විශේෂ කාර්ය බලකා කඳවුරේ අණ දෙන නිලධාරි පොලිස් පරීක්ෂක එන්.බී.එම්. ජීවක බණ්ඩාර මහතාට පෞද්ගලික ඔත්තුකරුවෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුව ත...
විශේෂ කාර්ය බලකා කඳවුරේ අණ දෙන නිලධාරි පොලිස් පරීක්ෂක එන්.බී.එම්. ජීවක බණ්ඩාර මහතාට පෞද්ගලික ඔත්තුකරුවෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුව තලාව පොලිස් වසමේ පහළ තලාව ඉදිගස්පොතාන රක්ෂිතයේ සිදු කළ වැටලීමේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් ඉදිගහපොතාන රක්ෂිතය වටලද්දී පුත්තලමේ සිට එහි පැමිණ සිටි සැකකරුවන් තිදෙනෙකු ගස් කපා බිඳ හෙලීමට භාවිත කළ යාන්ත්‍රික දම්වැල් කියතක් (චේන්ෂෝ) සහ කපා දැමූ හැලඹ, කීරියා, ගොඩකිරල ඇතුළු දැව කඳන් 35ක් අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට පත්වූ සැකකරුවන්ට අමතරව දැව ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් එහි සිට වැටලීම සිදුවූ අවස්ථාවේ පලා යන්නට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකාය සැකකරයි.
සැකකරුවන් විසින් අක්කර තිහක පමණ භූමි ප්‍රමාණයක තිබූ වසර සිය ගණනක් පැරණි කොහොඹ, පළු, බුරුත, හැලඹ, කීරියා, ගොඩකිරල ගස් සිය ගණනක් මුළුමනින්ම කපා දමා දැව රැගෙන ගොස් තිබෙන අයුරු දක්නට හැකිවූ අතර තලාව පොලිස් ස්ථානය සහ නොච්චියගම පොලිස් ස්ථානය සීමාවේ තිබෙන රජයේ රක්ෂිත වනාන්තරයක දැව කපා ප්‍රවාහනය කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම පුත්තලම පොලිස් වසමේ පදිංචි වයස අවුරුදු 33-35 හා 38 වියේ පසුවන්නන් වන අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අනුරාධපුර වන සංරක්ෂන දෙපාර්තුමේන්තුවට බාරදී ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතාගේ සෘජු නියෝග පරිදි ත්‍රීකුණාමලය කලාප අණදෙන නිලධාරි පොලිස් අධිකාරී රෝහණ කරුණාරත්න මහතාගේ උපදෙස් මත අනුරාධපුර උළුක්කුළම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එන්.බී.එම්. ජීවක බණ්ඩාර මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර
COMMENTS