දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනෝමා ජනාදරී ට සංජීව පුෂ්පකුමාරගෙන් පිළිතුරක්!
Homeප්‍රවෘත්ති

අනෝමා ජනාදරී ට සංජීව පුෂ්පකුමාරගෙන් පිළිතුරක්!

PropellerAds

ප්‍රවෘත්ති නිවේදනයයි. සියළුම මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍යය වෙත, අනෝමා ජනාදරි ඇතුළු ඇගේ හිතවතුන්ට ලියා දන්වන වගයි! සිනමාකරුවෙක් ලෙස...

ජනපතිගෙන් තවත් අතිවිශේෂ ගැසට් නිවේදන ‌දෙකක්
තනතුර අත්හරින්න වුණත් සම්බන්ධන් සූදානම්
ජනපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර හමුවක්
අනෝමා ජනාදරී ට සංජීව පුෂ්පකුමාරගෙන් පිළිතුරක්!

ප්‍රවෘත්ති නිවේදනයයි.
සියළුම මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍යය වෙත,
අනෝමා ජනාදරි ඇතුළු ඇගේ හිතවතුන්ට ලියා දන්වන වගයි!

සිනමාකරුවෙක් ලෙස මෙවන් සටහනක් ලිවීමට මා කිසිසේත්ම අදහස් නොකළත් රංගන ශිල්පිනි ආනෝමා ජනාදරිගේ ශික්ෂණයකින් තොර අවරගණයේ ප්‍රකාශ සහ හැසිරීම් හේතුවෙන් මෙම සටහන පළ කළයුතු බවට මා තීරණය කළා.

ඇය වසර එකහමාරකට අධික කාලයක් තුළ මටත් මගේ ආදරණීය අම්මාටත් පවුලටත් මගේ බිරිඳටත් විවිධ අපහාසාත්මක චෝදනා කළද මා ඇයගේ ප්‍රකාශවලට පිළිතුරු නොදිය යුතු බවට තීරණය කර තිබුණා. එසේ වුවත් දැන් ඇය මා ඉවසීමේ අවසන් ඉම වෙත රැගෙන ගොස් තිබෙනවා.

අනෝමා ජනාදරි මහත්මියට දැවෙන විහඟුන් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් පසුගියදා ලොස් ඇන්ජලීස් නුවරදී හිමිවුණු සම්මානය පිළබඳව මෙරට මාධ්‍යයට ඇය පළ කර තිබෙන අදහස් ඇය සිනමාව පිළිබඳවත් සිනමා කර්මාන්තයේ ලෝක හැඩතලය පිළිබඳවත් තමන් තුළ ඇති නොමේරු අල්ප දැනුම ඉතාම අශිෂ්ට ලෙස පෙන්වා තිබෙනවා.

අනෝමා ජනාදරි මහත්මිය ඇයට ලොස් ඇන්ජලීස් නුවරට යෑමට තිබු අවස්ථාව මා වැළැක්වුවා වැනි අදහස් පසුගිය දින කිහිපයේ ප්‍රකාශ කර තිබේ. ලෝකයේ පවතින සිනමා උළෙල අති බහුතරයක් තම සිනමා උළෙලවලට ආරාධනා කරන්නේ අධ්‍යක්ෂවරයාට පමණි. අධ්‍යක්ෂවරයාට වුව සම්මාන උළෙලවල් බොහෝමයක් ලබා දෙන්නේ සීමිත දින ගණනක නවාතැන් පහසුකම් පමණි. එසේම අධ්‍යක්ෂවරයාට කැමති නම් තම නළු නිළියන්ට ආරාධනා පත් ගෙන්වාගෙන සිනමා උළෙලවලට රැගෙන ගිය හැකිය. එහෙත් එහිදීද නළු නිළියන්ට සිනමා උළෙලවල් මගින් නවාතැන් පහසුකම් ලබා දෙන්නේ නැත. ඒ බැව් නොදන්නා අය වේනම් කෞෂල්‍ය ප්‍රනාන්දු වැනි විශිෂ්ට නිළියකගෙන් අසා දැන ගත හැක. එසේවුවත් ඉගිල්ලෙන මාළුවෝ (Flying Fish ) සිට දැවෙන විහඟුන් දක්වා (Burning Birds) දක්වා විදේශ උළෙලවලට හැකි පමණින් මා නළු නිළියන් හා අනෙකුත් ශිල්පීන් රැගෙන ගියේය. රැගෙන ගිය නළු නිළියන් කාර්මික ශිල්පීන් ඇතුළු සියළු දෙනාම මා නවතාගෙන සිටියේ අධ්‍යක්ෂවරයා ලෙස මාහට නිල වශයෙන් ලැබුණු හෝටල් කාමරවලය. ඒ බැව් මා සමග සිනමා උළෙලවලට සහභාගිවු සියළු දෙනාම හොඳින් දනි. ඇතැම් විට මා ඒවා කරන්නේ සිනමා උළෙලවල පරිපාලනයට රහසිගතවය. ඒ මාගේ ශිල්පීන්ට මා සලකන හැටිය.

පසුගිය දා නිමාවු දුටු ලොස් ඇන්ජලීස් නුවර පැවති සිනමා උළෙලට මා හට ආරධනා කර තිබුණේ සීමිත දින ගණනාවකට පමණි. එහෙත් මාගේ පෞද්ගලික කටයුතු කිහිපයක් හේතුවෙන් දින කිහිපයක් වැඩිපුර ඇමරිකාවේ රැඳි සිටියේ ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුගේ උපකාර සමගිනි. මා ඇමරිකාවේ රැඳි සිටි නිසාම සමාප්ති උළෙලට සහභාගිවන ලෙස සිනමා උළෙල මට ආරාධනා කළේය.

සාමාන්‍යයෙන් අන්තර්ජාතික සිනමා උළෙලක අවසන් තීරණ ගනු ලබන්නේ සම්මාන උළෙලට පෙර දින හෝ සම්මාන උළෙල පැවැත්වෙන දින උදෑසනයි. එසේම බොහෝ අවස්ථාවල සිනමා සම්මාන උළෙලට පෙර චිත්‍රපටයට සම්මානයක් තිබෙන බව සංවිධායකයින් ප්‍රකාශ කිරීමට ඉඩ තිබුණද සම්මානය කුමක්ද කියා බොහෝ අවස්ථාවල නොකියයි. මා මෙතෙක් සම්මාන ලැබු කිසිම උළෙලක කල් ඇතිව සම්මානය කුමක්දැයි මා හටවත් කියා නැත. අනෝමා ජනාදරි මහත්මියට මේ කරුණු ගැන අවබෝධයක් නොමැත. අනෙක ඇමරිකාව සිංගප්පූරුවට යනවා තරම් පහසු ද නැත. විසා පත් ලබා ගැනීමට දිගු කාලයක් ගතවෙයි. එයට අමතරව දිනකට අධික ගුවන් කාලයකි. ජනාදරි මහත්මියට මේවා තේරෙන්නේ නැත්තේ මන්දැයි පුදුමයකි.

විශිෂ්ට සිනමාපටවලට ආරධනා කර තිබුණද ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙල(Asian World Film Festival) ප්‍රමාණයෙන් විශාල සිනමා උළෙලක් නොවේ. එනිසාම ඔවුන්ට සිතු සේ මුදල් වියදම් කිරීමට හැකියාවක් ද නැත. අනෝමා ජනාදරි මහත්මිය නොදන්නවා වුවාට සිනමා උළෙලේ හොඳම සිනමා කෘතිය වුණු ටැක්සි ඩ්‍රයිවර් (Taxi Driver) කොරියානු චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට වුව ඔවුන් සම්මාන ගැනීමට පැමිණෙන ලෙස දන්වා නැත. එම සම්මානය ලබා ගත්තේද මා මෙන්ම ඒ වනවිට ලොස් ඇන්ජලීස් නුවර සිටි එම චිත්‍රපටයේ නිෂ්පාදිකාවයි. එපමණක් නොව හොඳම නවක අධ්‍යක්ෂවරුන් ලෙස සම්මාන ලැබු ජෝර්ජියානු සිනමා ශිල්පිණිය මෙන්ම රුසියානු සිනමා අධ්‍යක්ෂවරයාට ද සම්මාන උළෙලට ආරාධනා කර තිබුණේ නැත. ජෝර්ජියානු චිත්‍රපටයේ සම්මානය ලබා ගත්තේ තනාපති කාර්යාලයේ නිලධාරියෙකි.

අනෝමා ජනාදරි 2017.11.06 දින ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඇයට මීට පෙර ලැබීමට තිබුණු සම්මාන මා වළකා ඇති බවත් අධ්‍යක්ෂවරයාට පමණක් සම්මාන ලබාදෙන සිනමා උළෙලවලට පමණක් මා අයඳුම්කර ඇති බවටත් චෝනදනා කර තිබේ. ඇය මෙවන් ප්‍රකාශ කරන්නේ කෙසේද කියාවත් මට සිතා ගත නොහැක.

