කරදියානට කොළඹ නගර සභාවේ කසල දමන්නට ආවොත් කාටත් කලින් කරදියාන කසල අංගනයේ ගේට්ටුව ඉස්සරහා නිදා ගන්නේ තමන් යැයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර ද...
කරදියානට කොළඹ නගර සභාවේ කසල දමන්නට ආවොත් කාටත් කලින් කරදියාන කසල අංගනයේ ගේට්ටුව ඉස්සරහා නිදා ගන්නේ තමන් යැයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා අද(18) පැවසීය.
දේවප‍්‍රිය මහතා මේ බව පැවසූයේ බස්නාහිර පළාත් සභා රැස්වීම එහි නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පළාත් සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වූ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
නිපුණආරච්චි මහතා සභාව කල්තබන අවස්ථාවේ ප‍්‍රශ්නයක් ඉදිරිපක් කරමින් විමසා සිටියේ කරදියාන කසල අංගනයට කොළඹ නගර සභාවේ කසල දැමීම සඳහා අවසර ඉල්ලා කොළඹ මහනගර සභාව අභියාචනාධිකරණයට ගොස් තිබේද යන්නයි. ඒ සම්බන්ධයෙන් මහඇමතිවරයාට හෝ අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරියට සිතාසි ලැබී තිබේද? සහ කොළඹ නගරසභාව කරදියානට කසල දැමීම සම්බන්ධයෙන් මහඇමතිවරයා දරණ අදහස කුමක්දැයි ඔහු විමසීය.
‘‘මටත් මේ ප‍්‍රශ්නය දැනගන්න ලැබුණා. මම නාගරික කොමසාරිස්ට කිව්වා මගෙන් අහන්නේ නැතිව අභියාචනාධිකරණයට ගියේ ඇයි? මගේ අවසරයක් නැතිව කරදියානට කසල දමන්න හැකියාවක් නැහැ. කුමන අධිකරණයකට ගියත් අපේ යටතේ තිබෙන ආයතනයක් සම්බන්ධයෙන් අපේ කැමැත්ත අවශ්‍යයි. මම කිසිසේත්ම කරදියානට කොළඹ කසල දමන්න ඉඩ දෙන්නේ නැහැ‘‘ යැයි ද මහ ඇමැතිවරයා කීය.
COMMENTS