ඩොනමෝර් කොමිසන් සභාවේ නිර්දේශ පරිදි 1931 වර්ෂයේදී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමි විය. ඒ වනවිටත් අපේ රට බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් ය. ...
ඩොනමෝර් කොමිසන් සභාවේ නිර්දේශ පරිදි 1931 වර්ෂයේදී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමි විය. ඒ වනවිටත් අපේ රට බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් ය. ආසියාවේ මෙන්ම ඔස්ත්‍රේලියානු කලාපයේ ද නවසීලන්තය හැරුණු කොට පළමුව සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක කළ රට ශ්‍රී ලංකාව ය. ඡන්ද බලය හිමිවීම ශ්‍රීලාංකිකයන් හැටියට අමන්දානන්දයට හේතුවක් වූ අතර එහි පවත්නා පරමාධිපත්‍ය බලයේ තරම මේ දක්වා කෙතරම් දුරකට අවබෝධ කරගෙන සිටී ද යන්න වෙනම සිතා බැලිය යුතු කරුණකි.
දේශපාලනය යනු බල අරගලයකි. 'මැකියාවෙලී' 'කුමාරයා'හී ලියූ පරිදි එය බලය ලබාගැනීමට අරගල කිරීම, බලය ලබා ගැනීම, බලය පවත්වාගෙන යෑම වැනි බල ක්‍රියාන්විතයකි. ඒ උදෙසා නොයෙක් උපාය උපක්‍රම භාවිත කිරීම දේශපාලන සංවිධාන වල අනවරත ක්‍රියාදාමයකි. චිරාත් කාලයක් තිස්සේ එය දේශපාලනයේ අත්‍යන්ත ස්වභාවයකි. පෝස්ටර්, අත්පත්‍රිකා, දැන්වීම්, පෙළපාළි, රැලි දේශපාලනය සහ මැතිවරණ සමඟ සහ සම්බන්ධ කාරණා ය. කරුණු කාරණා කෙසේ වෙතත්, මැතිවරණ රැලි සහ සෙනග මෙරට සමාජයේ මුල් බැසගෙන ඇත්තේ 'ජනප්‍රිය' අර්ථකතනයකිනි. කිසියම් රැලියක් සඳහා පැමිණෙන සෙනඟ අතිමහත් උජාරුවකින් උලුප්පා දක්වමින් සමාජගත කිරීමට වෑයම් කරනුයේ 'මැතිවරණය ජයගන්නා හෝ පරාජය වන' නියැදිය ය. එහෙත්, ඒ වූකලී හුදු භ්‍රමයක් පමණක් බවට උදාහරණ ඕනෑතරම් ගත හැකිය.
77 මහ මැතිවරණය වන විට එක් අතකින් එක්සත් ජාතික පක්ෂයත් අනෙක් අතින් ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් දැවැන්ත ජන හමු පැවැත්වීය. ජේ ආර් ජයවර්ධන මහතාගේ රැළි වලට සේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රැලි වලටද උතුරන්නට සෙනග පැමිණියහ. කවුරුන් දිනාවිදැයි සිතාගත නොහැකි තරමට රැලිවල සෙනග ය. එහෙත් එජාපය මැතිවරණය ජයග්‍රහණය කළේ හයෙන් පහක බලයක් ලබා ගෙන ය. දෙවැනි ජනාධිපතිවරණය අවස්ථාවේ මෙරට සමාජයේ තිබුණේ රැස්වීමක් තබා දැන්වීමක්වත් ප්‍රදර්ශනය කළ නොහැකි වාතාවරණයකි. භීෂණයේ හස්තය රට පුරා ව්‍යප්තව පැවැතිණි. අපේක්ෂකයෝ ජනහමු ඇමතුවේ 'යකඩ කටට' පින්සිදු වන්නට ය. රැලිවලට මිනිස්සු පැමිණියේ නැත. එහෙත් රණසිංහ ප්‍රේමදාස මැතිවරණය දිනුවේ ය. සෙනග පෙන් වූ තරමට ඡන්ද දිනන්නට නොහැකි බවට ආසන්න ම උදාහරණය ගත හැක්කේ ඉකුත් ජනාධිපතිවරණයෙනි. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැලි වලට සෙනග රැස් කළේ දස දහස් ගණනින් ය. ඇතැම් රැලිවලට ලක්ෂයක පමණ සෙනගක් රැස්කොට තිබිණි. අනුරාධපුරයේ පැවැත්වීයේ එවැනි රැලියකි. එවක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ මංගල ජන රැලිය අනුරාධපුරයේ දී පැවැත් වූ අතර ඊට ලංගම බස්රථ 1,200ක ප්‍රමාණයකින් ජනතාව කැඳවා තිබුණි. ඒ අනුව ඒවා ජන රැලිවලට එහා ගිය බස් රැලි බවට පත්ව තිබුණි. අනුරාධපුර ඒ රැස්වීම් භූමියේදී ජනතාව තෙරපීමට ලක්වීම හමුවේ 6 දෙනකු පමණ ක්ලාන්තව සිහිසුන් වූහ. ඊට පෙර 2009 දකුණු පළාත් සභා මැතිවරණ සමයේදී මැදමුලන දන්සල් භූමියේදී බත් පැකට් ලබාගැනීමට ජනතාව පොරකෑමේදී පෑගීමෙන් එක් අයකු මියගියේය. එහෙත් ප්‍රතිපලය වූයේ අනුරාධපුරය මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමය.
තත්ත්වය එසේ වුවද බොහෝ විට තාමත් සමහරු 'සෙනඟ' පෙන්වා මැතිවරණ ප්‍රතිපල අනුමාන කිරීම සිදු කරයි. විශේෂයෙන් ම ස්වකීය දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාත්මක මාධ්‍ය මැතිවරණ රැලිවල සෙනග පෙන්වීමට දන්නා සියලු උපක්‍රම භාවිත කරති. ඇතැමුන් මේ රැලි වලට සහභාගී වන්නේ සිය කුඩා දරුවන් ද කරපින්නාගෙන ය. එයින් සිදුවන පීඩාව ගැන තැකීමක් නොකරන ඔවුහූ රැලි වලට එක්වෙති. බොහෝ රැලි සඳහා සෙනග ගෙන්වීමේ ක්‍රියාන්විතය 'කුඩා ප්‍රමාණයේ' යුද්ධයක් තරමේ කටයුත්තකි. බස් යොදවා සෙනග කැන්දවා, බත් පැකැට් එකක් පිරිනමා, බොන අයට ඒ අඩුවැඩිය ද සපයා 'සූර්' වූ පිරිසක් උන්මාදයෙන් මෙන් ගෙන්වීම සුලබ ව සිදුවන්නකි. සවිඥානක ව රැලියක සිටින්නන් සොයා ගත හැක්කේ දුලබ ව ය. ඒ අනුව බොහෝ දෙනෙකුට රැලිවලට සහභාගී වීම 'ආතල්' ගැනීමකට යෑමක් වැනි ය. හිට්ලර් ජර්මනියේ සිටි ආඥාදායකයෙකි. ඔහුගේ රැලි වලට සෙනග පැමිණියේ ලක්ෂ ගණනින් ය. එමතු නොව ඔහුට උන්මාදයෙන් මෙන් 'ආදරය' පෙන්වන කෘතිම 'රටාවක්' හිට්ලර්ගේ මාධ්‍ය විසින් ගොඩනංවා තිබිණි. එහෙත් තීරණාත්මක මොහොතක හිට්ලර්ගේ 'ආධිපත්‍ය' දියවී ගියේය. කෘතීම මවාපෑම් වල අවසානය එබදු ය. රැලි වලය සහභාගී වීම, දේශපාලනික කාරණා පිළිබඳ ව දැනුම්වත් වීම වරදක් හෝ ගැටලුවක් නොවේ. එහෙත්, රටක පාලන තන්ත්‍රය වෙනස් කරනුයේ හෝ බිහිකරනුයේ උන්මාදයෙන් රැලි වලට යන මිනිසුන්ට වඩා, කල්පනකාරී ව තීන්දු ගන්නා මිනිසුන් ය. 2015 සිදුවූයේ එවැන්නකි.
COMMENTS