තමන්ගේ මෙන්ම දිලිත් ජයවීර මහතාගේ ද සදාදරණීය නායකයා මහින්ද රාජපක්ෂ බව සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්...
තමන්ගේ මෙන්ම දිලිත් ජයවීර මහතාගේ ද සදාදරණීය නායකයා මහින්ද රාජපක්ෂ බව සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි. පොදුජන පෙරමුණ හැදුව අය ලෙස එයට අලුතින් එක්වීමට දෙයක් නොමැති බවත් වෙනම දේශපාලනය කළත් එම පක්ෂය සමඟ කිසිම ගැටලුවක් නොමැති බවත් ඒ මහතා කීය.
මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් දිලුම් අමුණුගම මහතා මෙසේද පැවසීය.
අපේ සදාදරණීය නායකයා මහින්ද රාජපක්ෂ. දිලිත් ජයවීර මහතාගේ සදාදරණීය නායකයාත් එතුමායි. එහි වෙනසක් නැහැ. අපි වෙනම දේශපාලනය කළත් අවශ්‍ය වෙලාවට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. මේ ආණ්ඩුව මැතිවරණ සමයේදී ජනතාව දුන්න පොරොන්දු ඉටු කරන්නේ නෑ. මේ අය බලයට පත් කරන්න සහය දුන්න බළල් අත්වල පොරොන්දු විතරයි ඉටු කරමින් ඉන්නේ. ඒ නිසා තමයි බුද්ධි අංශ ප්‍රධානීන්, හමුදාපතිවරු, හිමිවරුන් වගේම ත්‍රස්තවාදයත් සමඟ කටයුතු කර ප්රජාතන්ත්රවාදී මාවතට පැමිණි පිල්ලෙයාන් වගේ අය සිරගත කරමින් යන්නේ. ජනතාව දුන්න පොරොන්දු බල්ලට දාලා කටයුතු කරන්නේ.
කොවිඩ් වසංගතය ලෝක අර්බුදයක්. දැන් ඇතිවෙලා තියෙන අර්බුදයකට වඩා ඒක ලොකුයි. මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ රටවල් කිහිපයයි. ඒකට මුළු ලෝකයම අහුවුණා. එතකොට විපක්ෂයේ සිටි මේ පාලකයන් වසංගතය අස්සේ තැන තැන පිකටින් කළා. ජනාධිපති ගෝඨාභයට කිව්වා වසංගතය අවසන් කරන දවස කියන්න නැත්නම් ගෙදර යන්න කියලා. දැන් විපක්ෂය වගකීමෙන් හැසිරෙනවා. ඒක අගය කළ යුතුයි.
තෙල් අර්බුදය ඉදිරියට දාලා හැම ප්‍රශ්නයම යට ගහන්න දෙන්න බැහැ. මේ අය තමන්ගේ නොහැකියාව වහගන්න හදන්නේ මැදපෙරදිග යුද්ධය ඉස්සරහට දාලා. දැන්ම ජනාධිපතිවරු තෝරලා වැඩක් නැහැ. අවශ්‍ය වෙලාවට සුදුසු කෙනා අපි තෝරා ගන්නවා. ජනාධිපතිවරණය පැමිණි අවස්ථාව වන විට වඩා ජනප්‍රිය නායකයාට අපි සියලු දෙනා එකතු වෙලා සහය දෙන්න ඕනෑ කියන එක තමයි මගේ ස්ථාවරය. අවශ්‍ය වෙලාවට සුදුසුම තීරණය සර්වජන බලය ගන්නවා.
මේ පුවත තව අයට බලන්න

COMMENTS