කොමිෂන් සභාව හමුවේ විභාග වෙමින් පවතින සහ විභාග කර අවසන් කර ඇති අභියාචනාවල ප්‍රතිඵලය දෙස බලන විට පුරවැසියන්ගේ තොරතුරු අයිතිය සුරැකීම සඳහා ...
කොමිෂන් සභාව හමුවේ විභාග වෙමින් පවතින සහ විභාග කර අවසන් කර ඇති අභියාචනාවල ප්‍රතිඵලය දෙස බලන විට පුරවැසියන්ගේ තොරතුරු අයිතිය සුරැකීම සඳහා කොමිෂන් සභාවේ ක්‍රියාකාරී කාර්යභාරය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සිදුවූ පොලිස් වෙඩි තැබීමේදී මියගිය රොෂේන් චානකගේ සිද්ධිය පිළිබඳ මහානාම තිලකරත්න වාර්තාව කොමිෂන් සභා නියෝගය මත රොෂේන් චානකගේ මවට ලබාදීමට සිදුවූ අතර, මුස්ලිම් කොංග්‍රස් නායක අෂ්රොෆ්ගේ මරණය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාවට සිදුවූ දෙයක් පවා මෙතෙක් සොයාගැනීමට ලැබුණේ නැත. නමුත් මේ වන විට කොමිෂන් සභාව ඉදිරියේ විභාග වෙමින් පවතින අභියාචනයකට අනුව, එම වාර්තාව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත යවා ඇති බව ය. අධ්‍යාපන දෙපාර්තමේන්තුවට එරෙහිව විභාග වූ අභියාචනා කිහිපයකින් මේ වන විට අධ්‍යාපන දෙපාර්තමේන්තුව තොරතුරු පනතට අනුගත නොවී කටයුතු කරන ආකාරය සනාථ වී ඇති අතර, පනත යටතේ වරදක් වන එම තත්වය නිවැරදි කිරීම පිණිස ද ඉදිරියේදී කොමිෂන් සභාව නීතිමය අර්ථයෙන් මැදිහත් වනු ඇත. ලංකාවේ ජනප්‍රිය පාසල් කිහිපයක් සම්බන්ධයෙන් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම, පාසල් සංවර්ධන සමිතිවල වාර්ෂික අයවැය වාර්තා සහ පහසුකම් ගාස්තු යනාදිය පිළිබඳ විනිවිද භාවයෙන් හා සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කිරීම සඳහා නියෝග ද පූර්වාදර්ශික ආකාරයෙන් කොමිෂන් සභාව විසින් පසුගිය මාස කිහිපය තුළදී ලබාදීමට කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් මේ වන විට උද්ගතව ඇති මූල්‍ය දුෂ්කරතා සහ සම්පත් ඌනතාවය හමුවේ කොමිෂන් සභාවේ දෛනික කටයුතුවලට එල්ල වී තිබෙන්නේ විශාල බාධාවකි. 2016 දෙසැම්බර් මාසයේ පූර්ණ වශයෙන් ස්ථාපිත කළ අවස්ථාවේ පටන්ම මෙම කොමිෂන් සභාව පවත්වාගෙන යන්නේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ ය. කොමිෂන් සභාවට ස්ථිර ගොඩනැගිල්ලක් පවා නොමැති අතර, එය පවත්වාගෙන යනු ලබන්නේ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ තාවකාලික පරිශ්‍රයක ය. එහි කටයුතු පවත්වාගෙන යාම සඳහා සේවකයන් 10 දෙනෙක් පමණ අවශ්‍ය නමුත් දැනට එහි සිටින්නේ සේවකයන් 3 දෙනෙක් පමණි.
ඉතා අවම සම්පත් ප්‍රමාණයක් යටතේ, අතිශය කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරමින් පුරවැසියන්ගේ තොරතුරු අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන මෙවන් ස්වාධීන කොමිෂන් සභාවකට ප්‍රමාණවත් සම්පත් ලබානොදීම විශාල ගැටලුවකි. තොරතුරු පනත ගෙන ඒම වත්මන් ආණ්ඩුවේ දින 100 යෝජනා අතර ආකර්ෂණීය අංගයක් විය. පනත ගෙන ආ නමුත් පනත යටතේ පිහිටවූ අභියාචන බලතල සම්භාරයක් සහිත තොරතුරු කොමිෂන් සභාවට මේ අන්දමින් දිගින් දිගටම කුඩම්මාගේ සැලකිලි හිමිවීම විශාල ගැටළුවකි. මෑතක් වන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති තොරතුරු කොමිෂන් සභාව දැන් අයත් වන්නේ ජනමාධ්‍ය සහ මුදල් අමාත්‍යාංශය යටතට ය. මේ අතර ලෝකයේ තෙවැනුවට හොඳම තොරතුරු නීතිය හිමි රට ශ්‍රී ලංකාව වුවත්, 2018 වසර සඳහා යෝජිත අයවැයෙන් ද තොරතුරු කොමිසම සහ තොරතුරු පනත සක්‍රිය කිරීම සඳහා ප්‍රමාණවත් අයවැයක් වෙන් කර ඇති බව නොපෙනේ.
- අසිත කුරුප්පුආරච්චි
COMMENTS