බස් රථය තුළ සිටි මඟීන් 30 දෙනාගෙන් හමුදා සෙබළු හත්දෙනෙක්, ගුවන් හමුදා සෙබළුන් පස්දෙනෙක් සහ සිවිල් වැසියන් හත්දෙනෙක් ලෙස 19 දෙනෙක් තුවාල ල...
බස් රථය තුළ සිටි මඟීන් 30 දෙනාගෙන් හමුදා සෙබළු හත්දෙනෙක්, ගුවන් හමුදා සෙබළුන් පස්දෙනෙක් සහ සිවිල් වැසියන් හත්දෙනෙක් ලෙස 19 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරිණි. යම් ආකාරයකින් මෙම සිදුවීමද තවත් එක හුදෙකලා සිදුවීමක් විය හැකිය. නැතිනම් ත්‍රස්ත ක්‍රියාවක් විය හැකිය. මේ වනවිට එම බෝම්බ පිපිරීම ගැන සොයා බැලීමට යුද හමුදාපති මහේෂ් සේනානායක පස් දෙනකුගෙන් යුතු කමිටුවක් පත් කර තිබේ. එහෙත් එහි විමර්ශන කටයුතු තවමත් අවසන්ව නැති හෙයින් පූර්ව නිගමනයක් අපට ඒ සම්බන්ධයෙන් ලබා දිය නොහැකිය.
එම පිපිරීම සතියකට වැඩි කාලයක් ගතව ගියද යළි යළිත් මතුව එන ජුගුත්සාජනක කාරණා දෙකක් තිබේ. ඒ එකී සිදුවීමේදී අමු අමුවේම හෙළි වූ ලාංකේය මාධ්‍ය භාවිතයේ සහ දේශපාලන භාවිතයේ නිරුවතයි.
ලංකාවේ ජාතික යයි කියාගන්නා බොහෝ මාධ්‍ය ආයතන දියතලාව සිදුවීම වාර්තා කිරීමේදී එක් කරුණක් සුවිශේෂී කොට දැක්වීය. එනම් යාපනය සිට බණ්ඩාරවෙල දක්වා පැමිණි මගීන් බණ්ඩාරවෙලදී නැගී බස් රථයක් පුපුරා ගිය බවයි. එකී මාධ්‍ය වාර්තා කිරීම හරහා ඔවුන් යළි ගම්‍ය කරන්නට උත්සහ කරන්නේ කුමක්ද? ඒ යළි ත්‍රස්තවාදය හිස ඔසවා ඇති බවයි. එහෙත් කිසියම් ආකාරයක බෝම්බයක් පුපුරා යාම හෝ ඊට යාපනය සම්බන්ධ වීම යන කාරණය හුවා දක්වමින් මේ යළි හිස ඔසවමින් තිබෙන්නේ ත්‍රස්තවාදයද යන්න ප්‍රශ්නාර්ථයක් කොට වාර්තා කිරීම මෙරට පත්තරවල, ටීවීවල ප්‍රවෘත්ති විශ්වාස කරන ජනතාවට කරන්නේ අසාධාරණයකි.
මන්ද බොහෝවිට රටක ජනමතය හැඩගැස්වීමේදී ජනමාධ්‍යයට සුවිශේෂී කාර්යභාරයක් තිබෙන නිසාය. රටක සාමාන්‍ය පුරවැසියාගේ මතය බොහෝ විට සකස් වන්නේ මාධ්‍ය විසින් ජනගත කරන සංදේශ අනුවය. දියතලාව බස් රථයක බෝම්යක් පිපිරීමේ සිදුවීම මීට වඩා අවබෝධයකින් යුතුව වාර්තා කිරීමට මාධ්‍යයට වගකීමක් තිබුණා යැයි අප කියන්නේ ඒ නිසාය.
අනෙක් කාරණය වන්නේ මෙම සිදුවීම වාර්තා කිරීමේදී බොහෝ මාධ්‍යවේදීන් ප්‍රවෘත්තියක් යනු කුමක්ද යන අවබෝධ කර නොගැනීමයි. ප්‍රවෘත්තියක් ලිවීමේදී මාධ්‍යවේදියා තමා කරන්නේ රැකියාවක් මෙන්ම සමාජ සේවයක් බව තේරුම් ගැනීම අවශ්‍ය වේ. එහිදී මූලික අරමුණ විය යුත්තේ තමාද ඇතුළුව අන් සියලු දෙනා ජීවත් වන මේ සමාජය වඩා යහපත් තැනක් බවට පත් කිරීමයි. තමන්ගේ බඩ ගොස්තරය ගැන සිතා වුව මේ දේ සිදු කළ හැකි මුත් ඒ හොඳ මාධ්‍යවේදියකුගේ ලක්ෂණයක් නොවේ.
ප්‍රවෘත්තියක ගුණාත්මකභාවය කෙරෙහි ප්‍රධාන වශයෙන් කරුණු 4ක් බලපානු ලැබේ. එනම් විෂය අනුගත වීම( objectivity), නිවැරදි භාවය (accuracy), තුලනය (balance) සහ සාධාරණ බව (fairness) යන කරුණු 04යි. තමා සතුව ඇති තොරතුරු ප්‍රවෘත්ති බවට පත් වීමේ පදනම තීරණය වීම කෙරෙහි තමා දරන දේශපාලන හෝ වෙනත් ආකල්ප තමා සේවය කරන මාධ්‍ය ආයතනයේ දේශපාලන හා අනෙක් සමාජ අරමුණු ආදිය බල පවත්වන අතර ඒ අනුව අදාළ සිදුවීමෙහි ප්‍රවෘත්තිමය කරුණ ඉස්මතු වීම වෙනස් ආකාරයෙන් ගැනීම විය හැකිය.
එහෙත් දියතලාව බස් පිපිරීම් සිදුවීමේදී මාධ්‍ය වාර්තා තුළ මෙම කරුණු ඇතුළත් වූවාද යන්න ප්‍රශ්නයකි. එහි උලුප්පුවා දැක්වීමට උත්සහ කර තිබුණේ බස් රථය තුළ බෝම්බයක් පුපුරා යාම සහ යාපනයේ සිට පැමිණි මගීන් එහි සිටියා යන්නයි. එහෙත් සිදුව ඇත්තේ බස් රථයේ පිටුපස දෙවැනි අසුනේ සිටි දෙදෙනෙක් කහගොල්ලේදී බසයෙන් බැසීමට නැගිටිද්දී එක් අයකුගේ පාර්සලයකින් වැටුණු ජීව අත්බෝම්බයක් (ග්‍රෙනේඩ්) පුපුරා යාමක් බව පසුව වාර්තා වුණි. සිය මාධ්‍ය ආයතනයේ රේටින්ග්ස් වැඩි කර ගැනීම සඳහා එම සිදුවීම ත්‍රස්ත ක්‍රියාවක් බව හැඟවීමට උත්සහ කළේ නම් එම මාධ්‍ය භාවිතය ද ප්‍රශ්න කළ යුතුය. මන්ද බෝම්බයක් පුපුරාගිය පමණින් එය ත්‍රස්ත කියාවක් නොවන නිසාය. යම් හෙයකින් එය එසේ සිදු වුණි නම් එයද සාමාන්‍ය ජනතාව බිය නොවන ආකාරයෙන් වාර්තා කිරීමද මාධ්‍යවේදියාගේ වගකීමකි.
අනෙක් කාරණය වන්නේ අපට හුරු පුරුදු මෙරට අන්තගාමී දේශපාලනය තුළ ක්‍රියාත්මක බලවේග මෙම සිදුවීමේදී හැසිරුණු ආකාරයයි. පසුගිය දිනෙක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසන්නේ මෙම අත්බෝම්බය පිපිරීමේ සිදුවීම සුළුපටු ලෙස සිතිය නොහැකි බවයි. ඔහු එහිදී මෙසේ සඳහන් කර තිබුණි.
