පබ් එක කියන්නෙ ඉතාම රසාලිප්ත රසමුසු තැනක්. විවිධ තරාතිරමෙ විවිධ වයස්වල විවිධ ජාතිකයන් යන-එන තැනක්. ෆුට්බෝල් මැච් වගේම වර්ල්ඩ් පොලිටික්ස් ...
පබ් එක කියන්නෙ ඉතාම රසාලිප්ත රසමුසු තැනක්. විවිධ තරාතිරමෙ විවිධ වයස්වල විවිධ ජාතිකයන් යන-එන තැනක්. ෆුට්බෝල් මැච් වගේම වර්ල්ඩ් පොලිටික්ස් පබ් එකේ නිතරම කතා වෙනවා. ලංකාවේ කට්ටිය ආපුවහම ඒගොල්ලො කතා වෙන්නෙ ශ්‍රීලංකන් පොලිටික්ස් ගැන. බාර් මෑන් වැඩිපුරම ලියන්නෙ ලංකාවෙ කට්ටිය කතාවෙන ශ්‍රීලංකන් පොලිටික්ස් ගැන.
පහුගිය දවසක පබ් එක අරිනකොටම දැකලා පුරුදු කෙනෙක් පබ් එකට ගොඩවුනා. උඩුකය වැසෙන්න ඇඳන් හිටපු සීතල කබාය ඉවත් කරපුවාම ඔහු ඇඳන් හිටියෙ ඩෙනිමක් සහ ටී-ෂර්ට් එකක්. 'මහත්තයට මාව අඳුරන්න බැරිද ?' මූණ පුරා ඝනව වැටුණු රැවුලෙන් යුතු ඒ තැනැත්තා ඉතාම ප්‍රසන්න සිනහවකින් මුව සරසගෙන විමසා සිටියා.
'හද්දෙයියනේ, මේ අපේ හාමුදුරුවො නේද ?'
'ඔව් මම රාහුල හාමුදුරුවෝ. ඉස්සර මගේ නම තෝරදෙනියේ රාහුල. දැන් මම රාහුල තෝරදෙනිය.'
'දැන් මම මොකක් කියලද ඔබවහන්සේට කතා කරන්න ඕන ?'
'මට රාහුල කියන්න. ඇත්තටම මම සිවුරු ඇරියේ නිවන් අවබෝධ කරගැනීමට තියන තදබල අවශ්‍යතාවය නිසා. සිවුරෙ ඉඳලා කවදාකවත් ඒක කරන්න බෑ. නිවන් දකින්න නං බුද්ධාගමෙන් එළියට එන්න ඕන. එතකොට තමයි හැබෑවට බුදුන් වදාළ ධර්මය තේරුම් ගන්න හැකියාව ලැබෙන්නෙ.'
ඔය අතරතුරේ තමයි අපේ හිතවත් ඇන්ඩෘ බර්නාඩ් හෙළකුමාර දොස්තර මහත්තයත් එයාගෙ ඩ්‍රින්කිං පාට්නර් ගාල්ලෙ අමරෙ අයියත් පබ් එකට ආවෙ. දුටුවනම ඒ දෙන්නටම රාහුල තෝරදෙනියව අඳුරගන්න හැකිවුනේ නෑ. පස්සෙ බාර් මෑන් මේ අහවලා කියලා අඳුන්වල දෙද්දි දෙන්නගෙම මූණු පුළුටු උනා. මොකද දෙන්නම මරාගෙන මැරෙන සිංහල බෞද්ධයෝ.
'ඔව්වා වටින වැඩ නෙවෙයි. සිවුර දාගෙන එංගලන්තෙ ඇවිල්ලා පීආර් එක (Permenant Residency) අරගෙන සිවුරු අරින එක හරියට සිවුර දාගෙන කැම්පස් ඇවිල්ලා බැච් එකේ ගෑණු ළමයෙක් බැඳගෙන ගිහි උපාධිධාරියෙක් වෙන එක වගේ.'
'මම දන්න හාමුදුරු කෙනෙක් කටුනායකින් ඇමරිකාවට යන්න ගුවන්ගත උනේ පූජ්‍යපාද නමකින්. නමුත් ඇමරිකාවෙ JFK එයාපෝට් එකෙන් බැස්සෙ යුරෝපීය ඇඳුමින් සැරසිච්ච මහත්තයෙක්. හරියට තෝරදෙනියෙ රාහුල, රාහුල තෝරදෙනිය උනා වගේ' එහෙම කිව්වෙ අමරේ අයියා.
එදා මේ තුන්දෙනාටම සර්ව් කළේ ලඟදි පබ් එකේ සේවයට බැඳිච්ච ලංකාවෙ බානු නංගි. ඇයත් වෙනස්ම චරිතයක්. ඒ කියන්නෙ සමරිසි කාන්තාවක්. මේ හැම කෙනෙක්ම ලාංකික සමාජයට පිටස්තරයො. බානු නංගි තවමත් විවාහ වෙලා නැති උනත් ප්‍රංශ ජාතික කාන්තාවක් සමග ලන්ඩනයේ එකට ජීවත් වෙනවා. ඔවුන් දෙදෙනාගේ පවුලේ තෙවෙනියා තමයි පුංචි බලු පැටියා. උගෙ නම 'මල්ටික්කා'. බානු නංගි ගැන ඕපදූපයක් හොයාගෙන ආපු අමරේ අයියා කිව්වෙ එයා සමරිසි උනේ වීසා දික් කරගන්න කියලා. ඒ කියන්නෙ එංගලන්තෙ ඉගෙන ගන්න ආපු බානු නංගි එක එක තැන්වල පැයට පවුම් 07 ගානෙ ළමයි බලාගන්න ගිහින් යුනිවසිටි යන්නැතුව බ්ලැක් ලිස්ට් වෙලා ඩිපෝට් කරන්න යද්දි ප්‍රංශෙට ගිහින් කසාද බැඳලා ලන්ඩන් ආවා කියලා. කොහොම උණත් කෙල්ල දැං කරදරයක් නැතුව හොඳින් ජීවත් වෙනවා, ලංකාවෙ අම්මලා තාත්තලාටත් සලකගෙන.
'ඈ රාහුල, දැං ඔහේ කියන්නෙ සිවුරෙ හිටියොත් නිවන් දකින්න බැහැ කියලමද ? එහෙමනං බුදු හාමුදුරුවො චීවරයක් දාගත්තෙ ඇයි ? උන්වහන්සේට තිබ්බ නේ චීවරය දාගන්නැතුව ගිහිගෙයි ඉඳන්ම බුද්ධත්වය ලබන්න' ජින් ඇන්ඩ් ටොනික් වීදුරුවක් තොලගාන ගමන් දොස්තර හෙළකුමාර රාහුල තෝරදෙනියගෙන් විමසා සිටියා.
'දොස්තර මහත්තයෝ, චීවරයෙන් සංකේතවත් වෙන්නෙ බුද්ධාගම. බුද්ධාගමෙන් වෙන්වීම සංකේතවත් වෙන්නෙ සිවුරු ඇරීම. ඒක නිවන් දැකීමට උපකාරයක් මිස බාධාවක් නෙවෙයි. මේ සංඝ සංස්ථාව ඇතුළෙ එහෙම පිටින්ම තියෙන්නෙ ව්‍යාපාරයක්. මං හැමදාම කියනවා වගේ ඒක ඇතුළෙ හොඳටම අලෙවි කරන්නෙ නිවන කියන එක. පිං-පවු කියන ඒවා. දාන-සීල-භාවනා කියන ඒවා. මිනිස්සුන්ගෙ ශ්‍රද්ධාව, භක්තිය ගසාකෑම තමයි බුද්ධාගමේ මූලික හරය. ඉතිං සිවුරෙන් වෙන් වෙන්නැතුව මේ වැඩේ කරන්න බෑ'
රාහුල තෝරදෙනියත් බියර් වීදුරුවක් තොලගාමින් පිළිතුරු දුන්නා.
'ඒකියන්නෙ බුද්ධාගමේ ඉන්නකං නිවන් දකින්න බැරිද ?' එහෙම ඇහුවෙ අමරෙ අයියා.
'ඇත්තටම බෑ අමරෙ මහත්තයෝ. බුද්ධාගමෙන් කරන්නෙ මම කියන පුද්ගලයා තර කිරීම, මම කියන පුද්ගලයාට සෙත් පැතීම, මම කියන පුද්ගලයා අනතුරු උවදුරුවලින් ආරක්ෂා කිරීම. පිරිත් නූල් හොන්ඩර ගණං මම කියන පුද්ගලයගෙ අතේ ගැටගහලා,සෙත් පිරිත් සජ්ඣායනා කරලා බුදුන් වදාළ ධර්මය විකෘති කිරීම. බුදු හාමුදුරුවො දේශනා කොට වදාළේ සක්කාය දිට්ඨිය එහෙම නැත්තං මම කියලා කෙනෙක් නෑ කියලා ඔප්පු කිරීම. ඊළඟට සීලබ්බත පරාමාස, ඒ කියන්නෙ මම කියන කෙනා ආරක්ෂා වෙන්න දෙවියන්ට, යක්ෂයන්ට, ගස්-ගල්වලට බාරහාර වීම, වන්දනාමාන කිරීම නැවැත්වීම. ඊළඟට විචිකිච්ඡා, සැකය දුරු කිරීම. ඔය තුන හරියට අවබෝධ කරගත්ත නං ඕන කෙනෙකුට සෝවාන් වෙන්න පුලුවන්, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිස්සු කෙලින්න ඕන නෑ. '
රාහුල තෝරදෙනියගේ කතාවෙන් දොස්තර හෙලකුමාර ඉද්ද ගැහුවා වගේ උනා.
'ඈ... රාහුල, දැං ඔහේ කියන්නෙ දාන-සීල-භාවනා කරලා එකතු කර ගන්න පිං කන්දරාව සසරින් එතෙර වෙලා නිවන් දැකීමට හේතුපාදක වෙන්නැහැයි කියලද ? දැං මට අවුරුදු 72 ක්. මං මේ වෙනකොට මගේ පුද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ 200 කට වැඩිය ලංකාවෙ වෙහෙර විහාර අනාථ නිවාස දාන-මානවලට වැය කරලා තියනවා. ඉතිං මං කරලා තියන්නෙ ගඟට ඉනි කපනවා වගේ වැඩක් නේ. මේක යකාගෙ කතාවක් නෙ. දැං මේකෙන් ඇතිවන ආනිසංසයක් ඇත්තෙම නැද්ද ?'
'නෑ... දොස්තර මහත්තයෝ, දුප්පත් මිනිස්සුන්ට, අහිංසකයන්ට, අසරණයන්ට ඔබතුමා දන් දෙන එක කවදාකවත් නවත්තන්න එපා. ඒක ඉතා හොඳ වැඩක්. එංගලන්තෙ දොස්තර කෙනෙක් විදියට ඔබතුමා ධාර්මිකව උපයන ආදායමෙන් යම්කිසි කොටසක් තමන් උපන් රටේ ජනතාවගෙ ඕනෑඑපාකම්වලට දෙන එක ඉතා හොඳ දෙයක්. නමුත් පිං බලාපොරොත්තුව ඒක කරන්න එපා, යහපත් ලෝකයක් වෙනුවෙන් ඒ දේ කරන්න.' රාහුල පිළිවදන් දුන්නා.
'ලෝකෙන් පිං-පව් කියන එක නැති උනොත් අමුම අමු තිරිසන් සමාජයක් නේද බිහිවෙන්නෙ ? පවට තියන බය නිසා නේද මිනිස්සු සංවරව හැසිරෙන්නෙ ? බුදුන්, දෙවියන් නැති උනොත් මුලු ලෝකමෙ එහෙම පිටින්ම අපායක් වෙයි.' දොස්තර හෙළකුමාර ප්‍රති තර්කයක් ඉදිරිපත් කළා.
