කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරිමට පනවා තිබූ තහනම හා මත්පැන් අලෙවිසැල් විවෘතව තබන වේලාවල් සංශෝධනය කරනු ලැබ...
කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරිමට පනවා තිබූ තහනම හා මත්පැන් අලෙවිසැල් විවෘතව තබන වේලාවල් සංශෝධනය කරනු ලැබූ ගැසට් නිවේදන දෙක මුදල් අමාත්‍යශය මගින් ඉවත් කරගෙන තිබේ.
මේ අතර කාන්තාවන් මත්පැන් නිෂ්පාදන සහ අලෙවි සල්වල සේවය කිරීම සහ හා මත්පැන් මිලදී ගැනීමේ තහනම ඉවත් කරමින් නිකුත් කළ 2018 ගැසට් නිවේදනය නැවත අහෝසි කිරීමෙන් සිය මූලික අයිතීන් කඩ වන බවට ඊයේ(17) දින ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
පෙත්සම්කාරියන් 11දෙනෙකු විසින් ලේඛන ගත නීතිඥ තමිලා දිනුෂි පෙරේරා මගින් එකී පෙත්සම ගොනු කර ඇත.
එම පෙත්සම මගින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග සහ නිතිපතිවරයා ලෙස වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇත.
අදාළ පෙත්සම ගොනු කර ඇත්තේ, නිශාන්ති බණ්ඩාරනායක, එම්.ඩි.ජේ.බී. ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, චන්දිමා රවිනි ජිනදාස, දිපාංජලී අබේවර්ධන, සබ්රිනා යුසුෆලි, සාරණ්‍යා සේකරම්, රන්දුලා ද සිල්වා, මේනකා ගල්ගමුව, සුජාතා ගමගේ හා විශාකා පෙරේරා තිලකරත්න යන සමාජයේ විවිධ පිලිගත් වෘත්තීන් වල නිරත සහ ඉහල අධ්‍යාපන සුදුසුකම් දරන කාන්තාවන් පිරිසක් විසිනි.
කාන්තාවන්ට සම අයිතිය ඉල්ලයි
එම පෙත්සම්කාරියන් ප්‍රශ්න කර සිටින්නේ පුරුෂයින් සඳහා අදාල නොවන නීතියක් ස්ත්‍රීන්ට පමණක් අදාල වන්නේ කෙසේද යන්නයි. ස්ත්‍රියක් වීම නිසාම සහ එකී පදනම මත වෙනස්කමකට භාජනය නොවී සිටීමට තමන්ට අයිතියක් ඇති බව මෙහිදී පෙන්වා දී ඇත.
පෙත්සම්කාරියන් මෙහිදී තවදුරටත් එකී තහනම ක්‍රියාත්මක වන 1979 දෙසැම්බර් මස 31 දාතම දරන ගැසට් පත්‍රයේ (සුරා බදු අඥා පනත යටතේ නිකුත් කල) අඩංගු ප්‍රතිපාදන දක්වා ඇත. ඒ අනුව වයස අවුරුදු 18 ට අඩු පිරිමි පුද්ගලයින්ට මත්පැන් නිෂ්පාදන හෝ අලෙවි සල් වල සේවය කිරීම තහනම් කර ඇති අතර කාන්තාවන්ට වයස් සීමාවකින් තොරව එකී සේවය කිරීමේ අයිතිවාසිකම අහිමි කර ඇත. එමෙන්ම කාන්තාවකට මත්පැන් නිකුත් කිරීමද ඊට අනුව තහනම් කර ඇත. නමුත් සුරාබදු කොමසාරිස්වරයාගේ අභිමතය පරිදි නිත්‍යානුකුල බලපත්‍ර සහිත ස්ථානවල වයස 18 වැඩි කාන්තාවන්ට වේටර්වරියක (මත්පැන් සපයන්නිය) වශයෙන් සේවය කළ හැකි බවට අවසර ලබා දීම කල හැකි බවටද ප්‍රතිපාදන පවතී.
පෙත්සම්කාරියන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එකී ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් කොටසක් වන කාන්තාවන්ට පමණක් අතාර්කික, අසාධාරණ හා වෙනස් කොට සැලකීමේ මිණුම් දණ්ඩක් නියම කර ඇති බවයි.
ඒ අනුව ඔවුන් විසින් සිය පෙත්සමෙන් දක්වා ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති 12 (1 ), 12 (2), සහ 14(1) උ ව්‍යවස්ථාවන්හි ඇති ප්‍රතිපාදන තමන්ට එරෙහිව කඩ වී ඇති බවයි.
12(1) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නීතිය පසිඳලිම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුතු බවයි.
12(2) ව්‍යවස්ථාවේ සදහන් වන්නේ කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වු හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුතුය යන්නයි.
14(1) උ ව්‍යවස්ථාවෙහි සදහන් වන්නේ එකලාව හෝ අන් අය හා සමග යම් නීත්‍යානුකුල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළෙද ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත විමේ නිදහස සියලු පුරවැසියන්ට ඇති බවය.
ඒ අනුව පෙත්සම්කාරියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබ ඇත්තේ අදාල ගැසට් පත්‍රය අහෝසි කිරීමෙන් ඉහත දක්වා ඇති සිය මූලික අයිතීන් උල්ලංඝණය වී ඇති බවට නම් කරන ලෙසත්, තමන් විසින් නම් කර ඇති වගඋත්තරකරුවන් හෝ ඔවුන්ගේ බලය පිට ක්‍රියා කරන යම් අයෙක් විසින් 2018 ගැසට් පත්‍රය අහෝසි කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමෙන් තමන් විසින් දක්වා ඇති මූලික අයිතීන් කඩ වන බවට ප්‍රකාශයක් කරන ලෙසත්ය.
COMMENTS