බැලූ බැල්මට එය පෙනෙන්නේ මැජික් ගමක් ලෙසිනි. සුරංගනා කතාවක එන අඟුටුමිටි පුරයක් ලෙසිනි. එසේත් නැතිනම් සැණකෙළි අසිරියෙන් පිරී ගිය අඟුටුමිටි ...
බැලූ බැල්මට එය පෙනෙන්නේ මැජික් ගමක් ලෙසිනි. සුරංගනා කතාවක එන අඟුටුමිටි පුරයක් ලෙසිනි. එසේත් නැතිනම් සැණකෙළි අසිරියෙන් පිරී ගිය අඟුටුමිටි පුරවරයක් මෙනි. නමුත් මේ සුරංගනා කතාවක් නොවේ. ජපානයේ නැගෙනහිර ෂිකූයා පෙදෙසේ පිහිටා තිබෙන විශ්‍රාම ගම්මානයකි.
තෝකියෝ අගනුවරින් සැතපුම් 115 ක් ඈත පිහිටා තිබෙන ජික්කා, ජපන් වචනාර්ථයෙන් ගත් විට ‘වැඩිහිටි නිවාසය’ යි. එය පුද්ගලික දේපළකි. පුද්ගලික ව්‍යාපාරයක් යැයි කියන්නට ද පුළුවන. එහි හිමිකරුවන් වන්නේ නොබුකෝ සූමා සහ සචිකෝ ෆුජිකෝවා යුවළයි. ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 60 ගණන්වල පසුවන ජපන් කාන්තාවන් ය.
ඔවුන් දෙදෙනා දශක දෙකහමාරක මිතුදමක හිමිකාරියන් ය. ඔවුන් සේවය කළේ ද එකම තැනකය. එනම් තෝකියෝවේ ජීවත් වන ආබාධිත පුද්ගලයන්ට දිවා ආහාරය සැපයීමේ රැකියාවක ය.
“වයසට ගියාම අපිව බලාගන්න කවුරුවත් නැති වෙයි කියල අපි දුක් වුණා.. දරුවන්ට කරදර කරන්න අපි දෙන්නම කැමති වුණේ නෑ” යැයි ඔවුහු කියති. “අපි දෙන්නම හිතන හැටි සමානයි. අපි දෙන්නම ඉස්සර ගොඩක් මහන්සි වෙලා වැඩ කෙරුව අය. අපි කල්පනා කළා වයසට ගියාම අපිව බලාගන්න මේ ලෝකෙ තියෙන හොඳම විදියක් ගැන..”
නොකුබෝගේ පුතා ඉසයෙි තෝකියෝ නුවර සේවය කරන ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ‘මල්ටි පර්පස්’ හෙවත් විවිධ කාර්යයන් සඳහා භාවිතා කළ හැකි, වෙනස් හැඩයකින් යුත් විශ්‍රාම නිවහනක් ඩිසයින් කිරීම ඔවුන් භාරදුන්නේ ඔහුට ය. සොබාදහමට ඉතා සමීප, වියපත් ජිවිතවලට අපහසුවක් නැති නිර්මාණයක් ඔහු කළේය. ඒ අනුව ජික්කාව, ඔවුන්ගේ සිහිනයක් සැබෑ වීමකි.
එම සිහිනයට පදනම දැමුණේ මෙයට වසර 15කට පමණ පෙර ය. ඒ කාලයේ තෝකියෝවට දුර බැහැර කුඩා දූපතක කොටසක් විකුණන්නට දමා තිබිණි. එම ෂිකුයා දූපත සොබා සෞන්දර්යයෙන් අනූන ය. නිදිගත් යමහලක් වන ෆූජියාමා හි සිරස එයට මනාව දිස් වෙයි. දූපත හාත්පස තේ වගාව ය. දේශගුණය සෞම්‍ය ලෙස උණුසුම් ය. ජලය සුපිරිසිදු ය. දූපත හාත්පස, නිතැතින්ම ඇති වූ එළවළු වගාවන් ය. එහි විසූ වැසියන් ආර්ථික සමෘද්ධිය සොයාගෙන තෝකියෝව වැනි නාගරික ප්‍රදේශ කරා ඇදී යන විට මේ දෙපළ කළේ තෝකියෝවේ සිට එහි පැමිණීමයි. ඉක්මනින්ම, මීටර 25 ක් දක්වා උසට වැඩෙන සෙල්කෝයා ගස් පෙළක් ඉතිරි කර ජික්කාව ඉදිකිරීම ඇරඹුණේය.
