දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන් 21 දෙනෙකු අත්සන් කළ විශ්වාස භංග යෝජනාවක් ඊයේ (14) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට බා...
දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන් 21 දෙනෙකු අත්සන් කළ විශ්වාස භංග යෝජනාවක් ඊයේ (14) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට බාරදුන් අතර ආණ්ඩුකාරවරයා මහ ඇමතිවරයාට දන්වා ඇත්තේ බහුතර බලය තහවුරු කරන ලෙසයි. බහුතර බලය නොමැති නම් මහ ඇමතිධූරයෙන් ඉවත්වීමට සිදුවන බවයි ආණ්ඩුකාරවරයා දන්වා ඇත්තේ.
සී.වී. විග්නේෂ්වරන් මහතා දෙමළ මහජන සභාව නමැති සංවිධානයක් පිහිටුවා ගනිමින් දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව දේශපාලන කටයුතු ආරම්භ කිරීමට උත්සාහ කළ අතර එයට දෙමළ ජාතික සන්ධානයෙන් දිගින් දිගටම විරෝධය එල්ල විය. මේ අතර පසුගිය දිනවල පළාත් ඇමතිවරුන්ට එරෙහිව චෝදනා එල්ල වූ අතර මේ හේතු නිසා දිගින් දිගටම මහ ඇමතිවරයා සහ පළාත් සභා මන්ත්‍රීවරුන් අතර විවිධ මතභේද ඇතිවිය.
උතුරු පළාත් සභාවේ බලය හිමි දෙමළ ජාතික සන්ධානයට එහි මන්ත්‍රී ආසන 30 ක් අයත් වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 7 ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට එක් ආසනයක් හිමිවේ.
ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් මහ ඇමතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට අත්සන් තබා ඇති අතර ඔවුන්ගේ මතය වෙනස් කිරීමට මහ ඇමතිවරයාට නොහැකි වුවහොත් සිය ධූරය අත්හැරීමට ඔහුට සිදුවේ.
COMMENTS