සිනමා උලෙළවල් යනු චිත්‍රපටයට ආදායම් ලැබෙන තවත් එක් මාර්ගයකි. මගේ සිනමා කෘතිය අන්තර්ජාතිකව හසුරුවන්නේ අලෙවි නියෝජිතයාවන ලන්ඩනයේ පිහිටි ෆිල්ම් රිපබ්ලික් (Film Republic) ආයතනය විසිනි. ඔවුන් සෑම සිනමා උළෙලකටම පාහේ චිත්‍රපටය යෝජනා කරයි. එහිදි ඇතැම් සිනමා උළෙලවලින් චිත්‍රපටයට ආරාධනා කරන අතර ඇතැම් උළෙල විසින් ප්‍රතික්ෂේප කරයි. කිසිවිටෙක චිත්‍රපටයේ අධ්‍යක්ෂට හෝ වෙනත් අයෙකුට සිනමා උළෙලේ අපගේ චිත්‍රපටය තිබිය යුතු අංශය තීරණය කළ නොහැක. එය තීරණය කරන්නේ සිනමා උළෙල විසිනි. ඇතැම් විට තරඟකාරි අංශයට ආරාධනා කරන අතර ඇතැම් සිනමා උළෙලවල් තරඟකාරි නොවෙන අංශවලට ආරාධනා කරයි. ලෝකයේ බොහෝ සිනමා උළෙලවල හොඳම සිනමා කෘතිය සහ ජුරීය සම්මාන හැර වෙනත් සම්මාන ප්‍රධාන කරන්නෙ නැත. දැවෙන විහඟුන් චිත්‍රපටයට ආරාධනා ලැබුණු බොහෝ සිනමා උළෙලවල්ලදී ප්‍රදානය කර තිබෙන්නේ ඉහත සම්මාන පමණි. තමන්ගේ සිනාමා කෘතියේ කාට සම්මාන ලැබුණත් එම සම්මාන වල ගෞරවය කවුරු කැමති වුණත් නැතත් එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට හිමිවෙනවා. එම සම්මානවලින් බැබළෙන්නෙ සිනමා කෘතියයි. නොදන්නා කෙනෙකුට දේවල් පැහැදිලි කිරීම පහසුයි. එහෙත් දන්නා බැව් සිතා සිටින අයට ඔවුන් නොදන්නා බව පැහැදිලි කිරිම ඉතාම අපහසු කටයුත්තක්. අනෝමා ජනාදරි අයත්වන්නේ දන්නා බැව් සිතා සිටින එහෙත් කිසිවක් නොදන්නා කණ්ඩායමටයි.

මේ සියල්ලෙන් පෙනේනේ අනෝමා ජනාදරි සම්මාන අපේක්ෂාවෙන්ම මෙම චරිතය කර ඇති බවයි. තමන්ගේ නිර්මාණයක් අගය කිරීමට ලක්වේනම් එය ඉතාම වටියී. මා කිසි චිත්‍රපටයක් සම්මාන අපේක්ෂාවෙන් කර නැත. හොඳ චිත්‍රපටයක් කිරීමේ අරමුණින් එය කළේය.පෙර සඳහන් කළ පරිදිම සිනමා උළෙලවලට චිත්‍රපට ඉදිරිපත් කිරීමෙන් කිසියම් ආදායමක් චිත්‍රපටයට ලැබේ. එසේම සම්මාන හෝ හොඳ සිනමා උළෙලවලට චිත්‍රපටය තේරීම මගින් අපට වෙනත් රටවල චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා බෙදාහරින්නන් (Distributors) සොයා ගැනීම පහසු වෙයි.

