ඉතාම අහම්බයෙන් කියල කියන්න පුලුවනි කිසිම සැකයක් නැතුව. ඇත්තටම බ්ලොග් එකක් ලියන්නට මාව පෙළඹුවෙ මගේ ළබැඳි හිතවතියක් වන රන්දිකා රණවීර ප්‍රනා...
ඉතාම අහම්බයෙන් කියල කියන්න පුලුවනි කිසිම සැකයක් නැතුව. ඇත්තටම බ්ලොග් එකක් ලියන්නට මාව පෙළඹුවෙ මගේ ළබැඳි හිතවතියක් වන රන්දිකා රණවීර ප්‍රනාන්දු මහත්මිය. තවත් විස්තර කලොත් මම බ්ලොග් ලිවීමෙහි යෙදෙනා නිදහස් සිතුවිලි බ්ලොගයේ හිමිකාරිය ඇයයි. තනිකරම ඇගේ දිරි ගැන්වීම මතයි මම මෙහෙම දෙයක් පටන් ගත්තෙ. ඒ හින්ද ඒ ගෞරවය සම්පූර්ණයෙන් ඇයට ලැබෙන්නට අවශ්‍යයයි.
ඔබේ පෞද්ගලික තොරතුරු දැනගන්න අප කැමතියි
මම දැනට මැද පෙරදිග ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක නිරත වෙලයි ඉන්නෙ. මගේ පියා ජීවතුන් අතර නැහැ. මගේ මව බාල සහෝදරියන් දෙදෙනා සහ මගේ භාර්යාවගෙනුයි මගේ පවුලේ උදවිය සමන්විත වෙන්නෙ.
බ්ලොග් රචනයෙහි යෙදීමට පෙර ඔබ වෙනත් ලේඛන කටයුතුවල යෙදී තිබුනාද?
කාලෙකට පෙර කවි සහ කෙටිකතා රචනයෙහි යෙදුනා විනෝදාංශයක් වශයෙන්. ඒත් පසුකාලීනම කාර්ය බහුලත්වය මත ඒ කටයුතු කෙමෙන් අතපසු වෙලා අන්තිමට නැත්තටම නැතිවෙලා ගියා.
කාර්ය බහුලත්වය අතරේ බ්ලොග් ලිවීමට කාලය හොයාගන්නේ කොහොමද?
මම බ්ලොග් ලිවීම අරම්භ කලේ රැකියාව උදෙසා විදේශ ගත වුනාට පස්සෙ. ළබැඳියන්ගෙන් වෙන්ව හුදකලාව ගතකරන කාලය මම යොදා ගත්තෙ ලිවීමට. ඒ නිසාම කාර්ය බහුලත්වය බාධාවක් වුනේ නැහැ බොහෝවිට. රැකියාවේ නිරතව ගතවන කාලයෙන් පසු මගේ කුටියේ ගතකරන කාලය මම බොහෝවිට යොදාගන්නෙ ලිවීම උදෙසා.
ලංකාවේ බ්ලොග් කියවන්නන් සාපේක්ෂව අඩුයි. සීමිත පිරිසක් සඳහා ලියන විට ලැබෙන ප්‍රතිචාර ගැන සෑහීමට පත්විය හැකිද?
ඔබ පවසන කරුණ සම්පූර්ණ සත්‍යයක්. ලංකාවෙ බොහෝදෙනෙක් බ්ලොග් කියල දෙයක් තියනවද කියලවත් දන්නෙ නෑ. ඒත් ඇත්තටම ඒ සීමිත පාඨකයින් සංඛ්‍යාවක් හෝ අප ලියන දේ කියවා ඊට ඔවුන් දක්වන අවංක ප්‍රතිචාර, ඒ කියන්නෙ අගය කීරිම් සහ විවේචන දෙකම ගැන මම මේ කියන්නෙ,පිළිබඳව අවංකවම සතුටු විය හැකියි. තව කාරණයක් පුවත්පතක පලවන ලිපියක්, ඒ වගේම කවිපොතක් කෙටිකතා පොතක් නැත්නම් නවකතා පොතක් වගේ නෙවෙයි බ්ලොග් එකක පලවන නිර්මාණයකට එසැණින් ප්‍රතිචාර ලැබෙනව. අන්න ඒක මම හිතන්නෙ ඉතාම සුවිශේෂී කාරණයක්.
ඔබට පාඨකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොනවාද?
බොහෝවිටම පැසසුම් තමයි. දැඩි මතභේදයට හේතුවෙන කරුණු පිළිබඳව මම ලියනවා බොහොම අඩුයි. ඒ නිසා විවේචන බොහොම අඩුයි. එකම විවේචනයක් තියෙනව නම් තියෙන්නෙ එක දිගට එකම කතාවක් නොලියා අර කතාවෙන් කොටසකුයි මේ කතාවෙන් කොටසකුයි වගෙ ලියල පාඨකයා තුෂ්නිම්භූත කරවනවයි කියල. අනික් අතට මම හිතන්නෙ මේ වෙනකොට එහෙම ලියන එක මගේ අනන්‍යතාවය වෙලා ඉවරයි. ඒ හින්ද මට ඕන වුනත් ඒ ශෛලියෙන් මිදෙන්න බැරිතැනටම ඇවිල්ල.
ලංකාවේ බ්ලොග් ලියන්නන්ට ලැබෙන ප්‍රතිචාර ගුණාත්මකද?
කිසිම සැකයකින් තොරව එක හෙලාම ඔව් කියල කියන්නට පුලුවන්. යමක් ලියල බ්ලොග් එකේ පළකලහම පාඨකයො දක්වන ප්‍රතිචාර මත සමහරවිට රචකයා කිසිසේත්ම අදහස් නොකල මානයකට බලාපොරොත්තු නොවුනු දිශාවකට සාකච්ඡාව ඇදිල යන්න පුලුවන්. ඒ වගේම බොහෝ විට එහෙම සිද්ධ වෙලා ඉතාමත් හරබර ඒ වගේම ජීවිතයට ඉතාම වැදගත් කරුණු ඒ සංවාද වලින් ඉස්මතු වෙලා තියනව.
බ්ලොග් රචනයෙහි යෙදීමට ප්‍රිය කරන අයට ඔබ පැවසීමට කැමති කුමක්ද?
එහෙම උපදෙස් විදිහට නම් යමක් කියන්න මගේ කැමැත්තක් නෑ. මොකද බ්ලොග් ලිවීම කියන්නෙ අනෙකුත් හැම කලා කටයුත්තක් වගේම සම්පූර්ණ නිදහස ඇතුව නිරතවිය යුතු කටයුත්තක්. සමහරවිට වෙනත් බොහෝ කලා කටයුතුවලටත් වඩා නිදහස් මාධ්‍යයක් කියල කියන්නත් පුලුවන්. ඒ කියන්නෙ අනෙකුත් මාධ්‍යයන්ට ඇති සීමාකාරී බාධකයන් බ්ලොග් ලිවීමෙහි නෑ. යමක් කියනවනම් කියන්න තියෙන්නෙ "සහෘදයිනි, ඔබේ සිතැඟි පරිදි නිදහසේ නිරතවීමට හැකි මාධ්‍යයක් වන බ්ලොග් ලිවීමෙහි ඇති නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න. සිත් සතුටින් එහි නිරත වන්න" කියල තමයි.
COMMENTS