තමන් වෙනම දේශපාලන පක්ෂයක් පිහිටුවන ලද්දේ තවත් දේශපාලන පක්ෂයකට හේත්තු වී පසෙකට වීමට නොවන බව සී.වී.විග්නේස්වරන් මහතා යාපනයේදී පැවසීය. උතුරු...
තමන් වෙනම දේශපාලන පක්ෂයක් පිහිටුවන ලද්දේ තවත් දේශපාලන පක්ෂයකට හේත්තු වී පසෙකට වීමට නොවන බව සී.වී.විග්නේස්වරන් මහතා යාපනයේදී පැවසීය.
උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා මෙසේ කියා සිටියේ යාපනයේ පලාලි පාරේ පිහිටි පොදු උත්සව ශාලාවකදී දෙමළ ජාතික සන්ධාන පක්ෂයේ මධ්‍යම කාරක සභාව අමතමිනි.
සී.වී.විග්නේස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජනතා සන්ධානයේ (ටී.එම්.කේ) පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එක් අයෙකු ප්‍රකාශ කොට සිටියේ සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකට එක්විය යුතු බවට ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාව සම්බන්ධයෙන් ටී.එම්.කේ.පක්ෂයේ ස්ථාවරය දැනගැනීමට කැමති බවයි.
මෙහිදී අදහස් දැක් වූ විග්නේස්වරන් මහතා පවසා ඇත්තේ තමන් හෝ තම පක්ෂය යළි කිසිම දිනක කවර අවශ්‍යතාවයක් සදහාවත් දෙමළ ජාතික සන්ධානයට එක් වීමක් හෝ එම පක්ෂයේ ලකුණක් යටතේ මැතිවරණයකට තරග නොකරණ බවයි.
තමන් මෙවැනි තීරණයක් ගන්නා ලද්දේ අදක ඊයේක නොව උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පිබිදීම වෙණුවෙන් උත්සව මාලාවක් සංවිධානය කළ අවස්ථාවේදී බව ඔහු කියා සිටියේය.
දෙමළ ජනතාවගේ යහපත හා දෙමළ ජනතාව දිනාගැනීම සදහා යමක් කරණ අවස්ථාවලදී දෙමළ ජාතික සන්ධානය ඒ දෙස බලන ලද්දේ දැඩි ඊර්ෂ්‍යාවකින් බව පැවසූ සී.වී.විග්නේස්වරන් මහතා තමන් විසින් සිදු කළ දෙමළ ජනතාවගේ පිබිදීම වැඩ සටහනට දෙමළ ජාතික සන්ධානය විසින් දක්වන ලද්දේ එවැනි ප්‍රතිචාරයක් බවද කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානය තමන්ව උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට කටයුතු හා සැලසුම් දියත් කළේද මේ ඊර්ෂ්‍යාව නිසාම බව කී සී.වී.විග්නේස්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයට යන එන මං නොමැති අවස්ථාවලදී කොතරම් උදව් උපකාර කළද ඒවායෙහි කිසිදු කෙළෙහි ගුණයක් එම පක්ෂයේ නායකයින් තුළ නොමැති බව උදාහරණ කීපයක් මගින් ඔහු පෙන්වා දුන්නේය.
මේ නිසා තමන් යළිත් වරක් එවැනි පක්ෂයකට සහය ලබා නොදෙන බවත් තමන්ගේ එකම අරමුණ ටී.එම්.කේ.පක්ෂය උතුරු පළාත තුළ ව්‍යාප්ත කොට දුක් විදින හා දෙමළ ජාතික සන්ධානයට රැවටී සිටින ජනතාව ඉන් මුදවා ගැනීම බවත් මෙහිදී කියා සිටියේය.
(දිනසේන රතුගමගේ)
COMMENTS