දෙමළ ජාතික සන්ධානයේ බලපෑම් හා මහත් ආන්දෝලනාත්මක තීරණ කීපයක් ඉදිරිපත් වුවත් වවුනියාව නගර සභාවේ සභාපති ධූරය 16 දා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙ...
දෙමළ ජාතික සන්ධානයේ බලපෑම් හා මහත් ආන්දෝලනාත්මක තීරණ කීපයක් ඉදිරිපත් වුවත් වවුනියාව නගර සභාවේ සභාපති ධූරය 16 දා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වෙත හිමිවුණි.
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වෙනුවෙන් සභාපති ධූරයට රාසලිංගම් ගෞතමම් මහතාගේ නම ඉදිරි පත් වූ අවස්ථාවෙදී දෙමළ ජාතික සන්ධානයද එන්.සේනාධිරාජා මහතාගේ නම යෝජනා කරණු ලැබීය.
මේ අවස්ථාවේදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් වවුනියාව නගර සභාවට තේරීපත් වී සිටින සභිකයින් තුන්දෙනාද, එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් හතර දෙනාගෙන් තුන් දෙනෙකුගේ ද,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභිකයින් තුන්දෙනාද පොදු ජන පෙරමුණේ සභිකයා හා ඊ.පී.ඩී.පී.පක්ෂයේ සභිකයා එක් වී ඡන්ද 11 ක බලයක් පෙන්වීම නිසා වවුනියාව නගර සභාවේ බලයත් සභාපති ධුරයත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට හිමි විය.
බලය හිමි කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට සහය ලබ දීම නිසා එම පක්ෂයෙන් වවුනියාව නගර සභාවට තේරී පත් වී සිටි සුන්දරම් කුමාරස්වාමී මහතා උප සභාපති ධූරයට තේරී පත් වුණි.
උතුරු පළාත් සභාවේ ලේකම් පැට්‍රික් රන්ජන් මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව නගර සභා ශාලාවේදී ප්‍රථම රැස්වීම පැවැත්වූ අවස්ථාවේදී වවුනියාව නගර සභාවේ බලය දෙමළ ජාතික සන්ධානය වෙත ලබා ගැනීම සදහා දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද,උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්ද සහභාගී වී සිටියද දෙමළ ජාතික සන්ධානයට ලැබුණේ සභිකයින් 9 දෙනෙකුගේ ඡන්ද පමණි.
ඒ දෙමළ ජාතික සන්ධානයේ සභිකයින් 8 දෙනෙකුගේ හා එක්සත් ජාතික පක්ෂයේ එක් සභිකයෙකුගේ ඡන්ද අනුවය.
එක්සත් ජාතික පක්ෂයෙන් වවුනියාව නගර සභාවට තේරී පත් වී සිටි සභිකයින් හතර දෙනා තුන්දෙනෙකු හා එක් අයෙකු වශයෙන් පිල් දෙකකට බෙදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට තුන්දෙනෙකුද දෙමළ ජාතික සන්ධානයට එක් අයෙකුද වශයෙන් ඡන්දය ලබා දීම විශේෂ සිද්ධියක් වුණි.
ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණෙන් වවුනියාව නගර සභාවට තේරී පත් වී සිටි සභිකයා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
(දිනසේන රතුගමගේ)
COMMENTS