අලුත් ගීතයට මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබෙන්නෙ? තලවතුගොඩ චන්ද විමල හිමියන් තමයි ඒ ගීතය ලිව්වේ. සංගීතවත් කළේ නවරත්න ගමගේ මහත්තයා. ඒ සඳහා හොඳ ප...
අලුත් ගීතයට මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබෙන්නෙ?
තලවතුගොඩ චන්ද විමල හිමියන් තමයි ඒ ගීතය ලිව්වේ. සංගීතවත් කළේ නවරත්න ගමගේ මහත්තයා. ඒ සඳහා හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. හන්තාන සිහිනේ ගීතය වගේ කරපු ගීතයක්.
උමාරු මියුසික් ස්ටූඩියෝ එක තාවකාලිකව වහන්න වුණේ ඇයි?
දවස් කීපයකට කලින් පැලවත්තේ රෙදි කඩයක ඇති වුණ ගින්නක් එක්ක මගේ අක්කගේ මියුසික් ස්ටූඩියෝ එකටත් හානි වුණා. ඒ ගින්නත් එක්ක සිදුවුණු හානිය පිළිසකර කරනකම් තාවකාලිකව තමයි අක්කගේ ස්ටූඩියෝ එක වැහැව්වේ. ඒ ගින්නත් එක්ක ස්ටූඩියෝ එකේ තිබුණ සංගීත භාණ්ඩ ඔක්කෝම විනාශ වෙලා තියෙනවා. සති දෙක තුනකින් පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා.
උමාරියා නිර්මාණකරණයට වැඩි වේලාවක් වෙන් කරනවා කියන්නේ ඇත්තද?
අනිවාර්යයෙන්ම ඔව්. මම තනුවේ ඉඳන් අනෙක් හැම දෙයක්ම හොඳට බලනවා. මගේ අම්මත් මට උදව් කරනවා. ගුණාත්මක නිර්මාණයක් ආවට ගියාට කරන්න බැහැනේ. ඒ නිසා වැඩි වේලාවක් වෙන් කරන්න වෙනවා.
උමාරා එක්ක ගීතයක් කරන්නේ නැද්ද?
ගීතයක් කරන්න ඕන. ඒත් අක්කා කාර්යබහුල නිසා ඒ දේ ටිකක් විතර මගහැරිලා තියෙන්නේ. නමුත් ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
ලැබෙන ජනප්‍රියත්වය කරදරයක් වෙලා නැද්ද?
එහෙම නැහැ. මම ජනප්‍රියත්වය කරදරයක් කියලා හිතන්නෙ නැහැ. මොකද මිනිස්සු නිසයි අපි මෙතැන ඉන්නේ. ගොඩක් ආසාවෙන් තමයි මගේ රැකියාව මම කරන්නේ.
උමාරියා විදේශ රටක පදිංචි වෙන්න යනවා කියන කතාව ඇත්තද?
සංගීතය තියෙන තැන තමයි අපි ජීවත් වෙන්නේ. ලංකාව දාලා යන්න නම් අදහසක් නැහැ.
මේ ආපු ගමන් මග දිහා ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නෙ?
මාර සතුටක් තියෙන්නේ. පොඩි වයසක් තුළදී මගේ ජීවිතෙන් මට ගොඩක් අත්දැකීම් ලැබුණා. මම කිසිදේකට දුක් වෙන්නෙ නැහැ. මම හැමදාම අවංකව වැඩ කරපු කෙනෙක්. මම ඕනම කෙනෙක්ට උපරිමයෙන් කරනවා. මට දැන් වයස අවුරුදු විසිහතක් වෙනවා. ඒ කාලය තුළ මම හරි දේ කරලා තියෙනවා. අවංකව ජීවත් වෙලා තියෙනවා.
ජීවිතේ ගත්ත තීරණ ගැන උමාරියාට පසුතැවීමක් නැද්ද?
