වසර ගණනාවක් තිස්සේ වනජීවී කලාපය හා වනජීවී ප්‍රේරක කලාපය අල්ලාගෙන අනවසරයෙන් වගා කිරීම් සම්බන්ධයෙන් දිගින් දිගටම මාධ්‍ය මගින් හෙලිදරවු ක...
වසර ගණනාවක් තිස්සේ වනජීවී කලාපය හා වනජීවී ප්‍රේරක කලාපය අල්ලාගෙන අනවසරයෙන් වගා කිරීම් සම්බන්ධයෙන් දිගින් දිගටම මාධ්‍ය මගින් හෙලිදරවු කිරීමෙන් පසු වනජීවී නිළධාරින් අදාළ අනවසර වගාකරුවන් සියලු දෙනාටම නඩු පැවරීම 2016 වසරේදී ආරම්භ කළේය. එහෙත් 2017 දී යළි එම වනජීවී ඉඩම් අනවසර වගාකරුවන් සඳහා ලබා දීමේ රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබූ බව හෙළිදරව් විය. එම පුවත කෙරෙහි අවධානය යොමු කරමින් අනවසර වගාකරුවන් සඳහා බී වාර්තා මගින් අධිකරණයට නඩු ගොණු කිරීම වෙනුවට නීති ප්‍රකාරව වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පණත මගින් නඩු පැවරීමෙන් පසු මෙසේ ඉකුත් සතියේ එම නඩු යළි විභාගයට ගැණුනු අවස්ථාවේ මෙම නියෝගය ලබා දී තිබේ.
පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලුශාකා කුමාරි ධර්ම කීර්ති මහත්මිය විසින් අනවසර වගාකරුවන් 30 කට මෙසේ බැහැර කරලීමේ නියෝගය නිකුත් කර තිබේ.
මේ පිළිබදව පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්.ඩී.එම්.ජේ. වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ සියලුම අනවසර වගාකරුවන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇති බවත් වනජීවී ඉඩම් ආරක්ෂා කර ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවූ බවත් ය.
මේ අතර අනවසර වගාකරුවන් බැහැර කරලීම පිළිබදව පොලොන්නරුව අඩවිය භාර අඩවි ආරක්ෂක පී.එම්.රත්නායක මහතාගෙන් විමසීමක් කළ විට මෙසේ පැවසීය.
"අනවසර වගාකරුවන් 219 කට එරෙහිව අපි නීතිමය ක්‍රියාමාර්ග ගත්තා. ඉකුත් සතියේ එහි නඩු 80ක් පමණ විභාගයට ගත්තා. එහිදී ගරු අධිකරණය විසින් 30 ක් වගා කටයුතුවලින් බැහැර කරලන්න නියෝග ලැබුණා. ඉදිරි දිනවල අනෙක් අයගේ නඩු විභාග වීමට නියමිතයි. මේ අනවසර වගාකරුවන් 210ක් විතර ඉවත් කිරීමට හැකිවෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ අය අවුරුදු 10ක් 15 ක් තිස්සේ නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් වනජීවී ප්‍රදේශ බලහත්කාරයෙන් අපහරණය කළා. අක්කර 1200ක් විතර මේ නිසා වනජීවියට අහිමිවෙලා තිබුණා. මේ වෙහෙරගොඩයායේ පමණක්. එය මුදා ගන්න අපට පුලුවන් වෙයි කියලා විශ්වාස කරනවා."
ප්‍රියන්ත බණ්ඩාර - පොලොන්නරුව
COMMENTS