'මෙහෙම හිතන්නකො දොස්තර මහත්තයෝ, බුදුන් කවදාකවත් කිව්වෙ නෑ මට වැඳපල්ලා කියලා. අපි තමයි හදාගත්තෙ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. බුදුදහම අදේවවාදී දර්ශනයක්. ඒකියන්නෙ දෙවියෙක්, මැවුම්කරුවෙක් ඒකෙ නෑ. බුදුදහමට හින්දු ආගමයි, ජෛන ආගමයි පැටලීම නිසා තමයි මේ පිං-පව් එකතු වෙලා බුද්ධාගම බිහි වුණේ. හින්දු ආගම වගේම බුද්ධාගමෙන් කරන්නෙත් කුසල් සොයා යෑම, ඒකියන්නෙ කිං කුසල ගවේසි. නමුත් බුදුදහමේ කියන්නෙ සත්‍ය සොයා යෑම හෙවත් කිං සච්ච ගවේසි. බුදුදහමේ කර්මඵලවාදයක් ගැන කියවෙන්නෑ. ඒකෙ කියවෙන්නෙ හේතුඵලවාදයක් ගැන විතරයි. මමත් අවුරුදු 20 ක් විතර සිවුරක් දාගෙන කරේ ගිරවෙක් වගේ පුරාණ අටුවාචාරීන්ගේ බොරු දායක-දායිකාවන්ට කියලා දුන්න එක. දැං මිනිස්සු අපිට ඉස්සරහින් ඉන්නවා. දැං මේ බොරුව නවත්තන්න කාලෙ හරි. ඒක නිසයි සිවුරු ඇරියේ.'
'දැං ඔහේ අඩුගානෙ පන්සිල් පද පහවත් ආරක්ෂා කරන්නැද්ද ?'
'නෑ මම සීල ව්‍රතවලින් සම්පූර්ණ මිදිලා තියෙන්නෙ. බුදු හාමුදුරුවො පන්සිල් පද පහක් ගැන දේශනා කළේ නෑ. ඕවා බුද්ධාගමේ කොටස්, බුදුදහමේ ඒවා නෑ. බුදුන් වහන්සේ කිව්වේ පුඤ්ඤ පාප පහීනස්ස, ඒ කියන්නෙ පිං කරන්නත් එපා පව් කරන්නත් එපා කියලා. '
බාර් මෑන්ට බුදුදහම ගැන, බුද්ධාගම ගැන එච්චරම අවබෝධයක් නෑ. ඒගැන එච්චර කියවලත් නෑ. නමුත් හාමුදුරුවරු කරන මගෝඩි වැඩ නිසා පංසල් යාම නම් බාර් මෑන් නවත්තලා ගොඩක් කල්. බුදු පිළිමයක් ඉස්සරහට ගිහිල්ලා ගාථාවක් කියලා අනේ මට පිහිටක් වෙන්න කියන්න තරම් බාර් මෑන් බොළඳ නෑ. නමුත් ඒක අපේ සංස්කෘතියේ අංගයක් විදියට තබාගැනීම බාර් මෑන්ට ගැටලුවකුත් නෙවෙයි. 1972 ජනරජ ව්‍යවස්ථාවෙ (ජනාධිපති නීතිඥ කොල්වින් ආර්. ද සිල්වා මහතා සකස් කළ) බුද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම 1956 සිංහල භාෂා පනත සම්මත කිරීමටත් වඩා දරුණු ගනයේ වරදක් විදියටයි බාර් මෑන් දකින්නෙ. රාජ්‍යය අනාගමික වෙන තරමට තමයි මිනිස්සු බුද්ධිමත් වෙන්නෙ. රාජ්‍යය තුළ ඕනෑම කෙනෙකුට, අවශ්‍ය ඕනෑම ආගමක්, ලබ්ධියක් ඇදහීමට නිදහස සහ අවස්ථාව තිබිය යුතුයි. ඒකට රාජ්‍ය අනුග්‍රහයක් අවශ්‍ය වියයුතු නෑ. රාහුල තෝරදෙනිය කියන දේවල් තුළ වසර දෙදහසක් විතර යටපත් වෙලා තිබුණු පිරිසිදු බුදුදහම අන්තර්ගත වෙනවා කියලා බාර් මෑන්ට හිතෙනවා.
'ලංකාවෙ දැන් තියෙන්නෙ බුදුන් වදාළ ධර්මය නෙවෙයි, සඟුන් වදාළ ධර්මය. තම තමන්ගෙ ඕනෑ එපාකම්වලට බුදුන් වදාළ ධර්මය විකෘති කරලා තමයි ඒක හදලා තියෙන්නෙ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටත් වඩා ඉහළින් තමයි ත්‍රෛනිකායික මහා නාහිමිවරු ඉන්නෙ. ජනාධිපතිලා, අගමැතිලා, කැබිනට් ඇමතිවරු පෝලිමේ යනවා ඒ අයව හම්බවෙන්න. මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන දේශපාලනඥයෝ.'
