හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය සඳහන් කරන්නේ වත්මන් 'එක්සත් ජාතික පක්ෂ - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ' හවුල් ආණ්ඩුව ගෙදර යැව...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය සඳහන් කරන්නේ වත්මන් 'එක්සත් ජාතික පක්ෂ - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ' හවුල් ආණ්ඩුව ගෙදර යැවීමේ සටන ජනවාරි 27 වන දා නුගේගොඩින් ආරම්භ කරන බවය. ක්ෂණික පාර්ලිමේන්තු බල පෙරළියක් මින් අපේක්ෂා කළ නොහැකි වුව ද නුදුරේදී ම පැවැත්විය යුතුව තිබෙන පළාත් පාලන මැතිවරණයේ දී මහ නගර සහා, නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින්ගෙන් බහුතරය මහින්ද හිතවාදීන් වෙතින් පත්කර ගැනීම සඳහා මෙය යම් පිටුවහලක් වනු ඇති බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.
දැනට ද පළාත් පාලන ආයතන නියෝජිතයින්ගෙන් බහුතරය රැඳී සිටින්නේ මහින්ද පාර්ශ්වය සමඟය. ශ්‍රීලනිපයෙහි බිම් මට්ටමේ බලය තමන් වෙත තහවුරු කර ගනිමින් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයට අභියෝග කිරීම මහින්ද පාර්ශ්වයේ අරමුණ වී තිබේ. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජයක් පිහිටුවීම තම බලාපොරොත්තුව බව ද ඔවුහු ප්‍රකාශ කර සිටිති.
කෙසේ වෙතත් දැනට විධායක ජනාධිපති තනතුර සහ ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතා සතු හෙයින් ඔහුට මින් බලපෑමක් නොමැති වුව ද ශ්‍රීලනිප බිම් මට්ටමේ බලය අහිමිවීම සහ එය රට ම ඉදිරියේ ප්‍රකාශයට පත්වීම හේතුවෙන් මෛත්‍රී පාර්ශ්වය යම් අපහසුතාවයකට නුදුරේ දීම පත්වනු ඇත.
COMMENTS