ලිපිය පළකිරීම හෝ නොකිරීම ඔවුන් සතු අයිතියක්. ඒත් අනුන් ගේ ලිපියක් කපා කොටා අන්තර්ගතයට හානි පැමිනිවීම හා භාෂා විලාශය වෙනස් කිරීම කුමන මාධ...
ලිපිය පළකිරීම හෝ නොකිරීම ඔවුන් සතු අයිතියක්. ඒත් අනුන් ගේ ලිපියක් කපා කොටා අන්තර්ගතයට හානි පැමිනිවීම හා භාෂා විලාශය වෙනස් කිරීම කුමන මාධ්‍ය ආචාර ධර්මයන්ට අයත්දැයි දැන ගැනීමට කැමැත්තෙමි. නමුත් කවුරුත් දන්නා විමලනාත්ලාගෙන් මෙයට වඩා වෙන කුමක් බලාපොරොත්තු වන්නද ?
පහත තිබෙන්නේ මාවිසින් පුවත්පතට යවන ලද ලිපියයි. (තද අකුරින් තිබෙන්නේ විමලනාත් වීරරත්න මාධ්‍යවේදියා විසින් මාගේ ලිපියේ ඉවත්කරන ලද කොටස්ය.)
විමලනාත් වීරරත්නට පැරැණි මාධ්‍ය සගයෙකුගෙන් පිළිතුරක් !
පසුගිය 29 ඉරිදා පළ වූ "සත්හඞ" පුවත් පතේ "ජනමාධ්‍ය යේ හැසිරීම සහ ආණ්ඩුවේ වගකීම " යන මැයෙන් ලිපියක් පළවී තිබුනා.එය ලියා තිබුනේ අපේ පැරණි මාධ්‍ය සගයයෙක් වූ විමලනාත් වීරරත්නයි.එයින් ආණ්ඩුවේ හා පෞද්ගලික ජනමාධ්‍ය හැසිරෙන ආකාරය හා හැසිරවිය යුතු ආකාරය පිළිබඳව විවේචනයක් හා මඟ පෙන්වීමක් කරලා තිබුනා.ඒ බොහෝ දේ සම්බන්ධව මට තියෙන්නේත් එකඟතාවයක්.ඒත් එම ලිපියේ ආරම්භයේ මේ සියලු නාඩගම්වලට හේතුව සිරිසේන ජනාධිපතිවරයා ලබා දී ඇති නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ බවයි විමලනාත් කියන්නේ.ඒ ගැන නම් මට ඔහුත් එක්ක එකඟ වෙන්න බැහැ.
ඔහු මෙහෙම කියනවා."තැළෙන යකඩය දුටුවිට ආචාරියා පුක උඩ දාමින් තලනවා කියන යෙදුම සිහි කරමින් ජනමාධ්‍ය සහ තවත් පිරිස් වත්මන් ජනාධිපතිවරයා තලනු පෙනේ.එය යහපත් තත්වයක් නොවේ.මොන රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙකු ගේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සිත වෙනස් වුවහොත් උදාවිය හැක්කේ බරපතල තත්වයකි." මෙසේ කියන්නා වූ මගේ මිත්‍රයා, මෙවැනි තත්වයක් තුළ දී මැසිවිලි නඟමින් නොසිට මහින්ද රෙජීමය දියත් කල තිරශ්චීන මාධ්‍ය මර්ධනය ගෙන හැර දක්වනවා.පළමුවෙන්ම මගේ මිත්‍රයාටත් මට කියන්නට තිබෙන්නේ මේ උදාහරණයත් එතරම් යහපත් නොවේ කියලා.පොලිසියෙන් ගහන එකයි,දෙමාපියන් දරුවෙකුට ගහන එකයි එකක් නෙමේ දෙකක්.ඒඅතරෙ පොලිසියටත් වඩා දරුණු වධහිංසා දරුවන්ට දෙන දෙමව්පියොත් නැතිවා නොවෙයි.හැබැයි ඒ ව්‍යතිරේකයක් මිස සමස්ථය නෙමෙයි.ජනාධිපතිවරයා තැලුම් කන්නේ ඇයි ද යන්නත් ලිව්වා නම් තමයි විමලෙගෙ ලිපිය අංග සම්පූර්ණ වන්නේ කියලයි මට නම් හිතෙන්නේ.
