තවදුරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ප්‍රසිද්ධියේ විවේචනය නොකිරීමට අද (17) රැස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟතාවකට ...
තවදුරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ප්‍රසිද්ධියේ විවේචනය නොකිරීමට අද (17) රැස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වෙයි. ඊයේ දින කැබිනට් රැස්වීමේ ඇති වූ නොසන්සුන්තාව පිළිබඳව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය දීර්ඝ ලෙස සාකච්ජා කර එම තීරණයට එළඹ ඇති බව සඳහන්. දිගින් දිගටම ආණ්ඩු පාර්ශවය ලෙස එජාපයේ කණ්ඩායම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම එකිනෙකා දැඩි ලෙස විවේචනය කර ගැනීම ආණ්ඩුව පවත්වාගෙන යාමේදී අනවශ්‍ය ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන බව අවධානයට ලක් වී තිබේ.
තවදුරටත් ජනාධිපතිවරයා විවේචනය නොකිරීමට තීරණය කළද අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර,සුසිල් ප්‍රේම්ජයන්ත් හා රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට එකසත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. පසුගිය කාලය පුර ඔවුන් ආණ්ඩුවේ පාර්ශවයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සිට දැඩි ලෙස විවේචනය කිරීම ඊට හේතු වී තිබේ. මෙහිදී විශේෂයෙන් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා එජාපයේ ප්‍රමුඛතම ඉලක්කය බව සඳහන්.
විශේෂයෙන් ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම හා එජාප කණ්ඩායම දැඩි වාදයක පැටලී සිටිනු පසුගිය කාලය පුරා දක්නට ලැබුණි. එය එළඹෙන පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ ප්‍රචාරණ වේදිකාවේදීද පෙනෙන්නට ඇති කාරණයකි.
ඊයේ දිනයේදී පැවති කැබිනට් රැස්වීමේදී ඇති වූ බහින් බස් වීමක් නිසා ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකා ද විසිකර දමා නැගිට ගොස් ඇත්තේ තවදුරටත් මේ ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකිද යන ප්‍රශ්නය මතුකරමිනි. කෙසේ වෙතත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා නැවත කැබිනට් රැස්වීමට සහභාගී වී තිබේ.
COMMENTS