සැබවින්ම අනෝමා ජනාදරි මහත්මියගේ වර්තමාන මානසික ස්වභාවය මට හොඳින් තේරුම් ගැනීමට පුළුවන්. මෙම චිත්‍රපටය කරනවිට මා බොහෝ කලක් විදේශ ගතව සිට ලංකාවට පැමිණියා පමණි. මා ජනාදරි මහත්මිය දැන සිටියේ අශෝක හඳගමගේ චිත්‍රපටවල සිටි නිළියක් ලෙස පමණි. එපමණක් තියා ඇයගේ ජීවිතයේ සිදුවී තිබුණු වෙනස්වීම් ගැනවත් මා දැන සිටියේ නැත. එකළ මා මුහුණු පොත අද තරම් භාවිතා ක‍ළේ නැත. දැවෙන විහඟුන් චිත්‍රපටයේ කුසුම්ගේ චරිතයට මා ආරධනා කළ පළමු නිළිය කෞෂල්‍යා ප්‍රනාන්දුය මහත්මියයි. දෙවනුව චාන්දනි සෙනෙවිරත්නය මහත්මියයි. පෞද්ගලික හේතු නිසා ඔවුන් දෙදෙනාම මෙම චරිතය සඳහා මට යොදා ගැනීමට නොහැකිවිය. ඉක්බිතිව මා ආරධනා කළේ අනෝමා ජනාදරි මහත්මියටයි. ඇය එක හෙලාම කුසුම්ගේ චරිතය කිරීමට කැමති වුණා. පසුව දැන් අනෝමා ජනාදරි වෙනුවෙන් පෙනී සිටින ඇතැම් නිළියන් පවා අනෝමා ජනාදරි මෙම චරිතයට නොගන්න ලෙස පවසා සිටියා. එහෙත් මා ඇය සමග වැඩ කිරීමට දුන් වාචික එකඟතාවය නොබිඳීමට තීරණ කළා. එසේවුවත් දින කහිපයක් ගතවු පසු ඇයගේ ඉල්ලීම් ඉහළ යන්න පටන් ගත්තා. ඇයගේ හැසිරීම්වල වෙනස්වීම් මට දරා ගත නොහැකිවුණා. ඇය මුදලින් ලක්ෂ 20ක් සහ රක්ෂණ ආවරණයක් සහ විශේෂ ගිවිසුමක් ඉදිරිපත් කළා. ඇයගේ එම ඉල්ලීම් පිළිගත නොහැකි බව පවසා මා ඇය සිනමා කෘතියෙන් ඉවත් කරනු ලැබුවා. චිත්‍රපටයේ කටයුතු ටික කලකට නවතා දමන බවටත් මම ඇයට දන්වා සිටියා. ඉන් අනතුරුව නිම්මි හරස්ගම මෙම චරිතය කිරීමට කැමැත්ත පළ කල අතර ඇය කැලිෆෝනියාවේ සිට පැමිණිමට පවා සුදානම් වුණා. මේ අතර කෞෂල්‍ය ප්‍රනාන්දු මහත්මිය මට කතා කොට ඇයට අනෝමා ජනාදරි කතා කළ බවත් චිත්‍රපටයෙන් තමන් ඉවත් කිරීමට සුදානම්වන නිසා එයට මැදිහත්වන ලෙස ඉල්ලු බවත් ප්‍රකාශ කළා. කෞෂල්‍ය ප්‍රනාන්දු මහත්මිය උගත් රංගවේදිනියක් ලෙස මට උපදෙස් කිහිපයක් සහ මගෙන් ඉල්ලීමක් ද කළා. එනම් අනෝමා ජනාදරි චිත්‍රපටයෙන් ඉවත් නොකර ඇයට රඟපෑම සඳහා අවස්ථාව දෙන ලෙසයි. එමෙන්ම චාන්දනි සෙනෙවිරත්න මහත්මියත් මට කතා කොට අනෝමා ජනාදරි ඉවත් නොකරන ලෙස මගෙන් ආදරයෙන් ඉල්ලා සිටියා. මෙම වැඩිහිටි ගෞරව සම්පන්න රංගවේදිනියන්ට ඇහුම්කන් දීමක් ලෙස නැවතත් අනෝමා ජනාදරි මෙම චිත්‍රපටයට ගත්තේ මා ඉදිරිපත් කරන ගිවිසුමට අනුව වැඩ කිරීමට ඇය එකඟවීමෙන් පසුවයි.අද අනෝමා ජනාදරි ලබන ගෞරවයෙන් කිසියම් ප්‍රමාණයක් කෞෂල්‍යා ප්‍රනාන්දු සහ චාන්දනී සෙනෙවිරත්න මහත්මීන්ට ද හිමිවිය යුතුවන්නේ මේ නිසයි.

