මේ සමග දැක්වෙන්නේ සුරබයා පොලිසිය විසින් නිකුත් කර තිබෙන එම මරාගෙන මැරෙන බෝම්බකාර පවුලේ ඡායාරූපයයි. ඔවුන් අතරින් මේ ඡායාරූපයේ මැද සිනාමුසු...

මේ සමග දැක්වෙන්නේ සුරබයා පොලිසිය විසින් නිකුත් කර තිබෙන එම මරාගෙන මැරෙන බෝම්බකාර පවුලේ ඡායාරූපයයි. ඔවුන් අතරින් මේ ඡායාරූපයේ මැද සිනාමුසු මුහුණින් සිටින 8 හැවිරිදි දියණිය පමණක් බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඉතිරි වී සිටියි.
පොලිසිය එක හෙළාම පවසන්නේ මෙය අයිසිස් භටයන්ගේ මෙහෙයවීමෙන් හෝ අණකිරීමෙන් සිදුකළ ප්‍රහාරයක් බවට ය. ජේඒඩී (JAD) නමින් හඳුන්වන, අයිසිස් සංවිධානය සමග සෘජු සබඳතා පවත්වන කලාපීය ත්‍රස්තවාදී සංවිධානය මෙය පිටුපස ඇති බවට විශ්වාස කෙරේ.
ඉන්දුනීසියාව ලෝකයේ වඩාත්ම ජනාධික මුස්ලිම් රාජ්‍යයයි. මිලියන 260 ක ජනතාවක් වෙසෙන මේ ඉන්දුනීසියානු කොදෙව්වේ ගතවූ වසර කිහිපය තුළ මූලධර්මවාදී අයිසිස් භටයන්ගේ සහ ජිහාඩි ප්රහාරකයන්ගේ ග්‍රහණය උත්සන්න වී තිබේ. නමුත් සුරබයා නුවරින් එවැනි ප්‍රහාර මෙතෙක් වාර්තා වූයේ ඉඳ හිට ය.
සුරබයා පොලිසිය විසින් නිකුත් කර ඇති වීඩියෝවේ පැහැදිලිව දැක්වෙන්නේ කුඩා දරුවන් ද සහිත පස් දෙනෙක් යතුරු පැදි දෙකකින් පොලිස් මූලස්ථානය අසල මුරපොළ වෙත පැමිණෙන ආකාරයයි. අනතුරුව එම ස්ථානයේ විශාල පිපිරීමක් හටගනියි. මෙම සිදුවීමෙන් කිසිවෙක් මරණයට පත් නොවූවද, පොලිස් භටයන් හා සාමාන්‍ය සිවිල් වැසියන් සය දෙනෙක් තුවාළ ලැබූහ.
නමුත් ජීවිතයේ එළිපත්තේ සිටින මේ නොදරුවන්ගේ මුහුණු දුටු විට ඔබට සිතෙන්නේ කුමක්ද? ඔවුන් දිවි දුන්නේ කිනම් යුක්තියක් උදෙසාද? හයක් හතරක් නොතේරෙන මේ නොදරුවන්ට ‘අයිසිස් පැටව්’ යැයි අපට ගර්හා කළ හැකිද?
දිවි බේරාගත් දියණිය යතුරුපැදියේ සිටියේ මව සහ පියා අතර ය. ඇය සිය මව සහ පියා මේ යන්නේ අවසන් ගමන බව දැන නොසිටින්නට ඇත. දස මසක් කුස හොවා තමන්ව වැදූ-හැදූ දෙමාපියන් දැන් මේ යන්නේ බඩේ බෝම්බ බැඳගෙන යැයි මේ නොදරුවන් තිදෙනා සිහිනෙන්වත් නොසිතන්නට ඇත.
එක්තරා ආකාරයකින් අනුවේදනීයැයි කිව හැකි මේ බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ඊයේ දිනයේ, එනම් ඉරිදා දිනයේ රට තුළ බෝම්බ අවදානමක් සලකුණු කර තිබියදී ය. එයට හේතුව වී තිබුණේ නැගෙනහිර ජාවා පළාතේ අගනුවර වන සුරබයා හි පල්ලි 3කට ඊයේ දිනය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වීමයි. පොලිසිය හෙළිකර ගත්තේ එම ප්‍රහාර 3 ම එල්ල කර තිබෙන්නේ එකම පවුලේ අය විසින් බවයි. එහිදී මව සහ දියණියන් දෙදෙනා එක් පල්ලියක් තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන විට පියා සහ පුතුන් දෙදෙනා තවත් පල්ලි දෙකකදී බෝම්බ පුපුරුවාගෙන තිබේ. පෙර කී දියණියන් දෙදෙනා වයස අවුරුදු 9 සහ 12 පසු වූ අය වූහ.
ඉන්දුනීසියාව මරාගෙන මැරෙන බෝම්බකාරියන් සඳහා ප්‍රසිද්ධ රටක් නොවේ. ඉන්දුනීසියානු කාන්තාවන් දැඩි ඉස්ලාමීය මූලධර්මයන් තුළ හැදී වැඩීම මෙයට හේතුවක් වන්නට ඇත. නමුත් ඉරිදා බෝම්බ සිද්ධිය විසින්, වසර ගණනාවකින් ඉන්දුනීසියාවෙන් වාර්තා වන පළමු මරාගෙන මැරෙන බෝම්බකාරිය ඉතිහාසයට එක් කරයි. පසුගිය වසරේ ඉන්දුනීසියානු ජනපති මැදුරට 28 හැවිරිදි මරාගෙන මැරෙන බෝම්බකාරියක් ඇතුල් වන්නට උත්සාහ කළ ද එම තැත ව්‍යාර්ථ වී ඇයව සිරගත කෙරිණි.
කෙසේ නමුත් මේ කතාව අයිසිස් මූලධර්මවාදයෙන් මොළ ශෝධනය නිසා අඹු දරුවන් සමග බඩේ බෝම්බ බැඳගෙන මරු කටට යන වැඩිහිටියන් ගැන නොවේ. ඒ සඳහා දරුවන් පාවිච්චි කිරීම නමැති නීච තත්වයට පත් වූ ත්‍රස්තවාදය ගැන ය. ත්‍රස්තවාදී කටයුතු හෝ සන්නද්ධ අරගල සඳහා දරුවන් යොදාගැනීම ඕනෑම නීතියක් යටතේ සපුරා තහනම් ය.
2002 වසරේදී සුන්දර සංචාරක පාරාදීසයක් වූ බාලි දූපත්වලට, 200කට අධික පිරිසක් මරණයට පත් කරමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දුනීසියාව අද දක්වා ද අරගල කරමින් සිටින්නේ අයිසිස් තර්ජනයෙන් මිදීමට ය. සිරියාවේ සිවිල් යුද්ධයෙන් අවතැන් වූවන් සහ ත්රස්තවාදීන්ට සම්බන්ධතා දක්වන සිරියානුවන් ද විශාල ප්‍රමාණයක් මේ වන විට ඉන්දුනීසියාව කරා සංක්‍රමණය වී සිටිති. මේ අතර, අද සහ ඊයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව ඉන්දුනීසියානු ජනපති ජොකෝ විඩෝඩෝ විසින් හඳුන්වා දෙන්නේ “නීච, අශික්ෂිත සහ අමානුෂික” ප්‍රහාර යනුවෙනි. ඉන්දුනීසියාව දැන් වසර කිහිපයක පටන් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට උත්සාහ කරමින් සිටියි. නමුත් අද දක්වා ද එය සාර්ථක වී නැත. ඇතැම්විට මේ සිද්ධි මාලාවත් සමග, ‘මරාගෙන මැරෙන පවුල්’වල ස්වරූපයෙන්, හයක් හතරක් නොතේරෙන නොදරුවන් බිලි දෙමින් ඉන්දුනීසියානු සමාජයේ ඔඩු දුවමින් තිබෙන අලුත්ම අයිසිස් ප්‍රවණතාවය, මේ සටනේ වෙනස්ම හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරනු ඇත.
- අමාලි ජයවීර
COMMENTS