ඇත්තටම මට කිසිම පසුතැවීමක් නැහැ. ජීවිතේ කියන්නේ අත්දැකීම් ලැබෙන තැනක්. මම අද ගොඩක් සතුටෙන් ඉන්නේ. මොකද මම කාටවත් බොරු කරලා නැහැ. ගිය අවුරුද්ද කියන්නේ මගේ ජීවිතේ වෙනස් වුණ අවුරුද්ද. මම මේ අවුරුද්දේ අලුත් ජීවිතයක් පටන් ගත්තා. ඒ ගත්ත තීරණ ගැන මම කවදාවත් පසුතැවීමක් නැහැ. කවුරුත් කැමැති නැහැ දුක් විඳින්න. හැමෝම කැමැතියි සතුටින් ඉන්න. ඒ නිසා ඒ ගත්ත තීරණ ගැන දුක්වෙන්නෙ නැහැ.
ඇයි විදේශ රටක විවාහ උත්සවය පවත්වන්න තීරණය කළේ?
මගේ මහත්තයා ප්‍රංශ ජාතිකයෙක්. ඒ නිසයි ප්‍රංශයේ විවාහ උත්සවය ගත්තේ. මට හිතුණා පවුලේ අයත් එක්ක, දන්න කියන අයත් එක්ක විවාහය පවත්වන්න.
උමාරියාගේ සැමියා කොහොමද ඔබට මුණගැහෙන්නෙ?
අපි පවුලේ හිතවතුන්. ඒ නිසයි ඔහුව මුණගැහෙන්නේ. මගේ මහත්තයාගේ පැත්තෙන් නමයි මට විවාහ යෝජනාව ආවේ. ඒ අනුව හඳුනාගෙන තමයි අපි විවාහ වෙන්නේ.
උමාරියා හිතනවද දැන් ජීවිතේට නිවැරදිම කෙනා මුණගැහුණා කියලා?
ඔව්. මොකද ඔහු හරිම කරුණාවන්තයි. අවංකයි. ඔහුගේ ගතිගුණ ගොඩක් හොඳයි. හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් ඔහුට වඩා හොඳ කෙනෙක් මට ලැබෙන එකක් නැහැ. අපි දෙන්නා සතුටින් ඉන්නවා. උමාරියාගේ වැඩවලට ඔහුගෙන් ලැබෙන්නේ මොන වගේ සහායක්ද?
උපරිමෙන්ම ලැබෙනවා. ඔහු මේ වන විට ප්‍රංශයේ ඉන්නේ. මට මගේ සංගීත වැඩවලට නිතර ලංකාවට එන්න වෙනවා. එයා ප්‍රංශයේ විශ්වවිද්‍යාල සංගීතය පිළිබඳ මහාචාර්යවරයෙක්. එයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.
ඔබ වෘත්තියට වැඩි ඉඩක් වෙන් කරන නිසා පුද්ගලික ජීවිතේ මගහැරිලා නැද්ද?
එහෙම නැහැ. මගේ අම්මගෙන් මම ඉගෙන ගත්තා කොහොමද වෘත්තීය ජීවිතයත් අනෙක් දේවලුත් එක්ක ජීවත් වෙන්නෙ කියලා. අද ගැහැනු ළමයි පවුල බලාගන්නත් ඕන, හම්බ කරන්නත් ඕන. ඒ දේවල් මාත් කළා. සමහර මිනිස්සු වෙනත් දේවල්වලට ආකර්ෂණය වෙද්දී ඒවා පාලනය කර ගන්න බැරි වෙනවා. ඒ නිසයි මම ඒ ජීවිතෙන් අයින් වෙන්න තීරණය කළේ. මම හරිම කැමැතියි හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න. ඒ නිසා මම වෘත්තියට මුල් තැන දීලා කටයුතු කරන කෙනෙක් නෙවෙයි.
උපුටා ගැනිම- රිවිර
COMMENTS