පසුගිය කාලය පුරාම මා ඇයට මුදල් නොගෙවු බවට දිගටම අපහාස කළත් මා නිහිඬව සිටියේ ඇයට පිළිතුරු දීම අර්ථයක් නැති දෙයක් ලෙස සිතාය.
අනෝමා ජනාදරි මහත්මිය සහ මා අතර තිබෙන ගිවිසුමට අනුව කුසුම්ගේ චරිතය සඳහා ගාස්තුව වුයේ රුපියල් ලක්ෂ පහලොවකි. එම මුදල් අවස්ථා 3ක් යටතේ ගෙවීමට පොරොන්දුවිය. ගිවිසුම අත්සන් කිරීමෙන්පසු ලක්ෂ 225,000ක් සහ චිත්‍රපටය රූගත කිරීමෙන් සතියකට පසු රුපියල් ලක්ෂයක් සහ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ වාණිජමය වශයෙන් ප්‍රදර්ශනය කිරීමෙන් පසු ඉතුරු මුදලවුණු 1,175,000 ලෙසය. අනෝමා ජනාදරි චිත්‍රපටය නිමාවීමටත් පෙර රුපියල් 375,000 මුදලක් ලබා ගත්තේ ගිවිසුමට අනුව නියමිත කාලයට ගෙවිය යුතු මුදලටත් වඩා රුපියප් 50,000 වැඩිපුර ලබා ගැනීමෙනි. ඇය කොතරම් අශිලාචරද දැයි පැවුසුව හොත් මුදල් අතට දෙනතුරු අවසන් දර්ශනය රූගත කිරීමට පවා පැමිණියේ නැත. මා මෙම චිත්‍රපටය රූපගත කළේ ඉතාම දුෂ්කරතා මධ්‍යයේය. රූපගත කිරීම් ආරම්භ කරනවිට මා අතේ තිබුණේ රුපියල් ලක්ෂ 58කි. චිත්‍රපටයේ සියළුම ශිල්පීන්ට අපට මුහුණදීමට සිදුවන දුෂ්කරතා කල් ඇතුව පවසා එයට එකඟවීමෙන් පසු ඔවුන් සමග වැඩ කිරීමට තීරණය කළේය. සියළුම නළු නිලියන්ට ගිවිසුම් අත්සන් කිරීමට පෙරම කිසිවෙකුට හෝටල් පහසුකම් දිය නොහැකිබවත් මාගේ නිවසේ නවාතැන් ‍දෙන බවත් ප්‍රකාශ කළා. සියළුම දෙනා එයට එකඟවීමෙන් පසුවයි වැඩ කිරීමට පටන් ගත්තේ.බොහෝ අය සිතා සිටියේ මහා සල්ලි කන්දරාවක් මා අත ඇති බවයි. විදෙස් ආයතවලින් මා මුදල් ලබාගෙන ඒවා සඟවාගෙන සිටින බවකි. කිසිදු චිත්‍රපට අධ්‍යක්වරයෙකු මුහුණ නොදෙන කටුක අත්දැකීම්වලට රූගත කිරීම් අතරතුරත් ඉන් පසුත් මුහුණ දීමට සිදුවිය. වාසනාවකට මාව විශ්වාස කළ සහ නිර්මාණයට ආදරය කළ මමංකාරය නොමැති යහපත් සහාය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් සහ නිෂ්පාදන කළමණාකරුවෙක් සිටියේය.

අනෝමා ජනාදරි මහත්මිය වසර 12ට පසු සිදුකළ පළමු රංගනය දැවෙන විහඟුන් චිත්‍රපටයයි. ඇයට මුළු චිත්‍රපටය පුරාම අවස්ථා කිහිපයකදී හැර මා බලාපොරොත්තුවුණු රංගනය කිසිවිටෙක කළ නොහැකිවිය. ඇය සමග රංගනයේ යෙදුණු බොහෝ ශිල්පීන් එයට සාක්ෂි සපයනු ඇත. අධ්‍යක්ෂවරයා ලෙස අවශ්‍යය රංගනය ආසන්න වශයෙන් 80% සීමාවට හෝ පැමිණෙන තුරු එකම දර්ශනය නැවත නැවත රූපගත කළේය. ඇතැම් දර්ශන 40 වාරයක් රූගත කළ අවස්ථාද තිබේ. ඇතැම් දර්ශනවලදී මට අවශ්‍ය ආකාරයට දෙබස් කීමට පවා ජනාදරි මහත්මියට නොහැකිවීම නිසා ඇතැම් දර්ශන හා දෙබස් අත්හැර දැමීමට පවා මට සිදුවිය. අනෝමා ජනාදරි දර්ශන තලයේදි මෙම තත්වය සැලකුවේ කන්තලේ (තඹලගමුවේ) බයියෙක් කොහොමද මං වැනි විශිෂ්ට නිළියකගේ රංගනය නරකයි කියන්නේ යනුවෙනි. මා ලක්ෂ 15 තරම් මුදලක් ඇයට ගෙවීමට පොරොන්දුවුයේ ඇතැම් දර්ශන සැබවින්ම අපහසුවුණු නිසාය. එහෙත් අවසානයේ ඇය එම දර්ශන කිරීමට නොහැකි බව පැවසුවේ දර්ශන තලයට ගිය පසුවයි. අවසානයේ එම දර්ශන සඳහා ආදේශ නිළියන් යොදාගැනීමට මට සිදුවිය. විවිධ හේතු පවසමින් ඇය දින ගණනාවක් රූපගත කිරීම්වලට නොපැමිණියේය. ඇතැම්විට දර්ශන තලයට පැමිණියේ ප්‍රමාදවීමෙනි. මේ තත්වය යටතේ නිෂ්පාදකවරයා ලෙසත් මට ලක්ෂ ගණනක අමතර වියදමක් දැරීමට සිදුවිය. කෙතරම් බාධක හා අපහසුතා පැමිණියද කිසිවිවිටෙක නිෂ්පාදනය අතරමග නවතා දැමීම මගේ ස්වාභාවය නොවන නිසා රූගත කිරීම් හැකි උපරිම අයුරින් නිමා කළේය. පසුව හඬ කැවීම් සඳහා පැමිණෙන ලෙස ඇයට පැවසුවද ඇය ඒ සඳහා රුපියල් ලක්ෂ 20ක් ගෙවන ලෙස ඉල්ලා සිටියාය. අවසානයේ වෙනත් ශිල්පිණියක් යොදා හඬ කැවීමට සිදුවිය. ආදේශක ශිල්පීන්ට සහ හඬකැවීම් ශිල්පිණියට තවත් අමතර මුදලක් ගෙවිමට නිෂ්පාදක ලෙස මට සිදුවිය.