"ආණ්ඩුව කියන්න උත්සහ දරන කතන්දරය මොකක් ද? යුද හමුදා භටයෙකුගේ ගමන් මල්ලේ සොරකම් කරගෙන ආ අත්බෝම්බයක් තිබුණා. එය ඔහු රැගෙන ආවේ පාතාලයට විකුණා දමන්නයි. ඔහු හරියටම බස් රථයේ තෙල් ටැංකිය ගාව වාඩි වී ආවා. බෝම්බය පිපිරුණා. තෙල් ටැංකිය ගිනිගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස බස්රථය ගිනිගත්තා. බෝම්බයක් සොරකම් කිරීම, පාතාලය සමග සබඳතා පැවැත්වීම. මහජනතාවට අනතුරක් සිදුකර මිනීමැරුමට තැත්කිරීම යනාදී චෝදනා මත මේ හමුදා භටයා කෝට් මාෂල් කරයි. සාමාන්‍ය අධිකරණයකින් දඬුවම් කරල සිරගත කරලා මේ ප්‍රශ්නය අවසන් කරයි. හැබැයි එහෙම කළොත් ත්‍රස්තවාදියා මේ මුළු රටම අල්ලාගන්නා තුරු අප දරන සිටින එකක් නම් නෑ."
අපි අතු ගා දැමූ කොටි සංවිධානය යළි නැගිටිලා නම් ඒ බව රටට ඇත්ත කියන්න. රටට ඇත්ත කිව්වොත් සමස්ත ජාතියටම සූදානම් වෙලා එදා වගේම අදත් හමුදාව පිටුපසින් ආණ්ඩුව පිටුපසින් එක මිටියට හිටගෙන මතුවෙන ත්‍රස්තවාදය දල්ලෙන් කඩන්න පුළුවන්. නමුත් පැස්බරා ඔළුව වැල්ලේ ගහ ගෙන මම ආරක්ෂිතයි කියලා හිතුවා වගේ හැසිරෙන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මොකද එවිට මෙය කැපිය නොහැකි රූස්ස ගසක් වීම නම් කාටවත් වළක්වන්න බෑ."
මේ එක උදාහරණයක් පමණි. එහෙත් මෙවන් අවස්ථාවකදී එවැනි සිදුවීමක් සරලව බැහැර කිරීම හෝ අතිශෝක්තියෙන් ගැනීම සිදු නොකළ යුතුය. එසේම මාධ්‍ය ප්‍රදර්ශන පවත්වමින් කොටි නැගිටිනවා, අපේ කාලේ මෙහෙම නැහැ, ආයේ යුද්ධයක් එන්න හදන්නේ, සූදානමින් ඉන්න යැයි ආකාරයේ මෝඩ චූන් ගැනීමද විහිළුවකි.
එසේනම් මෙම කණ්ඩායම් යළි ඉල්ලා සිටින්නේ යුද්ධයක්ද යන්න සැක මතුවේ. ඔවුන් අවසන් කළා යැයි පවසන යුද්ධය නැවත මතු වීම ගැන සිහිනයක් ඔවුන්ට තිබේ. වළ දැමූ අතීතය නැවත නැවත සිදුවීමේ අතීතකාමයෙන් පෙළීමේ ආසක්තභාවයට ඔවුන් ගොදුරු වී සිටී. උතුරේ නායකයන් වෛරී සහගත දේශපාලනයට සමු දෙන්නට උත්සහ කරද්දී දකුණේ නායකයන් සිංහල බෞද්ධ ජාතිකවාදය කරපින්නා ගනිමින් නටන නාඩගම අවසාන කළ යුතුව ඇත්තේ ත්‍රස්තවාදයේ ගිනිදැල් මෙන්ම ජාතිවාදයේ ගිනිදැල් ද භයානක නිසාය.
සඳමාලි ඒකනායක
COMMENTS