'ඔව් ඒක හැබෑව ලඟදි කෘෂිකර්ම අමාත්‍යංශයේ කැබිනට් පත්‍රිකාවකින්ම තමයි මැයි 19 වෙනිදට රුවන්වැලි මහා සෑයේ චීවර ලක්ෂයක් පූජා කිරීමේ පිංකමට මුදල් ප්‍රතිපාදන අනුමත කළේ. පෝරටික කලට වෙලාවට ගොවියට දෙන්න බැරි කෘෂිකර්ම අමාත්‍යංශය ගොවියො ණය ගෙවාගන්න බැරිව මැහි තෙල් බීලා සියදිවි හානි කර ගනිද්දි ඒවා නොදැක්කා වගේ ස්ථූපයක් ඉදිරියේ සිවුරු ලක්ෂයක් පූජා කරනවා රටට සහ ගොවි ජනතාවට සෙත් පතා. මේවා මහා පිංකම් නෙවෙයි, මහා ගොංකම්' එහෙම කිව්වෙ බාර් මෑන්.
බාර් මෑන්ගෙ කතාව රාහුල තෝරදෙනිය හිසසලා අනුමත කරද්දි දොස්තර හෙළකුමාරත් ගාල්ලෙ අමරෙ අයියත් නිහඬවතින් ඉන්නවා දැක්ක බානු නංගි ඔවුන් දෙන්නව ඇහෙන් පෙන්නලා ඉඟිමැරුවා. බානු නංගිටත් ඕනම දෙයක් ටස් ගාලා මීටර් වෙනවා. අපිටම ගැලපෙන එකියක්.
'මං හිතන්නෙ අයියෙ උසස් අධ්‍යාපන අමාත්‍යංශයත් මහාමාර්ග අමාත්‍යංශයත් ඒකාබද්ද කරා වගේ කෘෂිකර්ම අමාත්‍යංශයත් බුද්ධ ශාසන අමාත්‍යංශයත් ඒකාබද්ධ කරා නං වැඩේ හරි.' එහෙම කිව්වෙ බානු.
'උසස් අධ්‍යාපනය හදාරන හැමෝම උද්ඝෝෂණ කරන්න, පිකට් කරන්න හැමවෙලාවෙම ඉන්නෙ මහ පාරෙ නිසා ඒ අමාත්‍යංශ දෙක ඒකාබද්ධ කරා. ඒවගේ ගොවීන්ගෙ ණය, පෝර, වගාපාලු ගැන හිතන්නැතුව කෘෂිකර්ම අමාත්‍යංශෙට බුද්ධ ශාසන අමාත්‍යංශය ඒකාබද්ධ කරා නං ගොවියො දිවි නහගන්න කලින් නිවන් දක්කන්න පුලුවන්. මේතාක් කල් අපේ හාමුදුරුවරු කරේ ගොවියො හරක් දක්කනවා වගේ අපි හැමකෙනාවම නිවන් දක්කපු එක නේ.' බානුගේ කතාව රාහුල තෝරදෙනියගේ කතාවට නව මානයක් සැපයුවා.
වෙසක් දවසේ මෙව්වා ලියලා පාඨක තමුන්නාන්සෙලාගේ ශ්‍රද්ධාසම්පන්න බැති සිත කිළුටු කරා නං අපිට සමාවෙන්ඩ ඕනෙ. ඒත් අපිට බැන බැන හරි මේ ලියපු දේවල් ගැන නැවත නැවතත් හිතලා බලන්නෙයි කියලා වසර 2018 කට පස්සෙ හරි මේ විදියට ඉල්ලා හිටිනවා.
ඒවගත් මෙසේමැයි.
ලන්ඩන් පබ් කතා බහ අන්තර්ජාලයට වාර්තා කළේ
බාර් මෑන් වන මම විසිනි.
පහත විද්‍යුත් තැපෑල ඔස්සේ අප හා එක්වන්න
barman@london-pub.net
COMMENTS