අවසානයේ චිත්‍රපටය සංස්කාරවරු තිදෙනෙක් යටතේ සංස්කරණකර සම්මානනීය චිත්‍රපටයක් බවට පත් කර තිබේ. චාන්දනි සෙනෙවිරත්න මහේන්ද්‍ර පෙරේරා සමනලී ෆොන්සේකා සහ ලියෝනි කොතලාවල පමණක් නොව ප්‍රියංකා සමරවීර පෙනි සිටින දර්ශන බොහෝමයක්ම ඉවත් කිරීමට සිදුවිය. එයට හේතුව නම් ඔවුන්ගේ රංගනයේ විශිෂ්ටත්වයට ප්‍රධාන නිළිය යටවන නිසාය. දැවෙන විහඟුන් චිත්‍රපටය යනු කුසුම්ගේ චරිතයයි. එනිසාම අවශේෂ චරිත මතුවීමෙන් කුසුම්ගේ චරිතය යටයෑමට ඉඩදිය නොහැකි නිසා බොහෝ දර්ශන ඉවත් කළේය. එහිදි වැඩිම අසාධාරණය සිදුවුයේ චාන්දනී සෙනෙවිරත්න මහත්මියටයි.

තිරනාටකයෙන්ම කුසුම්ගේ චරිතය අයෝමත්වයට පත් කළේය. අද චිත්‍රපටය දකින ජාත්‍යන්තර ප්‍රජාව සිතා සිටින්නේ කුසුම්ගේ චරිතයේ ඔවුන් දකින සියල්ලම සිදුකරන්නේ අනෝමා ජනාදරි බවයි. මා කිසිවිටෙක එසේ නොවන බව කියන්නේද නැත. අවශ්‍යය නම් විචාරකයින්ට මෙන්ම ලොස් ඇන්ජලීස් නුවරදි ජුරියට පවා ඒ බව ප්‍රකාශ කිරීමට තිබුණි. අනෝමා ජනාදරි පෙනී සිටිය යුතු ඇතැම් දර්ශන ආදේශක රංගන ශිල්පීණියන් සිදුකර ඇති බවත් අනෝමා ජනාදරී වෙනුවට වෙන අයෙකු හඬ කවා ඇති බවත් ජුරිය දැන ගත්තේ නම් ඇයට මෙම සම්මානය නොලැබෙන්නටද තිබුණි. ඇයට සම්මාන ලැබීම වැලැක්වීම මගේ අරමුණ වුයේ නම් චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් පසු තිබෙන ප්‍රශ්න - උත්තර වාරයේදි ඒ බැව් පවසන්නට ද ඉඩ තිබුණි. මා එසේ නොකළේද නොකරන්නේද ලෝකයේ විශිෂ්ට ගුරුවරු යටතේ සිනමාව පමණක් නොව ජිවිතයද ජිවිතයට අවශ්‍යය ශික්ෂණයද ලද නිසාය. ලබමින් පවතින නිසාය. ප්‍රාන්ස් කෆ්කා පැවසුවේ නවකතා යනු මමය (Novel is me). මා මාගේ කතාන්දරයි (I’m my stories) එය වෙනසකට ලක් කොට පැවසුවහොත් සිනමාව යනු මාය (Film is me). මා මාගේ කතාන්දරයි (I’m my stories). එනයින් මා මගේ සිනමා කෘතියට කිසිවිටෙක හතුරුකම් නොකරමි. අනෝම ජනාදරි නිරූපණය කළේ අවුරුදු හතරක් පුරා මා ලියු තිර නාටකයේ කුසුම් මිස ඇය නොවෙයි. එනිසාම අනෝමා ජනාදරීට සම්මාන ලැබෙනවා යනු මා අවුරුදු හතරක් පුරා වගා කර පෝෂණය කළ අස් වැන්නයි. ඇයට එය නොතේරීම කිසි විටෙක පුදුමයක් නොවේ.

තවද මා අනෝම ජනාදරි රැවටු බවට ඇය චෝදනා කරයි. එය පැවසීමට ඇය පාවිච්චි කරන්නේ චිත්‍රපටයේ නම වෙනස් කිරීමයි. ඇත්ත වශයෙන්ම චිත්‍රපටයේ මුල සිටම පැවති නම දැවෙන විහඟුන්ය එහෙත් මා ලංකාවට පැමිණි පසුව කුරුළු අම්මා යනුවෙන් නම වෙනස් කළ යුතු බව වරෙක සිතුවේය. පසුව යළිත් මාගේ නිෂ්පාදකවරුන් සහ මා තීරණය කළේ දැවෙන විහඟුන් ලෙස පෙර තිබු නමම භාවිත කිරීමටයි. චිත්‍රපටයේ නමද සංස්කරණ ක්‍රියාවලිය ඇතුළු අනෙකුත් සියළු දේ තීරණය කරන්නේ අධ්‍යක්ෂවරයා මිස අන් කවරෙකුවත් නොවේ.

