අලුත්ගම දර්ගා නගරයේ දී පසුගිය රජය සමයේ මුස්ලිම් ජාතිකයින්ට පහර දීම කුමන්ත්‍රණයක් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ ද එය සි...
අලුත්ගම දර්ගා නගරයේ දී පසුගිය රජය සමයේ මුස්ලිම් ජාතිකයින්ට පහර දීම කුමන්ත්‍රණයක් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ ද එය සිදු කරන ලද්දේ රාජපක්ෂවරුන් විසින් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ පෙරේදා (28) බේරුවල මහගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“බේරුවල අලුත්ගම දර්ගා නගරයේ මුස්ලිම් ජාතිකයින්ට පසුගිය රජය සමයේ දී ප්‍රහාරයක් එල්ල වුනා. එහිදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා. එය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ මගේ කුමන්ත්‍රණයක් බවට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. නමුත් මම කියන්න කැමැතියි පළමුව ඥාණසාර හිමියන් මගින් මට මඩ ප්‍රහාර එල්ල කළා. ඉන් පසු ඥාණසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අලුත්ගම නගර මධ්‍යයේ රැස්වීමක් සහ පෙළපාලියක් පැවැත්වූවා. එහි ආරක්ෂාවට කොළඹ සිට හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ද පැමිණියා. මම අලුත්ගම පොලීසියේ එවකට සිටි ස්ථානාධිපතිවරයාගෙන් විමසුවා ඇයි මේ නීති විරෝධී රැස්වීම පවත්වන්න ඉඩ දුන්නේ කියලා. එවිට ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළා එය ඉහළින් පැමිණි නියෝගයක් බව. එදින පැවැත්වූයේ නීති විරෝධී රැස්වීමක්. පොලීසියෙන් අවසර ලබාගෙන තිබුනෙත් නැහැ. නියෝග ලබාදුන්නේ කවුද. ගෝඨාභය රාජපක්ෂගෙන් තමයි උපදෙස් ලැබී තිබුනේ. මම අලුත්ගම හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට දෝෂාරෝපන එල්ල කළා. තහනම් රැස්වීම් තියන්න අවසර ලබාදුන්නා කියලා. ඉන් පසු දර්ගා නගරය හරහා පෙළපාලියක් ද ගියා. මුස්ලිම් ජාතිකයින් වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශයක් හරහා පෙළපාලි යනකොට ගැටුමක් ඇති වුනා. එම ගැටුමෙන් ජිවිත දෙකක් අහිමි වුනා. විනාශ වූ නිවාස මම රජයේ මුදල් ගෙනවිත් ඉදිකර දුන්නා. නිවාස ඉදිකර දුන්නේ හිටපු ජනාධිපතිවරයා නොවෙයි. වත්මන් රජය යටතේ නිවාස අහිමි වූ පුද්ගලයින්ට වන්දි ලබාදීමට මම කටයුතු කළා. ඒ සදහා රුපියල් මිලියන 189 ක් වෙන් කර තිබෙනවා. නිවාස ඉදිකිරිම සදහා රුපියල් මිලියන 250 ක් වැය වුනා. නමුත් විනාශ වුන හිත් හදන්න අමාරුයි. මැරුණ තරුණයින්ගේ ජීවිත ගොඩගන්න බැහැ.”
“බේරුවල සිංහල, මුස්ලිම් ජනතාව සමගියෙන් ජීවත් වුනේ. මම බේරුවල ආසන සංවිධායක ධූරයට පත් වූ පසු සිංහල මුස්ලිම් ගැටුමක් ඇතිවන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. නමුත් මෙම ගැටුම ඇතිවන විට මම හිටියේ ඇමරිකාවේ. පුද්ගලික ප්‍රශ්න ජාතික ප්‍රශ්න ලෙස උත්සන්න කිරීම හරිම වැරදියි. මීට පෙර ගැටුම් ඇති වුනාම බේරුවල සිටි දේශපාලනඥයින් සිංහල අයගේ පැත්ත විතරයි ගත්තේ. මුස්ලිම් ජාතිකයින්ට විරුද්ධව කටයුතු කළා. රාජපක්ෂලා තමයි තිබුනු සාමයට ගිණි තැබුවේ. දැන් නිදහසට කරුණු කියන්න එනවා අපි කුමන්ත්‍රණය කළා කියලා. දර්ගා නගරය ගිණි තියලා තමයි රාජපක්ෂලා විනාශය ආරම්භ කර ගත්තේ. ජාතිවාදය වැපුරුවා. සෑම ජාතියකටම සමානව සැළකිය යුතුයි. නැතිනම් නායකයෙක් ලෙස ගොඩනැගෙන්න බැහැ. බේරුවල ප්‍රදේශයේ තිබූ ජාතික සමගිය සහ නිදහස හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ආරක්ෂක ලේකමිවරයාට තේරුනේ නැහැ. සුලුවෙන් හරි තේරුනේ බැසිල් රාජපක්ෂ මහතාට පමණයි. මහින්ද රාජපක්ෂ මහතා තමයි නූතනයේ බිහි වූ ජාතිවාදියා. එම ජාතිවාදියාත් එක්ක බේරුවල ඇතැම් අය ස්වාධීන කණ්ඩායමක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වෙනවා. හරිම ලැඡ්ජයි. එම ජාතිවාදීන් විසින් එම බිංකුණ්ඩන්ට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ද ලබාදී තිබුනා. ඔවුන් දේශපාලනය කරන්නේ ව්‍යාපාරයක් විදිහට. මම සිංහල ජාතිකයෙක් විදිහට ඔබලාගේ ගැටලු පිළිබදව සොයා බලනවා. මටත් වඩා උනන්දුවක් ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත් වන නායකයින්ට තිබිය යුතුයි. ලැඡ්ඡාවක් තිබෙනවා නම් දර්ගා නගරය ගිනි තැබූ පුද්ගලයින් සමග දේශපාලනය කරනවා ද, ඔවුන්ගේ ලැඡ්ජා නහර කැපිලා. මෙය පවාදීමක්. දැන් සමාජ ජාලා වෙබ් අඩවි හරහා ස්වාධීන කණ්ඩායමේ නායකයින් ප්‍රකාශ කරනවා බේරුවල නගර සභාව පුළුල් කරනවා කියලා. නගර සභාව මහනගර සභාවක් කරනවා ද, පුළුල් කරනවා ද කියලා තීරණය කරන්නේ ජනතාව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. මුස්ලිම් ජාතිකයින්ගේ අයිතිය ආරක්ෂා කරනවා. කිසිම ජාතියකට අගතියක් වන්න ඉඩ දෙන්නේ නැහැ. අපි හිටපු ජනාධිපතිවරයාගේ ජාතිවාදය ඉවර කරනවා. ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට ඉඩ ලබාදෙන්නේ නැහැ. යළි රජයක් ලබාගන්න ඉඩදෙන්නෙත් නැහැ. පෙබරවාරි 10 දින මැතිවරණයෙන් ජයගෙන බේරුවල ජාතික සමගියේ කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා. එමගින් සිංහල, මුස්ලිම් ජාතික සමගිය රටටම පෙන්වන්න පුලුවන්.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS