Advertisements

Breaking News

බහුත්වවාදී රාජ්‍යයක් ලෞකික විය යුත්තේ ඇයි? - අශාන් වීරසිංහ

බහුත්වවාදී රාජ්‍යයක් ලෞකික විය යුත්තේ ඇයි? - අශාන් වීරසිංහ

මේ ප්‍රවණතාව කදිමට තේරුම් ගත හැකි මෑතකාලීන සිද්ධිය නම් මවාගත් බෞද්ධකමක් හරහා සිංහල-බෞද්ධ සමාජය නොමග යවමින් ඉතාම ම්ලේච්ඡ හැසිරීමක නිරත මූලධර්මවාදියෙකු වන ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගැනීම පිළිබද කතාබහයි (ඥානසාරගේ මයිලකටවත් අත තැබීමට පොලීසිය සමත් නොවූ නිසා 'කතාබහ' යන්නෙන් එහාට ගිය වචනයක් ඊට යෙදීමට අපට නොහැක!). ඥානසාර ගැන අමුතු අටුවා අවශ්‍ය නැත. කෙටියෙන්ම කියනවා නම් නූගත් රස්තියාදුකාරයෙකි. මැරයෙකි. බුද්ධාගම පැත්තෙන් ගත් කල් සමස්ථ ලෝකයක් ඉදිරියේ ඒ මානව හිතවාදී දර්ශනය නින්දාවට ලක් කරන අපේ කාලයේ දේවදත්ත කෙනෙකි. රටේ සිවිල් නීතිය පැත්තෙන් ගත් කළ පටු න්‍යායපත්‍ර යොදා ගෙන ජාතිවාදය අවුස්සමින් සමස්ථ ජාතියම ගඳ ගස්සන පාතාලකාරයෙකි. විවිධ අවස්ථා රැසකදීම ඔහු තම ශරීර කල්ලිය පෙරටු කරගෙන ප්‍රසිද්ධියේම අන්තවාදී අදහස් පතුරුවමින්, ඇතැම් අවස්ථාවල පොලීසිය පවා බිය වද්දමින් හැසිරුණු වාර ගණන අති විශාලය. එහෙත්, ඥානසාර අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමට හැකි ජගතෙක් යහපාලන ආණ්ඩුව පටන් ගත් දා සිට මේ දක්වාම අප දැක නැත. ඇයි?