අනෝමා ජනාදරිගේ අවරගනයේ හැසිරීම් චිත්‍රපටය රූගත කරන අවස්ථාවලදීද අපට දරා ගැනීමට සිදුවිය. මගේ නිෂ්පාදන කළමණාකරුට සහ සහාය අධ්‍යක්ෂවරුන්ට හැමවිටම විශාල පීඩනයක් ඇය එල්ල කළාය. මුළු ගමකටම ඇසෙන පරිදි මගේ මව සහ සහෝදර පිරිස් නිවසේ සිටියදීම ඇය නිරන්තරයෙන්ම අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් නිෂ්පාදන කළමණාකරුට සහ සහාය අධ්‍යක්ෂවරුන්ට බැන වදිමින් හැසුරුණේය. ඇය තමන්ට ලැබිය යුතු ගෞරවය ඇය විසින්ම විනාශ කර ගත්තාය. මගේ නිෂ්පාදන කණ්ඩාමට ඇයට වඩා කොපමණ ශික්ෂණයක් තිබුණේද යන්න ගැන මම සතුටුවෙමි.
මා හැම විටම අන්තර්ජාතික වශයෙන් ලැබෙන තෑගි සම්මාන මා සමග වැඩකළ ශිල්පීන් සමග බෙදා ගනු ලබයි. එය මා ඉගිල්ලෙන මාළුවෝ (Flying Fish) සිට පවත්වගෙන එන සිරිතකි. මා සමග වැඩ කළ පහළම සේවකයාගේ සිට සියළුම දෙනා ඒ බැව් දනි. පසුගියදා මට ජිනිවාහිදි ලැබුණු මුදල් ත්‍යාගය පවා හැකි හැම දෙනාටම බෙදා දුන්නේය. අනෝමා ජනාදරී ඒ වනවිටත් මට අපහාස කරමින් සිටියද ඇයටත් එම ත්‍යාගයෙන් රුපියල් 20,000 ක මුදලක් ලබා දුන්නේ ඇය ප්‍රධාන නිළිය නිසා සහ ඇය පෙලෙමින් සිටින ආර්ථීක අර්බුදයද දන්නා නිසාය.

මා දැවෙන විහඟුන් චිත්‍රපටය කළේ විදේශ රටකට පැණීමට බවද ඇය ප්‍රකාශ කර තිබුණි. තමන් රඟපෑ චිත්‍රපටයක් සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශ කළ හැකිද? විදේශ රටකට පැනගැනීමට අවශ්‍යය නම් කොතෙකුත් අවස්ථා මට හිමිව තිබුණි.

එසේම පසුගියදා යාපනයේ පැවති අන්තර්ජාති සිනමා උළෙලේ ප්‍රදර්ශනයට ආරාධනා නොකළ බවට ඇය මට චෝදනා කර තිබුණි. යාපනයේ පැවතියේ අන්තර්ජාතික සිනමා උළෙලක ප්‍රදර්ශනයකි. එයට මා සහභාගිවුයේ අධ්‍යක්ෂවරයා ලෙස පමණි. මා කිසිදු නළු නිළියකට එම දර්ශනයට සහභාගිවන ලෙස ආරාධනා කළේද නැත. ඉදිරියේදි චිත්‍රපටයේ ප්‍රධාන දර්ශනයට සියළුම දෙනාට ආරාධනා කිරීම මගේ අරමුණ වී තිබුණි. යාපනයේ සිනමා උළෙලට ජනාදරි පැමිණ සිටියේ ඇගේ කැමැත්ත උඩය. යාපනයේ පැවති චිත්‍රපට ප්‍රදර්ශනය පුද්ගලික හෝ වෙළද ප්‍රදර්ශනයක් නොව්..

මිට අමතරව තව එක් දෙයක්ද ප්‍රකාශ කළ යුතුව ඇත. එනම් ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටය යුටියුබ්(Youtube) එකට ඇතුළත් කර මා ගයේෂා පෙරේරා අපහසුවට පත් කළ බව පසුගිය දවස්වල අනෝමා ජනාදරි ප්‍රකාශ කර තිබුණි. අනෝමා ජනාදරිට නොතේරෙන්නේ තමන් ලක්ෂ ගාණක් වියදම් කර හදන චිත්‍රපටියක් නිකන් පෙන්වන්න තරම් රෝගි තත්වයක් මට නැති බවයි. එක දෙයක් කිව හැකිය. ගයේෂා පෙරේරාට නිළියක් ලෙස දර්ශන තලයේදී තිබු ශික්ෂණය අති විශිෂ්ට බවයි. ඒ නිසාම ගයේෂා පෙරේරාට සදාකාලිකවම මගේ ගෞරවයද හිමිවන බවයි. අනෝමා ජනාදරි ඒ ගෞරවය ලබා ගැනීමට උත්සාහ කරන්නේ අශිලාචාර චණ්ඩි ගැහැණියක ලෙසය. එහෙත් ගයේෂා පෙරේරා ඒ ගෞරවය ලබා ගත්තේ දර්ශන තලයේදී තම වෘත්තීය භාවය ප්‍රදර්ශනය කිරීමෙනි.

දැවෙන විහඟුන් යනු එක් නිළියකගේ දායක්ත්වයෙන් නිර්මාණයවුණු කෘතියක් නොවේ. එය නළු නිළියන් ගණනාවකගේ සහ කාර්මික ශිල්පීන්ගේද නිෂ්පාදන කණ්ඩායමේද කැපවීමෙන් හා දායකත්වයෙන් නිමවුණු කෘතියකි.

තවද අනෝමා ජනාදරි මගේ විවාහ උත්සවයට පවා අනාරාධිතව බලහත්කාරයෙන් පැමිණ උත්සවය අවුල් කිරීමට උත්සාහ කළාය. එය වැලක්වුයේ පොලිසිය ඇයට අවවාද කිරීමෙනි.

අවසන් වශයෙන් අනෝමා ජනාදරි මහත්මියට පවසන්නේ අශිලාචාර බවත් මුග්ධ බවත් තවදුරටත් ප්‍රදර්ශනය නොකරන ලෙසය. ඔබගේ ප්‍රකාශ වෙනුවෙන් මා ප්‍රසිද්ධියේ ලියන පළමු සහ එකම ප්‍රකාශය මෙයයි.

අනෝමා ජනාදරි මට කළ සියළු අපහාසයන් ඉවසා සිටිය හැකි වුවද ඇය දුක්බර ලෙස මා හැදු වැඩු මගේ අම්මාට දිගු කළක් තිස්සේ කළ අපහාසයන් කිසිවිටෙක මට අමතක කළ නොහැක. එනිසාම මා කිසි විටෙක ඇය සමග එකම මේසයක කිසිදිනක වාඩි නොවෙනු ඇත. එහෙත් මෙරට හෝ විදේශීය සිනමා උළෙලයන්හිදී හෙට දවසේ වුවද දැවෙන විහඟුන් චිත්‍රපටයේ කුසුම්ගේ චරිතය වෙනුවෙන් ඇයට ලැබෙන කිසිදු ඇගැයීමක් වළකාලන්නේද නැත. මන්ද කුසුම්ගේ චරිතයට ලැබෙන ගෞරවයන් සියල්ලම අයත් වන්නේ දැවෙන විහඟුන් චිත්‍රපටයටය.

අවසන් වශයෙන් පැවසිය යුත්තේ දැවෙන විහඟුන් චිත්‍රපටයෙන් මා උගත් වඩා වැදගත්ම පාඩම නම් මතු නිර්මාණවලදි ශීලාචාර මිනිසුන් සමග වැඩ කිරීමේ ඇති වටිනාකමයි.

මට අවශ්‍යය නිර්මාණය කරගැනීමෙන් පසුව එහි ශිල්පීන්ව විවේචනය කිරීම මගේ කැමැත්ත නොවේ. එහෙත් වසර එකහාමාරක් පුරා නොනවත්වාම අනෝමා ජනාදරි අශිලාචාර ලෙස මගේ පෞද්ගලික ජීවිතයට කරන හානිය නිසාම මෙම ලිපිය ලිවීමට තීරණය කළෙමි.

හිතවත්,
සංජීව පුෂ්පකුමාර - දැවෙන විහඟුන් චිත්‍රපටය (Burning Birds)
දුරකතනය - 0712 042 095
2017 නොවැම්බර් 06 දින
අබුඩාබි හීදී.

--------------

පෙර ලිපිය- අධ්‍යක්ෂකවරයාට බැරි වුණා, මට සම්මානෙ ගන්න යන්න ටිකට් එකක් එවන්න..! - අනෝමා ජනාදරී  http://ift.tt/2hVdEV9

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනෝමා ජනාදරී ට සංජීව පුෂ්පකුමාරගෙන් පිළිතුරක්!
අනෝමා ජනාදරී ට සංජීව පුෂ්පකුමාරගෙන් පිළිතුරක්!
http://ift.tt/2AmXg6f
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_520.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_520.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy