ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සිනමා අධ්‍යක්ෂවරයෙකු හා සිනමාවේදියෙකු වන ධර්මසේන පතිරාජ මහතා දිවි ගමනේ 74 වසරක් ආයු වළඳා ඊයේ මහනුවර පුද්ගලික රෝහල...
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සිනමා අධ්‍යක්ෂවරයෙකු හා සිනමාවේදියෙකු වන ධර්මසේන පතිරාජ මහතා දිවි ගමනේ 74 වසරක් ආයු වළඳා ඊයේ මහනුවර පුද්ගලික රෝහලකදී දිවි ගමනෙන් සමුගෙන ගියේය.
1969 වසරේ ‘සතුරෝ‘ චිත්‍රපටයෙන් සිනමා ගමන අරඹා සිංහල සිනමා වංශකතාවට 1974 වසරේ ‘අහස් ගව්ව‘ දායාද කරමින් ‘වම් ඉවුරේ සිනමා ලකුණ‘ ජනිත කළ කළ ධර්මසේන පතිරාජ මහතා, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, පොන්මනි, පාරදිගේ, සොල්දාදු උන්නැහෙ,වාසුලි, මතුයම් දවස, සක්කාරං සහ අවසාන වශයෙන් 2017 වසරේ ස්වරූප සිනමා නිර්මාණය දක්වාම, සිය දිවියේ අවසන් නිමේෂයෙන් ද බොහෝ ඔබ්බට සිය නිර්මාණ ප්‍රතිභාව පවත්වා ගත්හ.
ඇල්ල ළඟ වලව්ව, කඩුල්ල, නාඳුනන පුත්තු යනාදී මහානර්ඝ ටෙලි නිර්මාණ 11 ක් ද ධර්මසේන පතිරාජයෝ අපට තිළිණ කළහ.
මේ කෙටි සටහන අප නිමා කරන්නේ 1974 වසරේ අහස්ගව්ව චිත්‍රපටයට ආචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු රචනා කළ, සනත් නන්දසිරිගේ හඬින් ගැයෙන ‘‘එන්න මගේ පිය මිතුරෝ‘ ගීතයෙනි. නිසැක ලෙසම මෙය, මේ මොහොතේ, ඔහුගේ ආත්මයෙන් සුභාවිත වූ දෘෂ්‍ය කලා සම්ප්‍රදාය සමග සදාකාලිකව එක්වන්නට සහෘදයන් වෙත කරන ඉඟියකි.
ඉරා අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණලු උදයේ දිලිසෙන පිනි මත
පියමන් කරමින්
අහස් ගව්වටයි ලං වන්නේ
හිරුරැස් දැඩිවී හැකිලී ගුලිවී
සැඟවී යාදෝ පිනිකැට මිහිතුල
පා පෙරලී ගොස් රැඳේද අප හැම
ඉමක් නොපෙනෙනා අහස් ගඟේ
ඉර හඳ නැතිවී සුළඟ සුසුම් ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුලක් සුසුමක් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ!
- අමාලි ජයවීර
COMMENTS