පරම්පරා ගණනක් පුරා භේදයකින් තොරව රසවිඳෙන්නේ, අනුකරණය කරන්නට තැත් දැරෙන්නේ ඔහුගේ ළයාදර හඬ ය. ඔහුගේ ළගන්නා අනභිභවනීය ගායන පෞරුෂය ය. ඒ සොඳුර...
පරම්පරා ගණනක් පුරා භේදයකින් තොරව රසවිඳෙන්නේ, අනුකරණය කරන්නට තැත් දැරෙන්නේ ඔහුගේ ළයාදර හඬ ය. ඔහුගේ ළගන්නා අනභිභවනීය ගායන පෞරුෂය ය. ඒ සොඳුරු හඬ, සොඳුරු හදවත නිහඬ වූයේ අදින් හරියට ම දශක තුනකට පෙර ය. 1936 පෙබරවාරි 12 වන දින මධ්‍යම පාන්තික පවුලක පළමු දරුවා ලෙස උපත ලද හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල රටක් හඬවමින් අවසන් ගමන් ගියේ 1987 ජුලි 07 වනදා ය.
එච්. ආර්. ජෝතිපාල නාමය සිංහල සිනමා වංශ කතාවට එක් වන්නේ 1956 දී සිරිල් පී අබේරත්නගේ "සුරතලී" චිත්‍රපටයත් සමඟය. ඒ, අඩසියවසකටත් අධික කාලයක් පුරාවට පරම්පරා කිහිපයකම ගීත ලෝලීන්ගේ මුවග නිතරම රැඳුණු ගීයක් වන්නට වරම් ලැබූ "සිරියා මේ සාරා" ගීතය ගායනා කරමින් පසුබිම් ගායකයකු ලෙසය. මේ පසුපස ද අපූරු කතාවක් වෙයි. ඒ, සුරතලී චිත්‍රපටයේ ගීතයට පෙර සිරිසේන විමලවීරගේ "පොඩි පුතා" චිත්‍රපටය වෙනුවෙන් ජෝති ගීයක් ගයා තිබුණු මුත් එහි ඉන්දියානු චිත්‍රපට රචකයා ජෝතිගේ හඬට අකමැති වීම හේතුවෙන් එම ගීය චිත්‍රපටයෙන් හැළී යාම ය. එදා එකී රචකයා තුටු නොවූ ඒ ගැඹුරු හඬ පසු කලෙක මුළු රටක් වශී කළ උන්මාදයක් බවට පත් විය. අදටත් ඒ ජනප්‍රියත්වය එසේමය.
සිය වෘත්තීය දිවිය තුළ ශ්‍රී ලංකාවේ බොහෝ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සමඟ ජෝතිපාල කටයුතු කළේය. "සන්දේශය" චිත්‍රපටයේදී ඔහු ලාංකේය සිනමාවෙහි පතාකයා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ කටයුතු කරමින් "පෘතුගීසිකාරයා" ගීතය ගායනා කළේය. එම ගීය අදට ද එකසේම ජනප්‍රිය ය. හැට, හැත්තෑව දශකයන්හි ඔහු ජනප්‍රියත්වයෙහි හිනිපෙත්ත කරා ම ඇදුණේය. චිත්‍රපට කර්මාන්තය තුළ ඔහු සිය ජෝතිමත් සලකුණ ගායනයෙන් පමණක් නොව රංගනයෙන් ද ස්ථාපිත කළේය. පණ්ඩිත් අමරදේව, ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක, මිල්ටන් මල්ලවාරච්චි වැනි සංගීතඥයින්ගේ ඇසුරෙහි ගායනයෙහි යෙදෙන්නට ඔහුට ඉඩ ලැබිණි. තුෂාරා, කවුද රජා, වාසනා, සංගීතා වැනි ජනප්‍රිය චිත්‍රපට ඇතුළුව චිත්‍රපට සිය ගණනක් සඳහා ගීත දහස් ගණනක් ඔහු විසින් ගායනා කෙරී ඇත. ගායනයෙන් රංගනයට අවතීර්ණ වූ ජෝති සුලලිත සෝබනි, ඇතුල්වීම තහනම්, සූකිරි කෙල්ල, අභිරහස, බෝනික්කා, ශාන්ති යන චිත්‍රපට වල මෙන්ම තමන් විසින් ම නිශ්පාදනය කෙරුණු සුමිතුරෝ, ඔබයි මමයි යන චිත්‍රපට වලද සිය රංගන ප්‍රතිභාව විදහා පෑවේය.
හින්දි තනු වලට ගීත ගායනා කිරීමේ චෝදනාව ජෝතිට එකල එල්ල විය. කවර තනු වලට හෝ ඔහු විසින් ගයන ලද ගීත සංඛ්‍යාව දහස ඉක්මවා ඇත. ගායකයකු ලෙස, නළුවෙකු ලෙස මෙන් ම චිත්‍රපට නිශ්පාදකයකු ලෙස ද සමාජයෙහි ඉහළින් වැජඹීමේ හැකියාව ඔහුට තිබුණු මුත් ජෝතිපාල යනු පොදු ජනතාව අතර ගැවසුණු මිනිසෙක් විය. අසූව දශකයෙහි සංගීත සංදර්ශනයක් සම්පූර්ණ වන්නට නම් ජෝති එහි අනිවාර්ය සාධකය විය. පොදු ජනතාව අතර ගැවසුණු ජෝති පුද්ගලිකව නොයෙක් අවස්ථාවන්හිදී ඔවුන්ට කළ උපකාර පිළිබඳව පුවත් ද බොහෝය. ඔහු උපතින් ලද හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් නාමයෙහි එච්. ආර්. යන මුලකුරු වලට 'හදවත රත්තරන්' යන විශේෂණය ලැබුණේ ම ජෝතිගේ එවන් ක්‍රියාවන් නිසාම ය.
පුද්ගලිකව ජෝති, රණසිංහ ප්‍රේමදාසගේ දේශපාලනය ප්‍රිය කළේය. ප්‍රේමදාසගේ 'ගම් උදා'වන්හි ගී ගැයුමට ද අනිවාර්යයෙන් ම සහභාගී වූයේය. 1987 ජුලි 05 වනදා ඔහු අවසන් වරට ගම් උදා වේදිකාවක සිය අමරණීය හඬ අතුළේ ය. එද වේදනාවෙන් පෙළෙමිනි. ජුලි 06දා ඔහු රෝහල් ගත කෙරිණි. 1987 ජුලි 07 දා රත්නම් පුද්ගලික රෝහලේදී එච්. ආර්. ජෝතිපාල නම් පුරාවෘතගත මිනිසා ජීවන වේදිකාවෙන් බැසගියේ අක්මාවෙහි ආබාධයක් හේතුවෙනි.
එදා අක්මාවෙහි ආබාධයට හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල නම් ගායකයා, නළුවා, නිශ්පාදකයා රටෙන් උදුරා ගැනීමට හැකියාව ලැබිණි. එහෙත් දශක තුනකට පසුව අදටත් 'හදවත රත්තරන් ජෝතිපාල' නම් මිනිසා කාලය අබිභවා යමින් ජීවමානව හිඳී. ජෝතිගේ ගීයක් නොගැයෙන සංගීත සාජ්ජයක් ගැන හෙටත් කතා නොකෙරෙණු ඇති. ගී ලැයිස්තු, චිත්‍රපට ලැයිස්තු වලින් නොපිරවුණු මුත් මේ සමරු සටහන ද දශක තුනක් පුරා හදවත් බැඳ තබන ජෝතිගේ ඒ හඬ වෙනුවෙනි, හැකියාව වෙනුවෙනි, ප්‍රතිභාව වෙනුවෙනි, පෞරුෂය වෙනුවෙනි, මිනිස්කම් වෙනුවෙනි. එසේම මේ කතා අතරමැද මඟහැර යා නොහැකි දේශපාලනික යතාර්ථය පිළිබඳව දෙවන ලිපියකින් සාකච්ඡා කරමු.
COMMENTS