මීට පෙර අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග නිකුත් වූ විට ඥානසාර එය පයිසෙකටවත් ගණන් ගත්තේ නැත. සාමාන්‍යයෙන් සිවිල් පුරවැසියන් අධිකරණයට හා නීතියට බියක් දැක්වුවද ඥානසාරගේ ත්‍රස්ත කල්ලය කල්පනා කරන්නේ එහි අනිත් පැත්තය. එනම්, අධිකරණය තමන්ට බිය විය යුතු බවය. කෙසේ වෙතත් අන්තිමේදී පොලීසියේ මෙන්ම ආණ්ඩුවේද හැසිරීමෙහි ස්වභාවය නිසා එය එසේම සිද්ධ වන බව ඔප්පු නොවීද? දැන් නැවතත් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇත. එකී වරෙන්තුවත් තවත් එක විහිළුවක් වනු ඇතිද?
උපක්‍රමයක් ලෙස චීවරයට මුවා වී සිටින අන්තවාදී මැරයන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමට ඇති අපොහොසත්භාවය අප සරල ලෙස තේරුම් ගත යුත්තේ පොලීසියේ අසමත්කම ලෙස පමණක් නොවේ. දේශපාලඥයන්ගේ කපටිකම ලෙස පමණක්ද නොවේ. සිවිල් සමාජයේ අප සියලු දෙනාමද අඩු වැඩි වශයෙන් බුද්ධාගමේ නාමයෙන් ඥානසාරලා ආරක්ෂා කරන පසුබිම නිර්මාණය කරන්නට දායක වී ඇත. අද ඔවුන් අවභාවිත කරන්නේද එම පසුබිමම ය. කාලයක් තිස්සේම සිවිල් සමාජයේ බොහෝ දෙනා මේ අය ගැන දරන ආකල්පය මෙබන්දකි: "හැසිරෙන විදිහ නම් හාමුදුරු කෙනෙක්ට ඔබින්නෙ නෑ, නමුත් බුද්ධාගම වෙනුවෙන් මෙහෙම හරි පෙනී සිටින්න අවශ්‍යයි". සිංහල-බෞද්ධ සමාජයේ අති බහුතරය මෙම ඉතාම අමන තර්කයේ කරවටක් ගිලී සිටින බව දන්නා නිසාම ඥානසාරලා කිසිදු චකිතයකින් හෝ දෙගිඩියාවකින් තොරව තම ව්‍යාපෘති ඉදිරියට පත්වාගෙන යති. ලංකාවේ දමිළ සහ මුස්ලිම් සුළුතර වාර්ගික ප්‍රජාවල සහෝදර සහෝදරියන් පාගා දැමීම වෙනුවෙන් ඔවුන් කරන සෑම ක්‍රියාවකම අවසන් සාධාරණීකරණය වන්නේද අප විසින්ම නිර්මාණය කර දී ඇති සමාජ ඉඩකඩ බව තේරුම් ගැනීමම ඉතාම සාධනීය විසඳුමක ආරම්භය නොවනු ඇතිද? සත්‍යය නම් ඥානසාර ඇතුළු චීවරධාරී මැරයන් පෙනී සිටින්නේ බුද්ධාගම වෙනුවෙන් නොවේ. වෙන වෙන දේවල් වෙනුවෙනි. තම අරමුණු ඉටුකර ගැනීම සඳහා කළ යුතු හොඳම දෙය නම් බුද්ධාගම ආරක්ෂා කිරීම සහ සිංහල ජාතිය බේරා ගැනීම වැනි ඊනියා සටන් පාඨ කිහිපයක් මේ අන්ධ සිවිල් සමාජය ඉදිරියේ තැබීම පමණක් බව ඔවුන් ඉතාම හොඳින් තේරුම් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. බුදුන්ට ගල් ගසන දේවදත්තලා, සමාවෙන්න ඥානසාරලා බුදුන්ටත් එහාගිය බෞද්ධයින් ලෙස පෙනෙන මේ අන්ධභාවය ඉතාම ඉක්මනින් අපගේම ගෙල සිඳලනු නිසැකය.

ඥානසාර අත්අඩංගුවට ගැනීම ගැන මෙතෙක් පළ වූ නරකම ප්‍රකාශය මෑතකදී පුවත්පත් සාකච්ඡාවකදී කර ඇත්තේ එසේ මෙසේ කෙනෙකු නොවේ. දේශපාලනික සිංහල බුද්ධාගමේ නිල හිමිකරුවන් ලෙස මහේශාක්‍ය ආධිපත්‍යයක් භුක්ති විඳින පාර්ශ්වයක ඉහළම නිළයක් දරන භික්ෂුවක විසිනි. "ඥානසාරගේ හැසිරීම අනුමත කළ නොහැකි වුවත් ඔහු අත්අඩංගුවට ගැනීම නම් කිසිසේත්ම අනුමත කරන්නට නොහැකි" බව තවදුරටත් අවධාරණය වී ඇත. 'අප්පා හිටගෙන මූත්‍රා කරන විට පුත්තු දුව දුව මූත්‍රා කරනවා' කියා කියමනක් එදිනෙදා සිංහල ව්‍යවහාරයේ ඇත. ඉන් එහාට මේ ගැන කියන්නට දෙයක් තිබිය හැකිද? බුද්ධාගම ඉගැන්වීම පටන්ගත යුත්තේ පෘතග්ජන මිනිසුන්ට නොව දේශපාලනික වශයෙන් රහත් වී සිටින මෙවැනි නිලධාරි සාධුලාටය!