හැබැයි විමලනාත් කියන්නා වාගේ අද පුක උඩ දාගෙන තලන ඇතැම් අයගේත්,මාධ්‍ය ආයතනත් සහ බොහෝ මාධ්‍යකරුවන්ගේත් මහින්ද රෙජීමය කාලේ පුක යොදවලා තිබුනේ අදාල දේටම නොවෙයි.ඒහින්දා උඩ දාන්නවත් වෙලාවක් නෑ.නමුත් ඒ අතරේ මහින්ද රෙජීමයේ මර්ධනයට මුහුණ දෙමින් හරි හරියට හැප්පුනු බොහෝ පිරිසක් ලංකාවේ හිටිය.ජනමාධ්‍යවේදියොත් ඇතුළුව.ඒකෙ අවසානය තමයි 2015 ජනවාරි අට මහින්ද රෙජිමය කුජීතු වෙලා ගියේ.ඒ නිසා විමලනාත්ට වඩා දේශපාලන අත්දැකීම් බහුල සිරිසේන ජනාධිපතිවරයා හොඳට දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී විවේචනයන් හා අරගලයන් මර්ධනයන්ට ගියොත් සිද්දවෙන සන්තෑසිය මොකක්ද කියලා.
මේ ආණ්ඩුව ඉන්නේ දේශපාලනිකව අවදි වූ ජන බලවේගයක් මැද.අනික මේ ජනාධිපතිවරයා පත්වෙන්නේ වෙනදා වගේ තමන්ගේ පක්‍ෂයේ පාක්‍ෂිකයො ගෝනි පඩංගුව අස්සේ ගහපු කතිරෙන් නෙමේ.තම පක්‍ෂයේ පාක්‍ෂිකයන් අතරින් අඩු පිරිසකගේ චන්දයෙන් ආපු ජනාධිපතිවරයෙක්.ඒ වෙනුවට දහස් ගණනක ගේ ජීවිත මහපොළවට පූජා කරල තමයි මේ ජනාධිපතිවරයා ගෙනාවේ.ඒ වෙනුවෙන් ඉටුකල යුතු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන ගොන්නක් ඉටුකරන්න ශපත කර ජනාධිපතිවරයා භාරගෙන තිබෙනවා.ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගේ මැදහත් වීමෙන් ජනාධිපති පදවියට පත් වීමෙන් පසු තමන් වටා එතුණු මහින්දවාදීන් ගේ හෝ එම ප්‍රතිසංස්කරණ වලට විරුද්ධව මහින්දට ඡන්දය දීපු පාක්‍ෂිකයන් ගේ හෝ ඕනෑ එපාකම් වලට වඩා ජනාධිපතිවරයා ඒ බාරය ඔප්පු කල යුතුමයි.හැට දෙලක්‍ෂයක විවේචනය එල්ල වෙන්නේ ජනාධිපතිවරණයට පෙර ශක්තිමත්ව පෙනී හිටිය ඒ ස්ථාවරයන් ගැන අද දක්වනඈලි මෑලි ඇල්මැරුණු ස්වාභාවය ගැනයි.ඒ නිසා ජනාධිපතිවරයාටබැදගත් බෙරේ ගහලම තමයි බිම තියන්න වෙන්නේ.
.
