රටේ පවතින වර්ෂාව, අධික සුළං හා කුණාටු තත්ත්වය පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි දියවන්නා ඔය ප්‍රදේශයේ දක්නට ලැබිණි. නමුත් එමඟින් පාර්ලිමේන්තු ...
රටේ පවතින වර්ෂාව, අධික සුළං හා කුණාටු තත්ත්වය පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි දියවන්නා ඔය ප්‍රදේශයේ දක්නට ලැබිණි. නමුත් එමඟින් පාර්ලිමේන්තු සංකීර්ණයට කිසිදු බලපෑමක් නොවූ අතර සුපුරුදු පරිදි ඊයේ (30දා) දින උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වූයේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.
අයහපත් කාලගුණ තත්ත්වයක් තිබුණද ඊයේ දින පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවැතිණි. එසේ වැඩිපුර පැමිණ සිටියේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ය. ඊට විශේෂ හේතුවක්ද තිබිණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට ගිය කාරණය අග්‍රාමාත්‍යවරයා විසින් මැතිසබයට පැහැදිලි කරන ලදී.
'කොමිසමේ සාක්ෂි විභාගයේදී මෙතෙක් අනාවරණය නොවූ කරුණු කිහිපයක් පිළිබඳව කොමිසම හමුවේ කරුණු දැක්වීමට සිදුවුණා. ඒ 2015 වසරේ අප ආණ්ඩුව භාරගන්නා විට රටේ තිබූ මූල්‍ය තත්ත්වයයි.'
'කරුණු 20ක් සම්බන්ධයෙන් කොමිසම මඟින් පැහැදිලි කිරීම් ඉල්ලා සිටියා. ඉන් පසුව තවත් කරුණු 28ක් සම්බන්ධව තොරතුරු විමසා සිටියා. මම ඒ සියල්ල සම්බන්ධව ලිඛිතව පිළිතුරු ලබාදුන්නා. මේ අතර මා දුන් පිළිතුරු කිහිපයක් ගැන වැඩිදුර කරුණු පැහැදිලි කරගැනීමට අවශ්‍ය බව කොමිසම දන්වා සිටියා. ඒ අනුව නොවැම්බර් මස 20 වැනිදා මම කොමිසම හමුවට ගොස් කරුණු පැහැදිලි කළා' යනුවෙන් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කරන ලද කරුණු ගැන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් දීර්ඝ ලෙස මැතිසබය දැනුවත් කරන ලදී.
ඊට අමතරව පසුගිය ආණ්ඩුවේ පාලකයන්ට අනතුරු ඇඟවීමක් සිදු කිරීමටද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අමතක කළේ නැත.
'දැනට ක්‍රියාත්මක වෙන බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අවසන් වීමෙන් අනතුරුව 2008-2014 කාලය තුළ සිදු කර ඇති වංචා පිළිබඳව සෙවීමට අප බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මෙම කාලය තුළ පාර්ලිමේන්තුවට නොදන්වා ලබාගත් ණය හා නිකුත් කළ බැඳුම්කර පිළිබඳව පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවේ අවධානය යොමු කරවීමට බලාපොරොත්තු වෙනවා' යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදී.
මේ සමඟම මැති ඇමැතිවරු ඇතුළු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මේසවලට තට්ටු කරමින් සතුට ප්‍රකාශ කරන්නට වූහ. ඔවුන් සමඟ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද මේසවලට තටිටු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාවට සිය ප්‍රශංසාව පළ කිරීම විශේෂත්වයකි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා වේගයෙන් තම මේසයට තට්ටු කරන ආකාරයක් දක්නට ලැබිණ.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාවට ඉතා හොඳින් සවන් යොමු කර සිටියද එම කතාවෙන් පසුව ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමද විශේෂත්වයකි.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් සමඟ කතා බස් කරමින් සිටියේය.
මැතිසබය තුළ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ මෙසේ කතා බස් කරමින් සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තාරක බාලසූරිය මහතාය.
චමින්ද විජේසිරි, හේෂා විතානගේ, සංදිත් සමරසිංහ යන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු මෙහි සිටියහ. කතාබස් කරමින් සිටි තාරක බාලසූරිය මන්ත්‍රිවරයා තම ජංගම දුරකතනය ගෙන එහි ෆේස්බුක් වෙත ගොස් යමක් පෙන්නුවේය.
දකුණු කොරියාවේ සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එරට පැවැති සංස්කෘතික ප්‍රසංගයකදී එරට කලාකරුවන් පිරිසක් සමඟ නර්තනයේ නිරතවන දර්ශනයක් තාරක බාලසූරිය මන්ත්‍රිවරයා විසින් පෙන්වන ලදී.
'ජනාධිපතිතුමා හොඳට නර්තනයේ යෙදෙනවා' යනුවෙන් ප්‍රකාශ කරමින් එහි සිටි ජනතා නියෝජිතයෝ මහත් උනන්දුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා නර්තනයේ යෙදෙන දර්ශනය නැරැඹූහ.
ජනාධිපතිවරයාගේ නර්තනය ඇතුළත් එම දර්ශනය මේ වන විට මැති ඇමැතිවරුන් අතරද බෙහෙවින් ජනප්‍රිය වී ඇත. වර්ෂා සහිත කාලගුණයක් පැවැති නිසා ඊයේ දියවන්නා ඔය ඇතුළු පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පැවැතියේ සීතල කාලගුණික තත්ත්වයකි.
මෙම සීතල මැතිසබයටද දැනුණු අතර මැතිසබය තුළ තවත් සීතල වැඩිවූයේ එහි පවතින ප්‍රබල වායුසමීකරණ යන්ත්‍රවලින් නිකුත් වන සිසිල් සුළං නිසාය.
මැතිසබය තුළ පැවැති සීතල ගතිය යම් ආකාරයකින් වෙනස් වූයේ බියර් ප්‍රශ්නයක් හේතුවෙනි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්නවල පළමු ප්‍රශ්නය 'බියර්' ප්‍රශ්නයක් බවට පත්කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා විසිනි.
ජනප්‍රිය පාසල් අතර පවත්නා වාර්ෂික මහා ක්‍රිකට් තරග සඳහා බියර් සමාගම් අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා මෙම ප්‍රශ්නය ඉදිරිපත් කර තිබිණි.
'ඇතැම් පාසල් ක්‍රිකට් තරගවලට අනුග්‍රහය දක්වන්නේ 'බියර් සමාගම්'. මේක ඉතාම භයානක තත්ත්වයක්. මේ ගැන වහාම සොයා බලන්න' බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා ඉල්ලීමක් කළේය.
'මේ ගැන සොයා බැලීමක් සිදු කරනවා' අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊට ප්‍රතිචාර දැක්වීය.
'දැන් යාපනයේ හෙරොයින් ටොෆිය තියෙනවා.
සමහර පාසල් පිරිමි දරුවන්ගේ පපුවේ, ගැහැනු ළමයින්ගේ කලවාවල ටැටූ කොටන කණ්ඩායම් ඉන්නවා. මෙම කණ්ඩායම් හරහාත් මත්ද්‍රව්‍ය පාසල් දරුවන් අතරට යෑමේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා' යනුවෙන්ද බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
'පාසල්වලට අෑතින් මෙවැනි ස්ථාන ගැන තොරතුරු වාර්තා වෙලා තියෙනවා. මේ ගැන නීතිය හා සාමය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සොයා බැලීම් සිදු කරනවා' යනුවෙන් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.
අතුරු ප්‍රශ්න කෙටි කරන ලෙසට කතානායක ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතාට දැනුම් දෙන ලදී.
'ගරු කතානායකතුමනි, සීතල දවස්නේ. පොඩ්ඩක් වෝම්අප් වෙන්න එපැයි' යනුවෙන් බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා කළ ප්‍රකාශයට කතානායක කරු ජයසූරිය මහතාටද සිනහ ගියේය.
මේ අතර මැති සබයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ ප්‍රදේශයේදී නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා වටකරගත්තේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසකි.
හෙක්ටර් අප්පුහාමි, එස්.එම්. මරික්කාර්, ජේ.සී. අලවතුවල අශෝක ප්‍රියන්ත, ඒ.ඒ. විජේතුංග, කාවින්ද ජයවර්ධන, නලින් බණ්ඩාර, ශාන්ත අබේසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මේ අවස්ථාවේදී සාගල රත්නායක අමාත්‍යවරයා වටකරගෙන සිටියහ.
පොලිසියට අදාළ කරුණු ගණනාවක් සහ මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීම් පිළිබඳව මෙහිදී කෙටි කතාබහක් සිදුවිය.
මේ අතර ඊයේ පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදු වූයේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා අතරය.
සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ඊයේ කාරක සභා අවස්ථාවේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට සහභාගි වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ලෙස විවේචනයට ලක් කළේය.
විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා ඊට ප්‍රතිචාර දැක්වීම නිසා මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති විය.
පො..... යා සහ පි...සා යන වචන මැතිසබය තුළ රැව්දුන් අතර මෙම බැන ගැනීම් විනාඩි කිහිපයක් තිස්සේම පැවැතුණි.
මැතිසබය තුළ මෙසේ බැන නොගන්නා ලෙසත් මෙසේ බැන ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගන්නා ලෙසත් එම අවස්ථාවේදී මුලසුනේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා විසින් ප්‍රකාශ කරන ලදී.
'ඡන්ද පොඩ්ඩක් අරගෙන ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ඇවිල්ලා මෙතැන අභූත චෝදනා එල්ල කරනවා' යනුවෙන් ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා චෝදනා එල්ල කළේය.
'හොරකම් කරලා මෙතැනට ඇවිල්ලා කෑගහනවා' යනුවෙන් ප්‍රතිචාර දැක්වූයේ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය.'
'අපි හොරකම් කරලා ආවේ නැහැ. ඇමෙරිකානු ඩොලර් මිටි ගණන් හම්බවුණේ කාගේ සේප්පුවේ තිබිලාද' යනුවෙන් විමසුවේ ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයාය.
'හොරකම් කරලා කෑගහන්න ලැජ්ජා නැද්ද?' යැයි විමසුවේ සරත් ෆොන්සේකා අමාත්‍යවරයාය.
'සමහරුන්ට බෙහෙත් වෙලාවට බොන්නේ නැති වුණාම පිස්සු හැදෙනවා' ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා ප්‍රතිචාර දැක්වීය.'
'පි... සා, පි... සා' යනුවෙන් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කෑගැසීය.
'මෙයා ෆොන්සේකා නෙවෙයි. පො.... යා, පො...යා' යනුවෙන් ගාමිණි ලොකුගේ මන්ත්‍රිවරයා කෑගැසුවේය. මීට අමතරව සතුන්ගේ නම් කියමින්ද දෙදෙනා බැනගත්හ.
ඉන් පසුව දෙදෙනා අතර තදබල ලෙස වචන හුවමාරුවක් සිදු වූ අතර ඇතැම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස මුලසුනේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා දැනුම් දුන්නේය. මේ අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ප්‍රහාරයක් එල්ල කළේය. ඒ කොළඹ නගරය අලංකාර කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ගිය වැඩපිළිවෙළ දැනට සිදුනොකෙරෙන බවත් කැළි කසළ කළමනාකරණය කිරීමටද ගෝඨාභය රාජපක්ෂ මහතා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවද උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කෙළේය.
මෙගා පොලිස් අමාත්‍යාංශයෙන් දැන් සිදුවන්නේ මෙගා ඩීල් බවටද ගම්මන්පිල මන්ත්‍රිවරයා චෝදනා නැඟීය.
'කැළි කසළ කඳු ගොඩගැහුවේ ගෝඨාභය රාජපක්ෂ, කොළඹ ඉඩම් විකුණුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ. මේ මන්ත්‍රිතුමා එක එක කොන්ත්‍රාත් භාරගෙන අපේ චරිත ඝාතන කරන්න එපා කියලා කියන්න කැමැතියි. කසළ කළමනාකරණය කරලා කොළඹ ලස්සන කළේ වත්මන් ආණ්ඩුවයි' යනුවෙන් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීය.
ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු වන සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක යන මහත්වරුන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එසේ දෙහි කපද්දී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තුති කිරීමද විශේෂත්වයකි.
කොළඹ නගරය ලස්සන කිරීම ගැන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මං කෘතඥතාව පළ කරනවා. ඒක හොඳ වැඩක්. එවැනි හොඳ වැඩකට දේශපාලන භේද අවශ්‍ය නැහැ. ඒ ආකාරයෙන් අපිත් කිසිදු භේදයකින් තොරව කොළඹ නගරය ලස්සන කරලා දියුණු කිරීමට කටයුතු කරනවා' යනුවෙන් විවාදයට එක්වූ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
COMMENTS