පාස්කු කොමිසමේ විමර්ශන අංශය විසින් දුන් සාක්ෂියක් මත මාස 34ක් සිරගෙදර රඳවා සිටියදී නිදොස් කොට නිදහස් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තවමත් ස...
පාස්කු කොමිසමේ විමර්ශන අංශය විසින් දුන් සාක්ෂියක් මත මාස 34ක් සිරගෙදර රඳවා සිටියදී නිදොස් කොට නිදහස් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තවමත් සේවයේ පිහිටුවා නොමැති නිසා ජීවත් වීමට පොල් විකුණමින් සිටින බව වාර්තා වේ.
ඒ, ප්‍රධාන පොලිස් පරීක්ෂක තාගුර් තම්බි අබුබකර්ය. පාස්කු ප්‍රහාරයෙන් පසු මුළු රටම කතාකළ සාරා ජස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් සයින්දමරුදු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් බවත්, ඇය මඩකලපුවේ සිට ජීප් රථයකින් ආරක්ෂිතව මන්නාරමට රැගෙන ගියේ මෙම නිලධාරියා බවත් පාස්කු කොමිසමේදී හෙළිවිය. ඔහු සමග සෙල්වරාජ් දේවකුමාර් නමැති කලවංචිකුඩි පදුංචිකරුවකුද අත්අඩංගුවට ගැනිණි.
‘අපිට බොරු සාක්ෂි ගළපලා පාස්කු කොමිසමේ විමර්ශන අංශයේ ස්ථානාධිපති අර්ජුන් මාහිංකන්දගේ පෞද්ගලික ඔත්තුකරුවකු දුන් සාක්ෂියක් මත අත්අඩංගුවට ගත්තා. අන්තිමට මාව මාස 34ක් හිරෙත් දැම්මා. අවසානයේ මම සාරා ඉන්දියාවට පැන්නුවා කියලා බොරු සාක්ෂි ගළපලා තියෙන්නේ කියලා සී.අයි.ඩී., ටී.අයි.ඩී. සාක්ෂි සහිතව හෙළිකරගෙන තිබුණා. අවසානයේ මාව බොරු සාක්ෂි හදලා හිරේ දාපු මාහිංකන්ද උසස්වීමකුත් අරන් රටින් පැන්නා. මම හිරගතව සිටි කාලයේ ගෙදර අය ගත්ත ණය ගෙවාගන්න විදියක් නෑ. පවුලේ හයදෙනෙක් ජීවත් වුණේ මම හින්දා. මට පැන්ෂන් යන්න තියෙන්නේ තව මාස හතයි. හිරේ ඉද්දී ඇතිවුනු අසනීපවලට බෙහෙත් ගන්නවත් සල්ලි නැහැ. මාව නිදොස් වූ නිසා යලි රැකියාවේ පිහිටුවන්න කියලා ඉල්ලුවත් තාමත් ඒක වුනේ නෑ. ණය වෙච්ච සල්ලි ඉල්ලගෙන ගෙදරට කට්ටිය එනවා. මම දැන් පොල් අරන් ඇවිල්ලා විකුණලා තමයි පවුලේ අය ජීවත් කරන්නේ. රුපියල් 50ට පොල් අරගෙන රුපියල් 60ට විකුණනවා. අක්කරෙයිපත්තුවේ ඉඳලා කොළඹට එන්නවත් සල්ලි නැහැ. මට දැන් වහ බීලා මැරෙන්න වෙලා තියෙන්නේ…’ යැයි ප්‍රධාන පොලිස් පරික්ෂක අබුබකර් පැවැසීය.
අම්පාරේ පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස සේවය කළ තමාට වසර 35ක සේවා කාලයේ කිසිදු චෝදනාවක් එල්ල නොවුණත් පාස්කු කොමිසමේදී බොරු සාක්ෂි ගළපා රැකියාවත් අහිමි කළ බව හෙතෙම පෙන්වා දෙයි.
සී.අයි.ඩී., ඩී.අයි.ජී. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාත් පාස්කු කොමිසමට ගිහිල්ලා මට එරෙහිව වාර්තා බොරු කියලා වාර්තාවකින් දැනුම් දුන්නා. ආරක්ෂක කවුන්සිලයත් මාව නිදහස් කරන්න පියවර ගත්තා කියලා පොලිස්පතිතුමාටත් දන්වා තිබුණා. ඒ අතරේ ඩී.එන්.ඒ. වාර්තාවලින් සාරා මියගිය බව හෙළිවුණා. ඒ නිසා මා නිදහස් වුණද මට එරෙහි බොරු සාක්ෂි ගැළපූ නිලධාරියා රට පැන නිදහසේ ඉ්නවා යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
COMMENTS