මාර්තු 04 වැනි දා සිට ඊයේ (08) උදෑසන දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලින් දෙදෙනෙක් මියගිය බවත් 11 දෙනෙක් තුවාල ලැබූ බව...
මාර්තු 04 වැනි දා සිට ඊයේ (08) උදෑසන දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලින් දෙදෙනෙක් මියගිය බවත් 11 දෙනෙක් තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඊයේ වන විට 71 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණ.
මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය, මැණික්හින්න, දිගන සහ අකුරණ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතිවූ සිදුවීම් සම්බන්ධ වාර්තාව පොලිසිය විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලදි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සහ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු ප්‍රකාශයට පත් කළේය.
මාර්තු 05 වැනිදා රාත්‍රී පල්ලේකැලේ පොලිස් වසමේ වෙළෙඳසලක් හා නිවසක් ගිනි තබා ඇතැයි ද එම නිවස තුල තිබී 26 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් සොයා ගත්තේයැයි ද, දුම ආඝ්‍රාණය වීමෙන් ඔහු මිය ගිය බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වීයැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පූජාපිටිය පොලිස් වසමේ මුල්ලේගම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් කිරීමට යෑමේදී අත්අබෝම්බයක් පිපිරී පුද්ගලයකු මිය ගොස් ඇතැයි ද, අත්බෝම්බයේ ආරක්ෂිත ඇණය මිය ගිය පුද්ගලයා සිටි ස්ථානයේ තිබී සොයා ගත්තේයැයිද ඔහු අවුරුදු 28ක පුද්ගලයකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එම අවස්ථාවේ තුවාල ලැබූ 11ක් රෝහල් ගත කරනු ලැබ සිටිති.
මාර්තු 04 වැනිදා රාත්‍රියේ සිට ඊයේ උදෑසන 6.00 දක්වා කාලයේ මහනුවර පොලිස් කොට්ඨාසයේ නිවාස හා වෙළෙඳසල්වලට අලාභ හානි කිරීමේ සිද්ධි 45ක් වාර්තා වූ බවත්, පූජනීය ස්ථානවලට අලාභ හානි කිරීමේ සිද්ධි 04 වාර්තා වූ බවත්, වාහනවලට අලාභහානි කිරීමේ සිද්ධි 11ක් වාර්තා වූ බවත් පොලිසිය කියයි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට 71 එක් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. ඒ අතර ඇඳිරිනීතිය කඩ කළ හතර දෙනෙක් ද සිටිති.
COMMENTS