකි. චෙක්පත් ඇසුරින් ගනුදෙනු කිරීම එක්තරා පංතියකට පමණක් සීමා වූ වරප‍්‍රසාදයක් පමණක් නොව, ගම් නගර සිසාරා විහිදී සිටින ව්‍යවසායකින්, ව්‍යාපාරිකයින්, වෙළඳුන් සහ ගනුදෙනුකරුවන් වෙත මුල්‍ය ගනුදෙනුකිරීමේ මාධ්‍යයක් ලෙස එය භාවිත කළ හැකි බව ඔහු දැඩිව විශ්වාස කළේය. එවැනි දේ වල ප‍්‍රතිඵලයක් ලෙස ගැමියන්ට ගොවියන්ට මෙන්ම පොඩි මිනිසුන්ට බැංකුව සමීප විය. ඉංග‍්‍රීසි භාෂාවට මුල්තැන දෙමින් පැවැති බැංකු සම්ප‍්‍රදාය බිඳ දමා සිංහල හා දෙමළ යන භාෂා දෙකෙන්ම කටයුතු කළ පළමු බැංකුව වන්නේ සුබසිංහයන්ගේ නායකත්වයෙන් යුතු මහජන බැංකුවයි.
වින්සන්ට් සුබසිංහයන්, තම ධනය හා දේපල පරිත්‍යාග කරමින් වැඩ කිරීම සිය ජීවිතයේ පුරුද්දක් කරගෙන සිටියේය. මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස ඔහුට හිමි වූ දීමනා කිසිවක් ලබා නොගත් හෙතෙම, බැංකු කටයුතු පිළිබඳ ඉගෙන ගැනීමට විදේශයන්හී පවා ගියේ තම පුද්ගලික ධනයෙනි. ඉන්දියාවේ කළ අධ්‍යාපන කටයුතු අතරතුර වින්සන්ට් සුබසිංහයන් ඉන්දියාවේ ක‍්‍රියාත්මක වෙමින් තිබූ ග‍්‍රාමීය බැංකු ක‍්‍රමය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත්තේය. එහි තිබු අඩුපාඩු නිවැරදි කොට රළු පරළු තැන් සුමට කොට ලංකා පොළවේ රෝපණය කිරීමට හෙතෙම සමත් විය. අඩු ආදායම් ලබන පුද්ගයින් වෙත මුල්‍ය සහාය ලබා දීම, කර්මාන්ත හා ගොවිතැන වෙනුවෙන් වෙන් වූ විශේෂ මුල්‍ය දායකත්වය ලබා දීම වැනි මෙහෙයන් වෙනුවෙන් ආරම්භයේදීම මහජන බැංකුවේ දොරගුළු විවෘත වන්නේ එතුමන්ගේ මේ මැදිහත්වීම මතය. වසර 1964 දී ප‍්‍රථම වරට මැණික්හින්නේදී අරඹන ලද ග‍්‍රාමීය බැංකු ක‍්‍රමය අදටත් මෙරට සමූපකාර ව්‍යාපාරයට මහත් ශක්තියකි. වසර 1978 දී විවෘත කරන ලද මොරටවු කොරළවැල්ලේ ධීවර බැංකු ශාඛාව එම වර්ගයේම පළමු බැංකු ශාඛාවයි. මේ සියල්ල නිර්මාණය වන්නේ එතුමන්ගේ නායකත්වයෙනි.
අවස්ථා ගණනාවකදීම වින්සන්ට් සුබසිංහයන්ට ක‍්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන ලෙස විවිධ අය ආරාධනා කළ බව කියැවුණ ද සුබසිංහයන් ක‍්‍රියාකාරී දේශපාලනය ප‍්‍රතික්ෂේප කළේය. ඔහු කිසිදා කිසිදු දේශපාලනඥයකු වෙත ගොස් දේවල් ඉල්ලා නොසිටියේය. නමුත්, දේශපාලනඥයින් ඔහු වෙත ගොස් මේ මේ වගකීම බාර ගෙන කටයුතු කරන්නැයි ඔහුගෙන් ඉල්ලීම් කළේය. ඔහුට ආරාධනා කළේය. ඒ ආරාධනා පිළිගෙන බාරගත් සෑම කාර්යයක්ම ඔහු කිසිවෙකුට වචනයක් කීමට ඉඩ නොතබා අවසන් කළ අයෙක් ලෙස ප‍්‍රකටය.
දිළිඳුබව දුරළීම, අධ්‍යාපනික අවස්ථාවන් පුළුල් කිරීම, ආර්ථිකය ශක්තිමත් කිරීම වැනි ඉලක්කයන් සිය ජීවිතයේ ආශ්වාසය ප‍්‍රාශ්වාසය තරම්ම වැදගත් කොට සැලකූ එතුමා 1985 අගෝස්තු මස 24 වැනිදා තමාගේම පුරෝගාමීත්වයෙන් ඉදිකළ සඳලංකාවේ සමූපාකාර රෝහලේදී අවසන් හුස්ම හෙළා අදට වසර තිස් දෙකකි.
භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්
COMMENTS