විපරීත සිංහල-(අ)බෞද්ධ කතිකාව තුළ සිවුර යනු හුදෙක්ම තමන්ට රිසි ඕනෑම දෙයක් සිදු කර ආරක්ෂිතව සිටීමට වරම් දෙන මැජික් ඇඳුමක තත්ත්වයට වැටී ඇති බව අපි දනිමු. ඒකාධිපති මහින්ද රෙජීමය ගැන නොයෙකුත් අඩුපාඩු කියමින් යහපාලනය වෙනුවෙන් තමන්ට ඡන්දය දෙන්නැයි පුරවැසියන්ගෙන් ඉල්ලූ ආණ්ඩුවද අක්කා පෙන්නා නංගී දෙන තැනට ඇද වැටුණේ බහුතර සමාජයට වැළඳී ඇති ඒ ව්‍යාධියෙන්ම ගොඩ යාමේ පහසු මාවත තෝරාගත් නිසා බවටද අපට විවේචනයක් ඇත. එදා මහින්දගේ ජාතිවාදය විවේචනය කළාට අද ජාතිවාදී විරෝධී රාජ්‍ය තන්ත්‍රයක් පිහිටුවීමට කැප වී කටයුතු කිරීම හිතාමතාම මෙන් කල්දමමින් සිටින බවක් අපට පෙනෙන්නේද ඊට හේතුද ගම්‍ය කරමිනි. භෞතිකවාදී දර්ශනයක් වන මාක්ස්වාදය කරපින්නාගෙන සමාජවාදය කරා යන බව කියන ගමනේදී ආගමික අන්තවාදයෙන් ගැලවීමට මේ ඊනියා "සමාජවාදීන්ට" පවා නොහැකි වූ පසුබිමක ඒ ගැන පුදුමයක් අපට නැත.

මීට ප්‍රධානතම හේතුව නම් මතුපිටින්ම පෙනෙන්නට ඇති එකකි. ලංකාව නිල වශයෙන්ම සිංහල-බෞද්ධකමේ ගොදුරක් ලෙස පවතින තාක්කල් මේ කරුමය ගෙවන්නට අප සියලු දෙනාටම සිදු වනු ඇත. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම එහිම සඳහා "ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී" යන මූලධර්ම දෙකටම පටහැනි බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. බහුවාර්ගිකත්වය පිළිගන්නා, එසේම ගෝත්‍රික නොවන කවර මිනිස් සමාජයක් හෝ එක් ආගමික සංස්ථාවක් වෙත අනවශ්‍ය තරම් අධිපතිවාදී හෙජමොනියක් රැස් වන පරිදි කපටි ලෙස කටයුතු කරන්නේ නැත. මේ නිසා, මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩ ඒමටත්, සෑම වාර්ගික, ආගමික ප්‍රජාවකටම එක සේ පුරවැසි අභිමානයෙන් ජීවත් වීමට හැකි මානුෂීය ලංකාවක් බිහි කිරීමටත් මේ මොහොතේ කළ යුතු හොඳම දෙය නම් අනාගමික, ලෞකික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිහිටුවා ගැනීමයි.

ලෞකික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන්න අප තේරුම් ගත යුත්තේ නූගත් ආකාරයට නොවේ. එසේ කළා කියා බුද්ධාගමට වන කිසිදු හානියක් නැත. බෞද්ධයන්ගේ පැත්තෙන් ගත කල එක අතකින් එය විශාල ශාසනික සේවයකි. අනෙක් අතට, අනාගමික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන්නෙන් අහස් වන්නේ ආගම් විරෝධී රාජ්‍යයක් නොව රාජ්‍ය පාලනයේදී ආගමික කාරණා පටලවා නොගන්නා, ස්වාධීන හා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් යන්නයි. තිස් වසරකට වැඩි කාලයෙන් යුද්ධයකින් බැට කෑ ලාංකික සමාජය නුදුරේම නැවත වරක් යුද්ධයක් කරා තල්ලු කිරීමට මාන බල ඥානසාර ඇතුළු ජාතිවාදී සුනඛයන් මර්දනය කිරීමට නම් එවැනි බරපතල දෘෂ්ටිවාදීමය වෙනසක් කෙරෙහි යොමු වීම කාලීන බව දැන්වත් කල්පනා කළ යුතුය.
ashanweerasinghe@gmail.com

No comments