ජික්කාව ඉදි කිරීම ඇරඹුණේ 2014 වසරේදී ම ය. එහි වර්ගඵලය වර්ගමීටර 1900 කි. දේවස්ථානයක උස් බව සිහිගන්වන පියැසි නිර්මාණය විය. එයින් ස්වභාවික වාතාශ්‍රය සහ හිරුඑළිය නිර්බාධක ලෙස ඇතුළට ගලා ආවේය. හිරු එළිය සහ වාතාස්‍රය සමග නිතරම ගෙතුළට ගලා එන්නේ සිතේ සතුට බව ඔවුහු විශ්වාසය කළහ.
ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ තිස්පන්දහසක් එහි ඉදිකිරීම් සඳහා වැය විය. ගැහැනු දෙදෙන තමන් ඉතිරි කරගෙන තිබූ සන්තකය නොමසුරුව ඒ සඳහා වැය කළහ. එක් අවුරුද්දකින් වැඩ නිම විය.
එය ඉදිකෙරුණේ වයස්ගත වූවන්ගේ අවශ්‍යතා සලකා බලමිනි. වියපත් වූවන්ට පඩිපෙළ නැගීම බැසීම අසීරු සහ අවදානම් හෙයින් එය තනි තට්ටුවේ ගෘහ නිර්මාණයක් විය. සර්පිලාකාර නාන තටාකය පවා ඉදිකෙරුණේ රෝද පුටුවක කල් ගෙවන වියපත් අයෙකුට වුවත් අපහසුතාවයකින් තොරව ශරීරය දොවාගත හැකි වන ලෙස ය. කෑම කාමරය ඉදි කෙරුණේ අනගි පැල්පත් පහේ කේන්ද්‍රයේ ය. නූතන ආහාර පිසීමේ පහසුකම්වලින් එය සන්නද්ධ ය. ඒ නිසා තවදුරටත් වැඩිමහලු සහ ආබාධිත අය සඳහා දිවා ආහාරය පිසීමේ ජීවිකාවේ යෙදීමට ද ඔවුන්ට හැකියාව ලැබේ. නොබුකෝ කේක් සහ පාන් පුළුස්සන අතර මල් වවන්නීය. ෆුජිකෝ කෑම පිසීමේ යෙදී සිටින්නීය.
ජික්කාව තවමත් ජපානයේ වියපත් ප්‍රජාව වෙනුවෙන් විවෘත කර නැත. එනිසා දැනට මෙය පුද්ගලික දේපළක් වන නමුත් අනාගතයේදී එය ජනගත කෙරෙනු ඇත. තමන්ගෙන් පසු තම දු දරුවන් විසින් මෙය රැක බලා ගනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. ජික්කාව ඔවුන් ඉතා කෙටියෙන් විස්තර කරන්නේ මෙසේ ය. “මේක දිව්‍ය ලෝකයක්!’
ජික්කා ලොවේ සෑම රටකටම ආදර්ශයකි. විශ්‍රාමිකයන් වෙනුවෙන් අයවැය වෙන් කරන, විශ්‍රාමිකයන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් පිඹුරුපත් සාදන සෑම රටකටම මෙයින් ඉගෙන ගත හැකි දෑ බොහෝ ය. විශේෂයෙන්ම විශ්‍රාමලත් රජයේ සේවකයන් පමණක් විශ්‍රාම සුවයෙන් සිටිය යුතු යැයි කල්පනා කරන, පුද්ගලික අංශයේ දශක ගණනක් දර දිය ඇද, ඉන්පසු ජීවිතයේ අවසන් සමයේදී ලැබීම් ගෙවීම් රහිතව වියපත් ජීවිත හුදෙකලා වන ලංකාව, ඉන්දියාව වැනි රටවලට මෙම පුද්ගලික විසුම්පාය, නව ආයෝජන කල්පනා මවයි.
-අමාලි ජයවීර
COMMENTS