නාවික බුද්ධි අංශය භාරව සිටි කොමදෝරු ඩී.කේ.පී. දසනායක සහ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ ගන්සයිඞ් නම් බුද්ධි කඳවුර භාර ව සිටි සුමිත් රණ...
නාවික බුද්ධි අංශය භාරව සිටි කොමදෝරු ඩී.කේ.පී. දසනායක සහ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ ගන්සයිඞ් නම් බුද්ධි කඳවුර භාර ව සිටි සුමිත් රණසිංහ ඇතුළු සැකකරුවන් පස් දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් මූලික පැමිණිල්ල කර ඇත්තේ ද හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ය. එහෙත් මේ වන විට නාවික හමුදාවේ ඉහළ නිලධාරීන්ගෙන් ලබාගෙන ඇති කටඋත්තරවලට අනුව හිටපු නාවික හමුදාපතිවරයා ද මේ පැහැරගැනීම් පිළිබඳව දැනුවත් ව සිට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ නඩුව පසුගිය 02 දා කැඳවූ අවස්ථාවේ දී කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබුණේ මේ සිද්ධියට සම්බන්ධ බවට හෙළි වී ඇති සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව අදාළ කටඋත්තර විමර්ශනය කිරීමෙන් පසු ඉදිරියේ දී හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
2008 වසරේ දී රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, මොහොමඞ් ඩිලාන්, මොහොමඞ් සාජිත්, තලකේශ්වරන් රාමලිංගම්, ත්‍යාගරාජා ජෙගන්, සූසෙයිපිල්ලෙයි අමලන් ලියෝන්, සූසෙයිපිල්ලෙයි රොෂාන් ලියෝන්, ජෝන් රීට්, කස්තුරිආරච්චිගේ ඇන්ටනී සහ අලි අන්වර් මෙසේ නාවික හමුදාවේ කප්පම් කල්ලියක් මඟින් පැහැරගෙන ගොස් තිබේ. මෙසේ තරුණයන් 27 දෙනකු පමණ අතුරුදන් කර ඇතැයි මේ වන විට හෙළි වී ඇත.
කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් කොමදෝරු ඩී.කේ.පී. දසනායක අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇතැම් මාධ්‍ය සහ වෙබ් අඩවි ඔහු නිවැරැදිකරුවකු කරන්නටත්, එක් සාක්ෂියක් මත පදනම්ව මේ අත්අඩංගුවට ගැනීම කර ඇති බව පවසන්නටත් විය. එහෙත් අදාළ නඩු වාර්තාවලට අනුව ඩී.කේ.පී. දසනායකට එරෙහිව සාක්ෂි රැසක් ඉදිරිපත් වී තිබේ. එසේ ම මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තර දී ඇති ඇතැම් පුද්ගලයන්ට ද මිනිස් ජාවාරම් ඇතුළු විවිධ චෝදනා එල්ල වී තිබේ.
ශාලික විමලසේන
COMMENTS