"ලංවිම නවීකරණය කරන්නේ පාරිභෝගිකයාට හොද සේවයක් ලබාදෙන ගමන්ම අපේ පාඩුව ලාභයක් බවට පරිවර්තනය කරන්නයි. මේ අවුරුද්දේ ලංවිම ඇස්තමේන්තුගත අල...
"ලංවිම නවීකරණය කරන්නේ පාරිභෝගිකයාට හොද සේවයක් ලබාදෙන ගමන්ම අපේ පාඩුව ලාභයක් බවට පරිවර්තනය කරන්නයි. මේ අවුරුද්දේ ලංවිම ඇස්තමේන්තුගත අලාභය කෝටි අටදහසක්. මේක අපි තුළින්ම නැතිකරගත යුතුයි. කෝටි අටදහසක් කියන්නේ මහවැලියක් ඇතිකරන්න යන වියදමක්. මේක දරන්න පුළුවන් වියදමක්ද. මේ ප්‍රශ්නයට වගකියන්න ඕන කව්ද. දේශපාලඥයෝ නිසි වේලාවට තීන්දු තීරණ අරගෙන නැහැ. ලංවිමත් හරියාකාරව නිර්භීතව තීන්දු අරගෙන නැහැ. අපට විදුලිබිල වැඩිකරන්න බැහැ. එහෙම කරන්න මම දෙන්නෙත් නැහැ. විෂයබාර අමාත්‍යවරයා වශයෙන් මා වගකීමෙන් කියන්නේ. ලංකා විදුලිබල මණ්ඩලය කිසිම දිනෙක පුද්ගලීකරණය කරන්නේ නැහැ" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ ඊයේ (30) පෙරවරුවේ තලංගම ලංවිම පාරිභෝගික සේවා මධස්ථානය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාද සහභාගි විය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"අප්‍රේල් 04 වනදා වනවිට රටේ හැම කොනකම පාරිභෝගික සේවා අංශයක් ඇති කරන්න ඕන. මින් පසුව අපි එක අංකයක ඇමතුමකින් ලංකාවේ ඕනෑම තැනක සිට විදුලිබල මණ්ඩලයට අයත් සේවා ලබාගත හැකි තත්ත්වයක් ඇතිකළ හැකි ක්‍රමවේදයක් සකස් කරනවා. තව මාස 06 ක් යන්නට මත්තෙන් ලංවිම, ලංකාවේ විශිෂ්ඨ ගණයේ ආයතනයක් බවට පත්කරනවා. අපි ජනන වියදම අඩු කළොත් ඒකෙ වාසිය පාරිභෝගිකයාට ලබාදෙන්න පුළුවන්. ඒකක 0 සිට 120 වනතෙක් පාරිභෝගියන් 52% ක් තුළින් තමයි අපේ අලාභය, ලාභය බවට පත්කරලා දෙන්නේ. ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන තුලින් අපි ලබන්නේ පාඩුවක්. ඒ නිසා තමයි අපි අපේ පාරිභෝගිකයාට සැලකිය යුත්තේ. මම වැඩ බාරගත්ත අවස්ථාවේදි සාමාන්‍යාධිකාරිතුමා ඇතුලු පිරිස හමුවූ අවස්ථාවේදී මම ඉල්ලුවේ අපේ පාරිභෝගිකයන්ට හදවතට දැනෙන්නම සේවය සපයන්න ඕන කියලා. ඒ අනුව අපි පාරිභෝගිකයන් වෙනුවෙන් තබපු ඉදිරි පිම්මක් තමයි මේක. අපිට රට පුරාම මේ ආකාරයේ සේවයක් සපයන්න පුළුවන්නම් ඉතාමත් විශිෂ්ටයි. 26,163ක සේවක පිරිසක් ඉන්නවා ලංවිම තුළ. ඒ වගේම තව 5000 පමණ කොන්ත්‍රාත් පදනමේ සේවය කරනවා. මේ අනුව මේ ආයතනය ලංකාවේ තිබෙන විශාල ආයතනයක්. ඒකෙන් පාරිභෝගිකයන් හැටපන්ලක්ෂයකට පමණ සේවය සපයනවා. මේ ප්‍රමාණය වර්ෂයකට 6%ක්, 7%ක් වගේ ප්‍රමාණයකින් වැඩි වෙනවා. මේ පිරිසට උපරිම සේවයක් ලබාදීම තමයි අපේ ඉලක්කය. විදුලිබල මණ්ඩලයේ තිබෙන්නේ ඒකාධිකාරිත්වයක්. පාරිභෝගිකයාට ලංවිම හැර වෙන විකල්ප නැහැ. නමුත් මේ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි. ලංකාවේ දින ගණන්, සති ගණන් වැයවූ කටයුතු මේ වනවිට බොහෝ ආයතනයන්හි පැය කිහිපයකින් කරගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයත් අන්න ඒ වගේ කාර්යක්ෂම ආයතනයක් කල යුතුයි. වෙනසක් ඇතිකළ යුතුයි."
"අපේ රාජ්‍ය ආදායම බිලියන 2200. ඒකෙන් බිලියන් 860 ක් රජයේ සේවකයන්ට. තව බිලියන් 240 ක් විශ්‍රාම වැටුප් වලට. තවත් බිලියන 1200 ක් රාජ්‍ය ණය වලට. මේ වියදම් තුන ගියාම රට බංකොලොත්. ඉතින් කොහොමද අපි රට දියුණූ කරන්නේ. නමුත් පොඩි දේවල් වලට අපේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ සටන් පාඨ හදාගෙන වර්ජන වලට යන එක ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාවක්. නමුත් මේ ප්‍රජාතන්ත්‍රවාදයට පුළුවන්ද රට දියුණූ කරන්න. ඒ සටන්පාඨ වලට පුළුවන්ද රැකියා අවස්ථා ලබාදෙන්න. ඒකෙන් වෙන්නේ වසර ගනනාවක් අපේ ජීවිත පස්සට යන එකයි. මේ තත්වය අපි වෙනස් කළ යුතුයි. අපේ පාරිභෝගිකයා සහ විදුලි සේවක පිරිස අපි රක්ෂණය කළ යුතුයි. වසරකට ලංවිම සේවකයන් විශාල ප්‍රමාණයකගේ ජිවත අහිමි වෙනවා සේවය කරද්දි. ඒ විදියට ජීවිකය අහිමිවන පුද්ගලයන්ගේ පවුල් වලට රැකියාවක් ලබාදෙන්න අපි පියවර ගත යුතුයි. මේවට සටන් පාට අවශ්‍ය නැහැ. ඒ වගේම විදුලිය සිදලීමේ ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. ඒ ආකාරයෙන් පාරිභෝගිකයාට වඩාත් කාර්යක්ෂම, ගුණාත්මක සේවාවක් සැපයීම කොළම සිට මඩකලපුවටත්, යාපනය සිට දෙවුන්දරතුඩුවටත් සමස්ත දිවයිනම ආවරණය වන පරිද්දෙන් වෙනසක් ඇතිකළ යුතුයි. මේක අභියෝගයක්. මේක ජයගන්න අවශ්‍යයි. ලංවිම අලාභය ලාභයක් බවට පරිවර්ථන කරගැනීමට සේවක පිරිස් වල අදහස් ලබාගත යුතුයි" යැයි පැවසීය
COMMENTS