ප්‍රජාතන්ත්‍රවාදය - මානව හිමිකම් තහවුරු කරන, ජනතාවට රාජ්‍ය පාලනයට හවුල් වීමට ඉඩ විවර කරන,නව ව්‍යවස්ථාවක් සම්මත වුනොත් දූෂිත මෙන්ම අත්තනෝමතික සිංහල බෞද්ධ ජාතිවාදින් දන්නව ඒ තමන් ගේ දේශපාලනයේ මළගම කියලා.ඒ නිසා තමයි සිය අන්ත දක්‍ෂිනාංශික ප්‍රතිගාමී බලවේග අවසාන සටනට කැඳවමින් විමල් වීරවංශල පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න කතා කරන්නේ.ප්‍රජාතන්ත්‍රවාදීන් මරල දණෙන් පහළ එල්ලා ගෙන යන්න ඕනැයි කියලා ගෝඨාභයලා කියන්නේ.හංස ගීතය ගැයුවත් තමන් කොල්කාගත් අසිමිත ධන සම්භාරය රැක ගැනීමේ හා තව තවත් ලොකු මහත් කරගැනීමේ පරමාර්ථයෙන් ඔවුන් පෙළෙන්නේ.තමන්ගේ එකී අවශ්‍යතා වෙනුවෙන් යලි රාජ්‍ය බලය අත්පත් කර ගැනීම සදහා සිංහල බෞද්ධ ජාතිවාදයේ පතිවත වෙනුවෙන් මොවුන් සටන් වදින්නේ.මඩේ හිටවපු ඉනි වගේ නැතිව.එහෙම අය තමයි නායකයෝ කියන්නේ.නායකයෙක් කියන්නේ ඒ මේ අතට වැනෙන කෙනෙක් නෙමේ.එදා ජර්මනියේ කොමියුනිස්ට් පක්‍ෂ නායකයන්ට වඩා හිට්ලර් නායකයෙක් උනා.පැසිස්ට් ප්‍රැන්කෝ නායකයෙක් උනා.ඒ විදියට වැඩ කිරීමෙන් තමයි තමන් ගේ ප්‍රතිගාමී බලවේග නැගිටල එන්නේ.ඒ නිසා ප්‍රතිගාමින් ගේ පැත්තෙන් බැලුවොත් එයාල හරි.ඕනෑම ආගම්වාදී,ජාතිවාදී බලවේගයක් කවදත් එහෙම තමයි.අවසානය ලංවෙන්න ලංවෙන්න ඒ අය යන්නේ ෆැසිස්ට් භාවිතාවන්වලට.හිට්ලර් අවසාන මොහොතේත් කිව්වේ තමන් තීරණ ගත්තේ ජර්මන් ජනතාව වෙනුවෙන් කියලා.ඒක නිවැරදි තීරණයක් කියලා.
ජනාධිපතිවරයා පසුගියදාක වව්නියාවට ගිහිල්ල කිව්වේ මේ ප්‍රතිසංස්කරණ කරන්න දුන්නේ නැතිනම් ඒවාට විරුද්ධ වූ අයට අනාගතයට වග කියන්න වේවි කියලා.මොන බලවේග විරුද්ධ වුනත් විධායක ජනාධිපතිධූරය අහෝසි කරලා නව ව්‍යස්ථාව සම්මත කරලා තමයි මම මේ පුටුවෙන් යන්නේ කියලත් කියන්න තිබුනානේ.ඇයි එහෙම නොකිව්වේ කියන එක ප්‍රශ්ණයක් නෙමේද ? ජනාධිපතිවරයා ඉස්සර කිව්වේ මම ආයේ චන්දවලට එන්නේ නෑ.මේ තමයි අවසාන විධායක ජනාධිපතිවරයා කියලා.දැන් කෝ ඒ කතා.ජනාධිපතිවරයා වටා ඉන්නා සමහර පුද්ගලයන්ට ඕනෑ කමක් ඇති විවිධ ලාභ ප්‍රයෝජන මත විධායක බලය තව දුරටත් තියාගන්න. ඔවුන්ට තියෙන්නේ ඒ මගින් සුපුරුදු ලෙස ආණ්ඩුවත් එක්ක බිස්නස් කරල ශුද්ධ ලාභ ලැබීමේ පරමාර්ථ.සල්ලිවලට බූරුවා ගහන ගම්වල සමහරු ඥාතියෙක් මරුණාම එම්බාම් කරල සතියක් විතර තියා ගන්නවා.මොකද ඥාතියාට තියෙන ආදරේකටද ? නෑ..මළ ගෙදර බූරුවා සෙල්ලම් කලාට පොලිසියෙන් අල්ලන්නේ නැති නිසා.
