මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී ගමගේ මහතාට පසුගිය ජුනි 02 වැනි දින මීගමුව නගර සභාවේදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් කළ පහරදීම සම්බන්ධ නඩ...
මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී ගමගේ මහතාට පසුගිය ජුනි 02 වැනි දින මීගමුව නගර සභාවේදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් කළ පහරදීම සම්බන්ධ නඩු විභාගය පසුගිය 29 වැනිදා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවේ විභාගයට ගනු ලැබීය.
මෙහිදී නඩු කටයුතු මෙහෙයවූ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය වෙත කරුණු දක්වමින් සඳහන් කර සිටියේ මෙම පහරදීමේ සිද්ධිය මෙහෙයවීම සම්බන්ධයෙන් මීගමුව හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලාන්සා මහතා සම්බන්ධ බවට ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති බවයි.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන දන්ත නිරංජන සහ චාමර ජයසිංහ යන මහත්වරුන් සඳහන් කර සිටියේ මින් පෙර ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන් වී ඇති කරුණු යටතේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයාගෙන් මීපුර වෙබ් අඩවියේ කර්තෘවරයාට තර්ජනයක් සිදුව ඇති බවත් සැකකරුවන්ගෙන් අත්අඩංගුවට ගන්නා ලද ජංගම දුරකතන සමඟ දයාන් ලාන්සා මහතාගේ ජංගම දුරකතන සංවාද පරීක්‍ෂා කර බැලීමේදී සිද්ධිය සිදු වූ දින දුරකතන ඇමතුම් දාසයක් සිදුව ඇති බවට සඳහන් වී තිබෙන බවත්ය.
ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ 32 වගන්තිය යටතේ යම්කිසි පුද්ගලයකුව අත්අඩංගුවට ගැනීමට එම සාක්‍ෂි ප්‍රමාණවත් බව දැන්වූ නීතිඥවරු මෙම නඩුවේ තුන්වැනි සැකකරු ලෙස දයාන් ලාන්සා මහතාව නම් කරන ලෙස අධිකරණයෙන් තවදුරටත් ඉල්ලා සිටියහ.
දෙපාර්ශ්වයෙන් ඉදිරිපස කළ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා අධිකරණය විසින් මේ තරම් කාලයක් පරීක්‍ෂණ කටයුතු සඳහා කල් ලබා දුන්නේ මෙම නඩුවට අදාළව සාධාරණ විමර්ශනය සඳහා යුක්තිය ඉටු කරන ලෙසට බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත දන්වා සිටියේය.
මෙම නඩුවේ විමර්ශන කටයුතු සඳහා නීතිපති උපදෙස් සඳහා යොමු කරන ලෙසට දින නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා මෙම නඩුව ලබන පෙබරවාරි මස 28 වැනි දිනට කල් තැබූ අතර එදින පොලීසියේ ස්ථාවරය ප්‍රකාශ කරන ලෙසද පවසන ලදී.
COMMENTS