ජනාධිපතිවරයා,අගමැතිවරයා ඇතුලු මුලු කැබිනට් මණ්ඩලය එකම මතයක ඉන්නවානම් ජනමාධ්‍ය මේ නාඩගම් නටන්නේ නැහැ.නායකයෙක් ආරම්භයේදී වගේ සිය ප්‍රතිපත්ති වෙනුවෙන් පසු කලෙක දැඩිව පෙනී නොසිටියාම, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු කිරීමට යෑමේ දී ආණ්ඩුවේම ඇතිවන බෙදීම් දැක්කාම ජනමාධ්‍ය කොහොමද ශක්තිමත් ස්ථාවරයකට එන්නේ.ආණ්ඩුවේ මාධ්‍ය තුළ ඉන්නා මාධ්‍ය ප්‍රධානීන්ම වුවත් මොන පැත්තද ගන්නේ.කෝ ඒ අයට ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනුවෙන් කෙලින් හිට ගන්න හයියක්.ඒ නිසා ගෙදර තිබෙන මුව හමට තැලීමෙන් ප්‍රශ්ණය විසඳෙන්නේ නෑ.ප්‍රශ්ණයක් දිහා හේතුඵලවාදීව බැලුවොත් තමයි අපට සත්‍ය වටහා ගන්න පුලුවන් වෙන්නේ.විශේෂයෙන්ම මාධ්‍යවේදියෙක් කරුණු ඉදිරිපත් කල යුත්තේ එලෙසයි කියලයි මමනම් හිතන්නේ.ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග දඟලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වල නායකයන්ගේ චපල කම නිසයි.නැතිව ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ කඩ විවර කර තිබෙන නිසා නොවෙයි කියන සත්‍ය කරුණ නොපෙනීමයි විමලෙ කණගාටුව.
සිය ස්ථාවරයන් ප්‍රතිගාමී බලවේග ඉදිරියේ පස්සට ගැනීමෙන් සිදුවන විපත ශ්‍රී.ල.නි.ප.නායක බණ්ඩාරනායකම පෙන්වලා දීල තිබෙනවා.රුසියාවෙ ලෙනින් කෙනෙක් නොහිටින්න බොල්‍ෂෙවික් විප්ලවයක් වෙන්නේ නැහැ.සිරිසේන ජනාධිපතිවරයාට කවුරුත් කියන්නේ නැහැ ලෙනින් වෙන්න කියලා.හැට දෙලක්‍ෂයක් කියන්නේ කෙලින් ඉන්න කියලා.එදා ජනාධිපති මැතිවරණ වේදිකාවෙදි වගේ.එතකොට ජනාධිපතිවරයාට පහර දෙන ප්‍රතිගාමීන්ට උත්තර දෙන්න හැට දෙලක්‍ෂයක් ඉදිරිපත් වේවි.තාමත් ඒකට ප්‍රමාද නැහැ.හැබැයි අශ්වයා ගියාට පස්සේ ස්තාලය වහලා,ආඳා යවා වල්පත අල්ලන්න ගියොත් බබිත් සුං,බබීගෙ අම්මත් සුං.ඒත් එක්කම විමලනාත් වීරරත්ත මගේ මාධ්‍ය මිත්‍රයටත් එකක් කියන්න ඕන.මාධ්‍ය භාවිතාවෙදි ප්‍රාග්ධනය විසින් වාරණ දානව.රජයන් විසින් වාරණ දානව.හැබැයි ඒවායේ සීමා මායිම් තියෙනවා.ඒවා සමඟ සසඳා බලන කල ස්වංවාරණය ඉතා බිහිසුනුයි.මොකද ඒකට සීමා මායිම් කාල පරාසයක් නැති නිසා.
ඥානසිරි කොත්තිගොඩ
COMMENTS